10. 1. 8.
ඛන්ධ සූත්‍රය
417. මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. ඉක්බිති වච්ඡගොත්ත පරිබ්‍රාජකතෙමේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එහි පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු විය යුතු සිහි කටයුතු කථාව කොට නිමවා එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන් වච්ඡගොත්ත පරිබ්‍රාජකතෙම භාග්‍යවතුන් වහන්සේගෙන්, “භවත් ගෞතමයන් වහන්ස, කිමෙක්ද? ලෝකය ශාස්වතදැයි” ඇසීය. “වච්ඡය, ‘ලෝකය ශාස්වතය’ යන මෙය මා විසින් ප්‍රකාශ නොකරන ලද්දකි.” ... (පෙ) ... “භවත් ගෞතමයන් වහන්ස, කිමෙක්ද? තථාගත තෙමේ මරණින් මතු නොවන්නේත් නොවේ නොවන්නේත් නොවේදැයි” ඇසීය. “වච්ඡය, ‘තථාගත තෙමේ මරණින් මතු නොවන්නේත් නොවේ නොවන්නේත් නොවේ’ යන මෙයද මා විසින් ප්‍රකාශ නොකරන ලද්දකැ”යි වදාළේය.
භවත් ගෞතමයන් වහන්ස, අන්‍යතීර්ථක පරිබ්‍රාජකයන්ට මෙසේ විචාරන ලද්දාහු ‘ලෝකය ශාස්වතය’යි කියා හෝ... (පෙ)... ‘තථාගත තෙමේ මරණින් මතු නොවන්නේත් නොවේ නොවන්නේත් නොවේ’යයි කියා හෝ මෙසේ ව්‍යාකරණයක් (පිළිතුරක්) වෙයි. ඊට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද? භවත් ගෞතමයන් වහන්ස, භවත් ගෞතමයන් වහන්සේට වනාහි මෙසේ විචාරන ලද්දාහු ‘ලෝකය ශාස්වතය’යි කියා හෝ... (පෙ)... ‘තථාගත තෙමේ මරණින් මතු නොවන්නේත් නොවේ නොවන්නේත් නොවේ’යයි කියා හෝ මෙසේ ව්‍යාකරණයක් නොවෙයි. ඊට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?
“වච්ඡය, අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ රූපය ආත්මයයි දකිත්. රූපය ඇතියහු ආත්මයයි කියා හෝ දකිත්. ආත්මය කෙරෙහි රූපය ඇතැයි කියා හෝ දකිත්. රූපයෙහි ආත්මය ඇතැයි කියා හෝ දකිත්. වේදනාව ආත්මයයි දකිත්. වේදනාව ඇතියහු ආත්මයයි කියා හෝ දකිත්. ආත්මය කෙරෙහි වේදනාව ඇතැයි කියා හෝ දකිත්. වේදනාවෙහි ආත්මය ඇතැයි කියා හෝ දකිත්. සංඥාව ආත්මයයි දකිත්. සංඥාව ඇතියහු ආත්මයයි කියා හෝ දකිත්. ආත්මය කෙරෙහි සංඥාව ඇතැයි කියා හෝ දකිත්. සංඥාවෙහි ආත්මය ඇතැයි කියා හෝ දකිත්. සංස්කාරය ආත්මයයි දකිත්. සංස්කාරය ඇතියහු ආත්මයයි කියා හෝ දකිත්. ආත්මය කෙරෙහි සංස්කාරය ඇතැයි කියා හෝ දකිත්. සංස්කාරයෙහි ආත්මය ඇතැයි කියා හෝ දකිත්. විඤ්ඤාණය ආත්මයයි දකිත්. විඤ්ඤාණය ඇතියහු ආත්මයයි කියා හෝ දකිත්. ආත්මය කෙරෙහි විඤ්ඤාණය ඇතැයි කියා හෝ දකිත්. විඤ්ඤාණයෙහි ආත්මය ඇතැයි කියා හෝ දකිත්. එසේ හෙයින් මෙසේ විචාරණ ලද අන්‍යතීර්ථක පරිබ්‍රාජකයන්ගේ ලෝකය ශාස්වතය කියාද, ලෝකය අශාස්වතයයි කියාද... (පෙ) ... සත්වතෙමේ මරණින් මතු නොවේ නොවන්නේද නොවේයයි කියාද මෙසේ ප්‍රකාශ කිරීම වෙයි.
“අර්හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයන් වහන්සේ රූපය ආත්මය වශයෙන් නොදකිත්. රූපය ඇත්තහු ආත්මයයි හෝ නොදකිත්. ආත්මය කෙරෙහි රූපය ඇතැයි හෝ නොදකිත්. රූපයෙහි ආත්මය ඇතැයි හෝ නොදකිත්. වේදනාව ආත්මය වශයෙන් නොදකිත්... (පෙ) ... සංඥාව ආත්මය වශයෙන් නොදකිත්... (පෙ) ... සංස්කාරය ආත්මය වශයෙන් නොදකිත්... (පෙ) ... විඤ්ඤාණය ආත්ම වශයෙන් හෝ නොදකිත්. විඤ්ඤාණ ඇත්තහු ආත්මය වශයෙන් හෝ නොදකිත්. ආත්මයෙහි විඤ්ඤාණය ඇතැයි හෝ නොදකිත්. විඤ්ඤාණයෙහි ආත්මය ඇතැයි හෝ නොදකිත්. එසේ හෙයින් මෙසේ අසන ලද තථාගතයන් වහන්සේගේ ලෝකය ශාස්වතයයි කියාද... (පෙ) ... සත්වතෙමේ මරණින් මතු නොවෙයි නොවන්නේද නොවෙයි කියාද මෙසේ ප්‍රකාශ නොකිරීම වේ”යයි කීය.
ඉක්බිති වච්ඡගොත්ත පරිබ්‍රාජකතෙම අසුනෙන් නැගිට ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් යම් තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ, ආයුෂ්මත් මහා මුගලන් ස්ථවිරයන් සමග සතුටු විය. සතුටු විය යුතු වූ සිහි කටයුතු වූ කථාව කොට නිමවා එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන් වච්ඡගොත්ත පරිබ්‍රාජකතෙම ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන්ගෙන් “පින්වත් මොග්ගල්ලානයෙනි, ලෝකය ශාස්වතදැයි ඇසීය. “වච්ඡය, ‘ලෝකය ශාස්වතය’ යන මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රකාශ නොකරන ලද්දකි.” ... (පෙ) ... “පින්වත් මොග්ගල්ලානයෙනි, කිමෙක්ද? තථාගත තෙමේ මරණින් මතු නොවන්නේත් නොවේ නොවන්නේත් නොවේදැයි” ඇසීය. “වච්ඡය, ‘තථාගත තෙමේ මරණින් මතු නොවන්නේත් නොවේ නොවන්නේත් නොවේ’ යන මෙයද භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රකාශ නොකරන ලද්දකැ”යි වදාළේය.
පින්වත් මොග්ගල්ලානයෙනි, අන්‍යතීර්ථක පරිබ්‍රාජකයන්ට මෙසේ විචාරන ලද්දාහු ‘ලෝකය ශාස්වතය’යි කියා හෝ... (පෙ)... ‘තථාගත තෙමේ මරණින් මතු නොවන්නේත් නොවේ නොවන්නේත් නොවේ’යයි කියා හෝ මෙසේ ව්‍යාකරණයක් (පිළිතුරක්) වෙයි. ඊට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද? පින්වත් මොග්ගල්ලානයෙනි, ශ්‍රමණ ගෞතමයන් වහන්සේට වනාහි මෙසේ විචාරන ලද්දාහු ‘ලෝකය ශාස්වතය’යි කියා හෝ... (පෙ)... ‘තථාගත තෙමේ මරණින් මතු නොවන්නේත් නොවේ නොවන්නේත් නොවේ’යයි කියා හෝ මෙසේ ව්‍යාකරණයක් නොවෙයි. ඊට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?
“වච්ඡය, අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ රූපය ආත්මයයි දකිත්. රූපය ඇතියහු ආත්මයයි කියා හෝ දකිත්. ආත්මය කෙරෙහි රූපය ඇතැයි කියා හෝ දකිත්. රූපයෙහි ආත්මය ඇතැයි කියා හෝ දකිත්. වේදනාව ආත්මයයි දකිත්... (පෙ) ... සංඥාව ආත්මයයි දකිත්... (පෙ) ... සංස්කාරය ආත්මයයි දකිත්... (පෙ) ... විඤ්ඤාණය ආත්මයයි දකිත්. විඤ්ඤාණය ඇතියහු ආත්මයයි කියා හෝ දකිත්. ආත්මය කෙරෙහි විඤ්ඤාණය ඇතැයි කියා හෝ දකිත්. විඤ්ඤාණයෙහි ආත්මය ඇතැයි කියා හෝ දකිත්. එසේ හෙයින් මෙසේ විචාරණ ලද අන්‍යතීර්ථක පරිබ්‍රාජකයන්ගේ ලෝකය ශාස්වතය කියාද... (පෙ) ... සත්වතෙමේ මරණින් මතු නොවේ නොවන්නේද නොවේයයි කියාද මෙසේ ප්‍රකාශ කිරීම වෙයි.