1. 20. 5.
දට්‌ඨබ්‌බ සූත්‍රය
253. “මහණෙනි, මේ වේදනා තුනකි. කවර තුනක්ද යත්, සැප වේදනාවය, දුක් වේදනාවය, දුකද නොවූ සැපද නොවූ වේදනාවය යන තුනයි. මහණෙනි, සැප වේදනාව දුක් වශයෙන් දත යුතුය. දුක් වේදනාව හුලක් වශයෙන් දත යුතුය. උපේක්‍ෂා වේදනාව අනිත්‍ය වශයෙන් දතයුතුය.
මහණෙනි, යම් තැනක පටන් භික්‍ෂුව විසින් සැප වේදනාව දුක් වශයෙන් දක්නා ලද්දේවේද, දුක් වේදනාව හුලක් වශයෙන් දක්නා ලද්දේවේද, උපේක්‍ෂා වේදනාව අනිත්‍ය වශයෙන් දක්නා ලද්දේවේද, මහණෙනි, මේ මහණතෙම යහපත්සේ දුටුයේ තෘෂ්ණාව සින්දේය. සංයෝජනය බහා දැම්මේය. මනාකොට මානයාගේ ප්‍රහාණයෙන් දුක් කෙළවර කෙළේය.,
යමෙක් සැප දුක වශයෙන් දුටුයේද, දුක හුලක් වශයෙන් දුටුයේද, ශාන්තවූ උපේක්‍ෂාව අනිත්‍ය වශයෙන් දුටුයේද,
ඒකාන්තයෙන් ඒ යහපත් සේ දක්නා භික්‍ෂුතෙම වේදනාවන් පිරිසිඳ දනී. හෙතෙම වේදනා පිරිසිඳ දැන මේ ආත්මයෙහි ආශ්‍රව රහිත වූයේ ධර්‍මයෙහි පිහිටියේ නුවණින් කෙළවරට ගියේ ශරීරයාගේ බිඳීමෙන් සත්ත්‍වයා යන සංඛ්‍යාවට නොපැමිණෙයි.
1. 20. 6.
සල්ල සූත්‍රය
254. “මහණෙනි, අශ්‍රුතවත් පෘථග්ජනතෙම සැප වේදනාවද විඳී. දුක් වේදනාවද විඳී. උපේක්‍ෂා වේදනාවද විඳී. මහණෙනි, ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම සැප වේදනාවද විඳී. දුක් වේදනාවද විඳී. උපේක්‍ෂා වේදනාවද විඳී. මහණෙනි, අශ්‍රුතවත් පෘථග්ජනයා හා ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවකයාගේ ඒ වේදනා විඳීමෙහි විශේෂය කවරේද, අදහස කවරේද, වෙනස්කම කවරේද?
“ස්වාමීනි, අපගේ ධර්‍මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල්කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ පමුණුවන්නා කොට ඇත්තාහුය. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණකොට ඇත්තාහුය. ස්වාමීනි මේ කීමේ අදහස භාග්‍යවතුන් වහන්සේ විසින් කියා දෙතොත් හොඳය. භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගෙන් අසා මේ කීමේ අදහස දරන්නාහුය. “මහණෙනි, එසේ වී නම් අසව්, මනාකොට මෙනෙහි කරව්, කියන්නෙමි, යි වදාළ සේක. “එසේය ස්වාමීනි, කියා ඒ භික්‍ෂූහු වනාහි භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ (එවිට) මෙය දේශනා කළසේක.
“මහණෙනි, අශ්‍රුතවත් පෘථග්ජනතෙම දුක්ඛ වේදනාවක් පැමිණිකල ශෝක කරයි. ක්ලාන්ත වෙයි. විලාප කියයි. පපුවේ අත් ගසමින් හඬයි. මුළාවට පැමිණෙයි. හෙතෙම කායික දුකක්ද, මානසික දුකක්ද විඳියි. මහණෙනි, යම්සේ හුලකින් අනිනලද පුරුෂයාට දෙවෙනි හුලකිනුත් අනින්නාහුද, මහණෙනි, එසේ පුරුෂතෙම උල් දෙකකින් වේදනා විඳින්නේය.
මහණෙනි, එසේම අශ්‍රුතවත් පෘථග්ජනතෙම දුක්ඛ වේදනාවක් පැමිණිකල ශෝක කරයි. ක්ලාන්ත වෙයි. වැලපෙයි. පපුවේ අත් ගසමින් හඬයි. මුළාවට පැමිණෙයි. හෙතෙම කායික වූද මානසික වූද විඳීම් දෙකක් විඳියි. ඒ දුක් වේදනාවෙන් මඩනා ලද්දාවූ හෙතෙම ක්‍රෝධ ඇත්තෙක් වෙයි. දුක් වේදනාව කරණකොටගෙන ක්‍රෝධ සහිතවූ ඔහුට දුක් වේදනාවෙහි උපදනා ක්‍රෝධානුසය නැවත නැවත උපදියි. දුක් වේදනාවක් ඇතිවූ හෙතෙම කම් සැපට ආශා කරයි. ඊට හේතු කවරේද? මහණෙනි, අශ්‍රුතවත් පෘථග්ජනතෙම කම්සැප හැර දුක් වේදනාවෙන් නික්මීමක් නොදනී. කම් සැපයට ආශා කරන්නාවූ ඔහුට සැප වේදනාවෙහි උපදනා යම් රාගානුසයක් වේද, එය නැවත නැවත උපදියි. හෙතෙම ඒ වේදනාවන්ගේ හටගැනීමද, නැතිවීමද, ආශ්වාදයද, ආදීනවයද, නික්මීමද, තත්වූ පරිද්දෙන් නොදනී.
ඒ වේදනාවන්ගේ හටගැන්මද, නැතිවීමද, ආශ්වාදයද, ආදීනවයද, නික්මීමද, තත්වූ පරිද්දෙන් නොදන්නාවූ ඔහුට උපේක්‍ෂා වේදනාවන්හි හටගන්නා යම් අවිද්‍යානුසයක් වේද, එය නැවත නැවත උපදියි. හෙතෙම සැප වේදනාවක් විඳීනම් කෙලෙසුන්ගෙන් යුක්තවම එය විඳියි. දුක් වේදනාවක් විඳීනම් කෙලෙසුන්ගෙන් යුක්තවම එය විඳියි. දුක්ද නුවූ, සැපද නුවූ, වේදනාවක් විඳීනම් කෙලෙසුන්ගෙන් යුක්තවම එය විඳියි. මහණෙනි, මේ අශ්‍රුතවත් පෘථග්ජන තෙමේ ජාති, ජරා, මරණ, ශෝක, පරිදේව, කායික දුක්, මානසික දුක්, දැඩි වෙහෙසවීම් වලින් යුක්ත වූයේය, දුකින් යුක්ත වූයේයයි කියමි, යි වදාළසේක.
“මහණෙනි, ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම දුක් වේදනාවක් පැමිණිකල සෝක නොකරයි. ක්ලාන්ත නොවෙයි. නොවැළපෙයි. පපුවේ අත් ගසමින් නොහඬයි. මුළාවට නොපැමිණෙයි. හෙතෙම කායිකවූ එක් වේදනාවක් විඳියි. මානසික වේදනාව නොවිඳියි. මහණෙනි, යම්සේ එක් හුලකින් ඇනුම් කෑ පුරුෂයෙකු, දෙවෙනි හුලකිනුත් නොඅනින්නාහුද, මහණෙනි, එසේ ඒ පුරුෂතෙම එක් හුලකින් වේදනාව විඳින්නේය. මහණෙනි, එසේම ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකතෙම දුක් වේදනාවක් පැමිණිකල ශෝක නොකරයි. ක්ලාන්ත නොවෙයි. විලාප නොකියයි. පපුවේ අත් ගසමින් නොහඬයි. මුළාවට නොපැමිණෙයි. හෙතෙම කායික වූ එකම වේදනාවක් විඳියි. මානසික වේදනාව නොවිඳියි. ඒ දුක්ඛ වේදනාව කරණකොට ක්‍රෝධ ඇත්තෙක් නොවෙයි. දුක්ඛ වේදනාව නිසා ක්‍රෝධයෙන් තොර ඔහුට දුක් වේදනාවෙහි උපදනා යම් ක්‍රෝධානුසයක් වේද, ඒ අනුසය නැවත නූපදියි. හෙතෙම දුක්ඛ වේදනාව පැමිණි කළ කම් සැප නොකැමැති වෙයි. ඊට හේතු කවරේද, මහණෙනි, ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම කම් සැපෙන් වෙන්ව දුකින් නික්මීම දනී.