1. අබ්යාකත වර්ගය
10. 1. 1.
ඛේමා සූත්රය
410. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවනයෙහි අනේපිඬු මහ සිටාණන් විසින් කරවන ලද ආරාමයෙහි වාසය කරන සේක. එකල්හි ඛේමා භික්ෂුණිය කොසොල් ජනපදයෙහි ඇවිදින්නී සැවැත් නුවරටද, සාකේත නුවරටද අතර තොරණවත්ථු නම් ස්ථානයෙහි වාසයට පැමිණියාය. එකල්හි පසේනදී කොසොල් රජතෙමේ සාකේතනුවරින් සැවැත්නුවරට යන්නේ සැවැත් නුවරටද, සාකේතනුවරටද අතර පිහිටි තොරණවත්ථුවෙහි එක් රැයක් විසීමට පැමිණියේය. එකල්හි පසේනදී කොසොල් රජතෙමේ එක්තරා පුරුෂයෙකුට කතා කළේය. කථාකොට “එම්බල පුරුෂය, යව ඔබ අද මට පයුරුපාසනය කිරීමට (සේවනය කිරීමට) සුදුසු වූ ශ්රමණයෙකු හෝ බ්රාහ්මණයෙකු හෝ දනුවයි” කීයේය.
ඒ පුරුෂතෙම “එසේය දේවයන් වහන්සැයි” පසේනදී කොසොල් රජුට උත්තර දී තොරණවත්ථුව මුළුල්ලෙහි පිළිවෙළින් ඇවිදින්නේ පසේනදී කොසොල් රජුහට පයුරුපාසනය කිරීමට (සේවනය කිරීමට) සුදුසු ශ්රමණයෙකු හෝ බ්රාහ්මණයෙකු හෝ නුදුටුයේය. ඒ පුරුෂතෙම තොරණ වත්ථුවෙහි වාසයට පැමිණි ඛේමා භික්ෂුණිය දුටුයේය. දැක පසේනදී කොසොල් රජතෙම යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ පසේනදී කොසොල් රජුට “දේවයන් වහන්සේට සේවනය කිරීමට සුදුසු වූ ශ්රමණයෙක් හෝ බ්රාහ්මණයෙක් හෝ තොරණවත්ථුවෙහි නැතැයි” කීයේය. “දේවයන් වහන්ස, ඒ භාග්යවත් අර්හත් සම්යක් සම්බුද්ධයන් වහන්සේගේ ශ්රාවිකාවක් වූ ඛේමා නම් භික්ෂුණියක් ඇත්තේය. පණ්ඩිතය, ව්යක්තය, නුවණැත්තිය, බහුශ්රැතය, විසිතුරු කථා ඇත්තීය. යහපත් වැටහෙන නුවණ ඇත්තීයයි ඒ ආර්යාවගේ මෙබඳු යහපත් කීර්ති ශබ්දයක් පැන නැංගේය. දේවයන් වහන්සේ ඈ ආශ්රය කරන සේක්වායි” කීය.
ඉක්බිති පසේනදී කොසොල් රජතෙම ඛේමා භික්ෂුණිය යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ ඛේමා භික්ෂුණිය වැඳ එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන් පසේනදී කොසොල් රජතෙමේ ඛේමා භික්ෂුණියගෙන් “ආර්යාවෙනි, කිමෙක්ද, තථාගතයන් මරණින් මතු වේදැයි” ඇසීය. - “මහරජ, තථාගතයන් වහන්සේ මරණින් මතු වේයයි යන මෙය භාග්යවතුන් වහන්සේ විසින් නොවදාරන ලදී.” “ආර්යාවෙනි, කිමෙක්ද, තථාගතයන් වහන්සේ මරණින් මතු නොවේද?” - “මහරජ, තථාගතයන් වහන්සේ මරණින් මතු නොවේයයි යන මෙයද භාග්යවතුන් වහන්සේ විසින් නොවදාරන ලදී.” “ආර්යාවෙනි, කිමෙක්ද, තථාගතයන් වහන්සේ මරණින් මතු වන්නේද වෙයිද, නොවන්නේද වෙයිද?” - “මහරජ, තථාගතයන් වහන්සේ මරණින් මතු වන්නේද වෙයි, නොවන්නේද වෙයි යන මෙයද භාග්යවතුන් වහන්සේ විසින් නොවදාරන ලදී.” “ආර්යාවෙනි, කිමෙක්ද, තථාගතයන් වහන්සේ මරණින් මතු නොවෙයිද, නොවන්නේ නොවෙයිද?” - “මහරජ තථාගතයන් වහන්සේ මරණින් මතු නොවෙයි, නොවන්නේ නොවෙයි යන මෙයද භාග්යවතුන් වහන්සේ විසින් නොවදාරන ලදී.”
“ආර්යාවෙනි, කිමෙක්ද, තථාගතයන් වහන්සේ මරණින් මතු වේදැයි විචාරණ ලද්දේ; ‘මහරජ, තථාගතයන් වහන්සේ මරණින් මතු වේයයි යන මෙය භාග්යවතුන් වහන්සේ විසින් නොවදාරන ලද්දේය'යි කීයෙහිය. “ආර්යාවෙනි, කිමෙක්ද, තථාගතයන් වහන්සේ මරණින් මතු නොවේදැයි මෙසේ විචාරණ ලද්දේ; 'මහරජ, තථාගතයන් වහන්සේ මරණින් මතු නොවේයයි යන මෙයද භාග්යවතුන් වහන්සේ විසින් නොවදාරන ලද්දේය'යි කීයෙහිය. “ආර්යාවෙනි, කිමෙක්ද, තථාගතයන් වහන්සේ මරණින් මතු වන්නේද වෙයිද, නොවන්නේද වෙයිදැයි මෙසේ විචාරණ ලද්දේ; ‘මහරජ, තථාගතයන් වහන්සේ මරණින් මතු වන්නේද වෙයි, නොවන්නේද වෙයි යන මෙයද භාග්යවතුන් වහන්සේ විසින් නොවදාරන ලද්දේය'යි කීයෙහිය. “ආර්යාවෙනි, කිමෙක්ද, තථාගතයන් වහන්සේ මරණින් මතු නොවෙයිද, නොවන්නේ නොවෙයිදැයි මෙසේ විචාරණ ලද්දේ; ‘මහරජ, තථාගතයන් වහන්සේ මරණින් මතු නොවෙයි, නොවන්නේද නොවේයයි යන මෙයද භාග්යවතුන් වහන්සේ විසින් නොවදාරන ලද්දේයයි” කීයෙහිය. “ආර්යාවෙනි, යමක් නිසා එය භාග්යවතුන් වහන්සේ විසින් නොවදාරන ලද්දේ නම්, ඊට හේතු කවරේද? ඊට ප්රත්ය කවරේද?
“මහරජ, එසේනම් මෙහි ලා තොපගෙන්ම විචාරන්නෙමි. යම් සේ තොපට වැටහේ නම් එසේ එය ප්රකාශ කරන්නෙහිය.
මහරජ, ඒ කුමකැයි හඟින්නෙහිද? තොපගේ ගණන් තබන්නෙක් හෝ (ඇඟිලි) මුද්රාවෙන් ගණන් කිරීමට දක්ෂයෙක් හෝ කොටස් ගණනින් ගණන් කිරීමට දක්ෂයෙක් හෝ වැලි මෙපමණයයි කියා හෝ මෙතෙක් වැලි සියයක්ය කියා හෝ මෙපමණ වැලි දහසක්ය කියා හෝ මෙපමණ වැලි ලක්ෂයක්ය කියා හෝ ගඟෙහි වැලි ගණන් කිරීමට සමර්ථ වූ කිසිවෙක් ඇත්තේද? “ආර්යාවෙනි, නැත." “තොපගේ ගණන් කරන්නෙක් හෝ (ඇඟිලි) මුද්රාවෙන් ගණන් කරන්නෙක් හෝ කොටස් ගණනකින් ගණන් කරන්නෙක් හෝ මෙපමණ ජල ලාස්යයි කියා හෝ මෙපමණ ජල ලාස් සියයක්ය කියා හෝ මෙපමණ ජල ලාස් දහසක්ය කියා හෝ මෙපමණ ජල ලාස් ලක්ෂයක්ය කියා හෝ මහා සමුද්රයෙහි ජලය මනින්නට සමර්ථ වූ කිසිවෙක් ඇත්තේද?”-“ආර්යාවෙනි නැත.” “ඊට හේතු කවරේද?”-“ආර්යාවෙනි, සමුද්රය විශාලය, ගැඹුරුය, අප්රමාණය, දැන ගැනීමට අපහසුය.”
“මහරජ, එසේම පනවන්නෙක් යම් රුපයක් කරණකොට ගෙන සත්ත්වයා පනවන්නේ නම්, ඒ රූපය තථාගතයන් වහන්සේ විසින් ප්රහීණ කරන ලදී. මුල් සිඳින ලදී. කරටිය සිඳි තල් ගසක් මෙන් කරන ලදී. අභාවයට යවන ලදී. මතු නූපදින තත්වයට කරන ලදී. මහරජ, රූප සංඛ්යාවෙන් මිදුනා වූ තථාගතයන් වහන්සේ ගැඹුරුය, අප්රමාණය, දැනගැනීමට අපහසුය. ඒ හෙයින් තථාගතයන් වහන්සේ මරණින් මතු වේයයි කීමටද නුසුදුසුය. තථාගතයන් වහන්සේ මරණින් මතු නොවේයයි කීමටද නුසුදුසුය. තථාගතයන් වහන්සේ මරණින් මතු වේයයිද, නොවේයයිද කීමටද නුසුදුසුය. තථාගතයන් වහන්සේ මරණින් මතු නොවෙයි, නොවන්නේ නොවෙයි කියා කීමටද නුසුදුසුය.