10. 1. 10.
අත්ථත්ත සූත්රය
419. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. ඉක්බිති වච්ඡගොත්ත පරිබ්රාජකතෙම භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැන්හි පැමිණියේය. පැමිණ භාග්යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු විය යුතු වූ සිහි කටයුතු වූ කථාව කොට නිමවා එක්පසෙක හුන්නේය. එක් පසෙක හුන් වච්ඡගොත්ත පරිබ්රාජකතෙම භාග්යවතුන් වහන්සේගෙන් මෙය ඇසීය. “භවත් ගෞතමයන් වහන්ස, කිමෙක්ද? ආත්මයක් ඇත්තේ දැයි” මෙසේ ඇසූ කල්හි භාග්යවතුන් වහන්සේ නිශ්ශබ්ද වූහ. ඉක්බිති “භවත් ගෞතමයන් වහන්ස ආත්මයක් නැත්තේදැයි” ඇසීය. දෙවනුවත් භාග්යවතුන් වහන්සේ නිශ්ශබ්ද වූහ. ඉක්බිති වච්ඡගොත්ත පරිබ්රාජකතෙම අසුනෙන් නැගිට ගියේය. ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ වච්ඡගොත්ත පරිබ්රාජකයා ගිය නොබෝ වේලාවකින් භාග්යවතුන් වහන්සේට මෙය සැලකෙළේය: “ස්වාමීනි, කුමක් හෙයින් භාග්යවතුන් වහන්සේ වච්ඡගොත්ත පරිබ්රාජකයා අසන ලද ප්රශ්නය නොවිසිදූ සේක් දැයි”
“ආනන්දය, 'වච්ඡගොත්ත පරිබ්රාජකයා විසින් ආත්මයක් ඇත්තේ දැයි' අසන ලද්දා වූ මම ආත්මය ඇත්තේයයි ප්රකාශ කරන්නෙම් නම්; ආනන්දය, යම් ඒ ශ්රමණ බ්රාහ්මණයෝ ශාස්වතවාදීහු වෙත්ද, එය ඔවුන්ගේ ලබ්ධිය හා සමාන වන්නේය. ආනන්දය, ආත්මයක් නැද්දැයි අසන ලද්දා වූ මම වච්ඡගොත්ත පරිබ්රාජකයාට ආත්මය නැත්තේයයි ප්රකාශ කරන්නෙම් නම්; ආනන්දය, යම් ඒ ශ්රමණ බ්රාහ්මණ කෙනෙක් උච්ඡේදවාදීහු වෙත්ද, එය ඔවුන්ගේ ලබ්ධිය හා සමාන වන්නේය. ආනන්දය, ආත්මයක් ඇත්දැයි අසන ලද මම වච්ඡගොත්ත පරිබ්රාජකයාට ආත්මය ඇතැයි ප්රකාශ කරන්නෙම් නම් කිමෙක්ද? ආනන්දය, එය සියලු ධර්මයෝ අනාත්මයහ යන ඥානය ඉපදීම පිණිස එය සුදුසුවන්නේද?” - “නැත, ස්වාමීනි.” “ආනන්දය, ආත්මය නැත්දැයි අසන ලද්දා වූ මම වච්ඡගොත්ත පරිබ්රාජකයාට ආත්මයක් නැතැයි ප්රකාශ කරන්නේ නම්; එය මුළා වූ වච්ඡගොත්ත පරිබ්රාජකයාට 'මාගේ ආත්මය පෙර ඒකාන්තයෙන් වූයේය. එය දැන් නැත්තේය'යි බෙහෙවින් මුළා වීම පිණිස පවත්නේය.”
10. 1. 11.
සභිය සූත්රය
420. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි ආයුෂ්මත් සභිය කච්චාන ස්ථවිරතෙමේ ඤාතිකයෙහි වූ ගිඤ්ජකාවසථයෙහි (උළුගෙයි) වසන සේක. එකල්හි වච්ඡගොත්ත පරිබ්රාජකතෙම ආයුෂ්මත් සභිය කච්චාන ස්ථවිරතෙම යම් තැනෙක්හිද එතැන්හි පැමිණියේය. පැමිණ ආයුෂ්මත් සභිය කච්චාන ස්ථවිරයන් සමග සතුටු විය. සිහි කළ යුතු සතුටු විය යුතු කථාව කොට නිමවා එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන් වච්ඡගොත්ත පරිබ්රාජකතෙම ආයුෂ්මත් සභියකච්චාන ස්ථවිරයන්ගෙන් මෙසේ ඇසීය:
“භවත් කච්චානය, කිමෙක්ද සත්වතෙමේ මරණින් මතු වේද?”-“වච්ඡය, සත්වතෙමේ මරණින් මතු වේය යන මෙය භාග්යවතුන් වහන්සේ විසින් ප්රකාශ නොකරන ලදී.” “භවත් කච්චානය, සත්වතෙමේ මරණින් මතු නොවේද?”-“වච්ඡය, සත්වතෙමේ මරණින් මතු නොවේය යන මෙයද භාග්යවතුන් වහන්සේ විසින් ප්රකාශ නොකරන ලදී.” “භවත් කච්චානය, කිමෙක්ද? සත්වතෙමේ මරණින් මතු වන්නේත් වෙයි නොවන්නේත් වෙයිද?”-“වච්ඡය, සත්වතෙමේ මරණින් මතු වන්නේත් වෙයි නොවන්නේත් වෙයි යන මෙයද භාග්යවතුන් වහන්සේ විසින් ප්රකාශ නොකරන ලදී.” “භවත් කච්චානය, සත්වතෙමේ මරණින් මතු නොවන්නේත් වෙයි නොවන්නේත් නොවෙයිද?”-“වච්ඡය, සත්වතෙමේ මරණින් මතු නොවන්නේත් වෙයි නොවන්නේත් නොවෙයි යන මෙයද භාග්යවතුන් වහන්සේ විසින් ප්රකාශ නොකරන ලදී.”
“භවත් කච්චානය, කිමෙක්ද? සත්වතෙමේ මරණින් මතු වේදැයි මෙසේ විචාරණ ලද්දේ ‘වච්ඡය, සත්වතෙමේ මරණින් මතු වේයයි භාග්යවතුන් වහන්සේ විසින් නොවදාරන ලද්දේයයි කීයේය. භවත් කච්චානය, කිමෙක්ද? සත්වතෙමේ මරණින් මතු නොවේදැයි, මෙසේ විචාරණ ලද්දේද, ‘වච්ඡය, සත්වතෙමේ මරණින් මතු නොවේයයි යන මෙයද භාග්යවතුන් වහන්සේ විසින් නොවදාරන ලද්දේයයි’කීයෙහිය. භවත් කච්චානය, කිමෙක්ද? සත්වතෙමේ මරණින් මතු වන්නේත් වෙයි, නොවන්නේත් වේදැයි මෙසේ විචාරණ ලද්දේද, “වච්ඡය, සත්වතෙමේ මරණින් මතු වන්නේත් වෙයි නොවන්නේත් වෙයි යන මෙයද භාග්යවතුන් වහන්සේ විසින් නොවදාරන ලද්දේයයි කීයෙහිය. භවත් කච්චානය, කිමෙක්ද? සත්වතෙමේ මරණින් මතු නොවන්නේත් වෙයි, නොවන්නේත් නොවේදැයි මෙසේ විචාරණ ලද්දේද 'වච්ඡය, සත්වතෙමේ මරණින් මතු නොවන්නේත් වෙයි නොවන්නේත් නොවෙයි යන මෙයද භාග්යවතුන් වහන්සේ විසින් නොවදාරන ලද්දේයයි’කීයෙහිය. “භවත් කච්චානය, ශ්රමණ ගෞතමයන් විසින් යම් කරුණකින් එය ප්රකාශ නොකරන ලද නම් ඊට හේතු කවරේද? ඊට ප්රත්යය කවරේද?”
“රූප ඇත්තේයයි කියා හෝ රූප නැත්තේයයි කියා හෝ සංඥා ඇත්තේයයි කියා හෝ සංඥා නැත්තේයයි කියා හෝ සංඥාව ඇත්තේත් නැත, සංඥාව නැත්තේත් නැත, කියා හෝ පැනවීමට යම් හේතුවක් වේද, යම් ප්රත්යයක් වේද, ඒ හේතුවත් ඒ ප්රත්යයත් සියලු ආකාරයෙන් සර්වප්රකාරයෙන් සියල්ල ඉතිරි නැතිව නිරුද්ධ වන්නේ නම් කිනම් හේතුවකින් රූප ඇත්තේයයි කියා හෝ රූප නැත්තේයයි කියා හෝ සංඥා ඇත්තේයයි කියා හෝ සංඥා නැත්තේයයි කියා හෝ සංඥා ඇත්තේත් නැත නැත්තේත් නැත කියා හෝ පනවන්නේද?”