10. 1. 7.
7. ආයතන සූත්‍රය
416. [1] මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි වච්ඡගොත්ත පරිබ්‍රාජකතෙම ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ, ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේ සමග සතුටුවිය. සතුටුවිය යුතු සිහි කටයුතු කථාව කොට නිමවා එක්පසෙක හුන්නේය. එක් පසෙක හුන් වච්ඡගොත්ත පරිබ්‍රාජකතෙම ආයුෂ්මත් මහා මොග්ගල්ලාන තෙරුන්ට මෙසේ කීය: [2]“පින්වත් මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, කිමෙක්ද, ලෝකය ශාස්වතද?” - “වච්ඡගොත්තය, ලෝකය ශාස්වතය යන මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රකාශ නොකරන ලදැයි” කීයේය. “පින්වත් මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, කිමෙක්ද, ලෝකය අශාස්වතද?” - “වච්ඡගොත්තය, ලෝකය අශාස්වතය යන මෙයද තථාගතයන් වහන්සේ විසින් නොවදාරන ලදී.” “පින්වත් මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, කිමෙක්ද, ලෝකය කෙළවරක් ඇත්තේද?” - “වච්ඡගොත්තය, ලෝකය කෙළවරක් ඇත්තේය යන මෙයද භාග්‍යවතුන් වහන්සේ විසින් නොවදාරන ලදී.” “පින්වත් මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, කිමෙක්ද, ලෝකය කෙළවරක් නැත්තේද?” - “වච්ඡය, ලෝකය කෙළවරක් නැත්තේය යන මෙයද භාග්‍යවතුන් වහන්සේ විසින් නොවදාරන ලදී.”
“පින්වත් මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, කිමෙක්ද, එය ජීවයද, එයම ශරීරයද?” - “වච්ඡය, එය ජීවය, එයම ශරීරය යන මෙයද භාග්‍යවතුන් වහන්සේ විසින් නොවදාරන ලදී.” “පින්වත් මොග්ගල්ලානය, කිමෙක්ද, ජීවය අනිකක්ද? ශරීරය අනිකක්ද?” - “වච්ඡය, ජීවය අනිකක්ය, ශරීරය අනිකක්ය යන මෙයද භාග්‍යවතුන් වහන්සේ විසින් නොවදාරන ලදී.” [3] “පින්වත් මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, කිමෙක්ද, සත්වතෙමේ මරණින් මතු වේද?” - “වච්ඡය, සත්වතෙමේ මරණින් මතු වේය යන මෙයද භාග්‍යවතුන් වහන්සේ විසින් නොවදාරන ලදී.” “පින්වත් මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, කිමෙක්ද, සත්වතෙම මරණින් මතු නොවේද?” - “වච්ඡය, සත්වතෙමේ මරණින් මතු නොවේය යන මෙයද භාග්‍යවතුන් වහන්සේ විසින් නොවදාරන ලදී.” “පින්වත් මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, කිමෙක්ද, සත්වතෙමේ මරණින් මතු වන්නේද වෙයි, නොවන්නේද වෙයිද?” - “වච්ඡය, සත්වතෙමේ මරණින් මතු වන්නේද වෙයි, නොවන්නේද වෙයි යන මෙයද භාග්‍යවතුන් වහන්සේ විසින් නොවදාරන ලදී.” “පින්වත් මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, කිමෙක්ද, සත්වතෙමේ මරණින් මතු නොවේද, නොවන්නේත් නොවේද? - “වච්ඡය, සත්වතෙමේ මරණින් මතු නොවේද, නොවන්නේත් නොවේද යන මෙයද භාග්‍යවතුන් වහන්සේ විසින් නොවදාරන ලද්දේයයි” කීය.
[4] “පින්වත් මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, යම් කාරණයකින් මෙසේ අසන ලද්දා වූ අන්‍ය තීර්ථකයන්ගේ ලෝකය ශාස්වතයයි හෝ ලෝකය අශාස්වතයයි හෝ ලෝකය අන්තයක් ඇත්තේයයි හෝ ලෝකය අන්තයක් නැත්තේයයි හෝ එය ජීවය, එයම ශරීරයයි හෝ අනිකක් ජීවය, අනිකක් ශරීරයයි හෝ සත්වයා මරණින් මතු වේයයි හෝ සත්වයා මරණින් මතු නොවේයයි හෝ සත්වයා මරණින් මතු වන්නේද වෙයි, නොවන්නේද වෙයි කියා හෝ සත්වයා මරණින් මතු නොවේ, නොවන්නේ නොවේයයි කියා හෝ මෙසේ ප්‍රකාශ කිරීමක් ඇත්තේද, ඊට හේතු කවරේද? ප්‍රත්‍ය කවරේද?”
“පින්වත් මොග්ගල්ලාන ස්ථවිරය, මෙසේ අසන ලද්දා වූ ශ්‍රමණ ගෞතමයන්ගේ ලෝකය ශාස්වතයයි කියාද, ලෝකය අශාස්වතයයි කියාද, ලෝකය අන්තයක් ඇත්තේයයි කියාද, ලෝකය අන්තයක් නැත්තේයයි කියාද, එය ජීවය එය ශරීරයයි කියාද, අනිකක් ජීවය අනිකක් ශරීරය කියාද, සත්වතෙමේ මරණින් මතු වේයයි කියාද, සත්වතෙමේ මරණින් මතු නොවේයයි කියාද, සත්වතෙමේ මරණින් මතු වන්නේද වෙයි නොවන්නේද වෙයි කියාද, සත්වතෙමේ මරණින් මතු නොවේ නොවන්නේ නොවේයයි කියාද මෙසේ ප්‍රකාශ කිරීමක් නැත්තේද, ඊට හේතු කවරේද? ඊට ප්‍රත්‍යය කවරේද?”
[5] “වච්ඡය, අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ වනාහි ඇස මේ මගේය, මේ මම වෙමි, මේ මාගේ ආත්මයයි දකිත්. “කන මේ මගේය, මේ මම වෙමි, මේ මාගේ ආත්මයයි දකිත්. “නාසය මේ මගේය, මේ මම වෙමි, මේ මාගේ ආත්මයයි දකිත්. “දිව මේ මගේය, මේ මම වෙමි, මේ මගේ ආත්මයයි දකිත්. “කය මේ මගේය, මේ මම වෙමි, මේ මාගේ ආත්මයයි දකිත්. “සිත මේ මගේය, මේ මම වෙමි, මේ මගේ ආත්මයයි දකිත්. “එසේ හෙයින්, මෙසේ අසන ලද අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ ලෝකය ශාස්වතයයි කියාද, ලෝකය අශාස්වතයයි කියාද, ලෝකය අන්තයක් ඇත්තේයයි කියාද, ලෝකය අන්තයක් නැත්තේයයි කියාද, එය ජීවය එය ශරීරයයි කියාද, අනිකක් ජීවය අනිකක් ශරීරයයි කියාද, සත්වතෙමේ මරණින් මතු වේයයි කියාද, සත්වතෙමේ මරණින් මතු නොවේයයි කියාද, සත්වතෙමේ මරණින් මතු වන්නේද වෙයි නොවන්නේද වෙයි කියාද, සත්වතෙමේ මරණින් මතු නොවේ නොවන්නේද නොවේයයි කියාද ප්‍රකාශ කෙරෙත්.