10. 1. 9.
කුතුහලශාලා සූත්‍රය
418. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි වච්ඡගොත්ත පරිබ්‍රාජකතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු විය යුතු වූ සිහි කටයුතු වූ කථාව කොට නිමවා එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන් වච්ඡගොත්ත පරිබ්‍රාජකතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළේය: “භවත් ගෞතමයන් වහන්ස, පසුගිය දවස්වල කුතුහල ශාලාවෙහි (නොයෙක් දෙනා එක්වී, අසන්නන්ගේ කුහුල ඇවිස්සෙන කථා උපද්දන ශාලාවකි. (අම්බලමකි.)) රැස්ව හුන්නා වූ බොහෝ වූ නොයෙක් තීර්ථක ශ්‍රමණ බ්‍රාහ්මණ පරිබ්‍රාජකයන් අතර මේ අතුරු කථාව ඇති විය.
‘මේ පූර්ණ කාශ්‍යපතෙම සමූහයක් ඇත්තෙකි. ගණයා ඇත්තෙකි. පිරිසක ආචාර්යයෙකි. ප්‍රසිද්ධය. යසස ඇත්තේය. තීර්ථයක් මෙනි. බොහෝදෙනා විසින් යහපතැයි සම්මතය. හෙතෙමේද අසවලා අසවල් තැන උපන්නේය. අසවලා අසවල් තැන උපන්නේයයි අතීත වූ කළුරිය කළ ශ්‍රාවකයකු උපන් ස්ථාන ප්‍රකාශ කරන්නේය. උතුම් පුරුෂ වූ ශ්‍රේෂ්ඨ පුරුෂ වූ උතුම් පැමිණීමට පැමිණියා වූ ඔහුගේ ශ්‍රාවකයෙක් වේද, ඒ ශ්‍රාවක තෙමේද අසවලා අසවල් තැන උපන්නේය. අසවලා අසවල් තැන උපන්නේයයි අතීත වූ කාලක්‍රියා කළා වූ ශ්‍රාවකයෙකු උපන් ස්ථානය ප්‍රකාශ කෙරෙයි.
මේ මක්ඛලිගොසාලද... (පෙ) ... “මේ නිගණ්ඨනාතපුත්‍රද... (පෙ) ... “මේ සඤ්ජයබෙල්ලට්ඨිපුත්‍රද... (පෙ) ... “මේ පකුධකච්චායනද... (පෙ) ... “මේ අජිතකෙසකම්බලීද සමූහයක් ඇත්තෙකි. ගණයා ඇත්තෙකි. සමූහයකට ආචාර්යය. ප්‍රසිද්ධය. යසස් ඇත්තේය. තීර්ථයක් මෙනි. බොහෝ දෙනා විසින් යහපතැයි සම්මතය. හෙතෙමේද අසවලා අසවල් තැන උපන්නේය. අසවලා අසවල් තැන උපන්නේයයි අතීත වූ කළුරිය කළ ශ්‍රාවකයෙකු උපන් ස්ථානය ප්‍රකාශ කරයි. උත්තම පුරුෂ වූ පරම පුරුෂ වූ උතුම් පැමිණීමට පැමිණියා වූ ඔහුගේ යම් ශ්‍රාවකයෙක් වේද, ඒ ශ්‍රාවකතෙමේද අසවලා අසවල් තැන උපන්නේය. අසවලා අසවල් තැන උපන්නේයයි අතීත වූ කාලක්‍රියා කළා වූ ශ්‍රාවකයෙකු උපන් ස්ථානය ප්‍රකාශ කරයි.
“මේ ශ්‍රමණ ගෞතම තෙමේද සමූහයක් ඇත්තෙකි. ගණයක් ඇත්තෙකි. ගණාචාර්යය. ප්‍රසිද්ධය. යසස් ඇත්තේය. තීර්ථවරය. බොහෝදෙනා විසින් යහපතැයි සම්මතය. හෙතෙමේද කළුරිය කළ ඉකුත් ශ්‍රාවකයකු අසවලා අසවල් අසවල් තැන උපන්නේය, අසවලා අසවල් තැන උපන්නේ යයි උපන් තැන ප්‍රකාශ කරයි. උතුම් පුරුෂ වූ පරම පුරුෂ වූ උතුම් පැමිණීමට පැමිණියා වූ උන්වහන්සේගේ යම් ශ්‍රාවකයෙක් වේද, ඒ ශ්‍රාවකතෙමේද අසවලා අසවල් තැන උපන්නේය. අසවලා අසවල්තැන උපන්නේයයි අතීත වූ කාලක්‍රියා කළා වූ ශ්‍රාවකයෙකු උපන් තැන ප්‍රකාශ නොකරන්නේය. එතකුදු වුවත් ‘ඔහු තෘෂ්ණාව සින්දේය. සංයෝජනය පෙරලා දැම්මේය. මනාකොට මානය පහකිරීම් වශයෙන් අවබෝධ කොට දුක කෙළවර කෙළේයයි’ මෙසේ ප්‍රකාශ කරයි. පින්වත් ගෞතමයන් වහන්ස, ඒ මට ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ධර්මය කෙසේ නම් දැනගන්නෙම්දැයි සැකයක් වූයේය. විචිකිච්ඡාවක් වූයේයයි” කීය.
“වච්ඡය, තොප විසින් සැක කිරීමට සුදුසුය. සැක ඉපදවීමට සුදුසුය. තොපට සැක කටයුතු තැන්හි සැක උපන්නීය. වච්ඡය, මම උපාදාන සහිත වූවහුට උත්පත්තිය පනවමි. උපාදානය නැත්තහුට නොපනවමි. වච්ඡය, යම්සේ ගින්න දර ඇති කල්හිම දැල්වෙයිද දර නැති කල්හි නොදැල්වේද, වච්ඡය, එසේම මම උපාදාන සහිත වූවහුට උත්පත්තිය පනවමි. උපාදාන රහිත වූවහුට නොපනවමි.” “භවත් ගෞතමයන් වහන්ස, යම් කාලයෙක්හි ගිනිසිළු වාතයෙන් ගෙන යනු ලැබ දුරටද යන්නේය. භවත් ගෞතමතෙමේ මේ ගින්නට කුමක් උපාදානයයි පනවන්නෙහිද?” “වච්ඡය, යම් කාලයක ගිනිසිළු වාතයෙන් ගෙන යනු ලැබ දුරටද යන්නේද, මම ඒ ගින්නට වාතය උපාදානයයි කියමි. වච්ඡය, ඒ කාලයෙහි ඊට වාතය උපාදානය වේ.”
“භවත් ගෞතමන් වහන්ස, යම් වේලාවක මේ කය බහා තබයිද (චුතිය පහළවෙයිද) සත්වයා ඒ චුතික්ෂණයෙහිම අනිත් කයකට නොපැමිණේද, භවත් ගෞතමතෙමේ මොහුට කිනම් උපාදානයක් පනවයිද?” “වච්ඡය, යම් කලෙක මේ ශරීරය බහා තබයිද, සත්වයා අනික් කයකට නොපැමිණේද, ඔහුට මම තණ්හාව උපාදානයයි කියමි. වච්ඡය, ඒ අවස්ථාවෙහි ඔහුට තණ්හාව උපාදානය වේයයි” වදාළේය.