10. 1. 2.
අනුරාධ සූත්රය
411. මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයෙක්හි භාග්යවතුන් වහන්සේ විශාලා මහනුවර මහා වනයෙහි කූටාගාර ශාලාවෙහි වැඩ සිටින සේක. එකල්හි වනාහි ආයුෂ්මත් අනුරාධ ස්ථවිරතෙම භාග්යවතුන් වහන්සේට නුදුරු වූ වනකුටියක වාසය කරයි. ඉක්බිති බොහෝ අන්යතීර්ථක පරිබ්රාජකයෝ, ආයුෂ්මත් අනුරාධ ස්ථවිරයන් වහන්සේ යම්තැනකද එතැනට පැමිණියාහුය. පැමිණ ආයුෂ්මත් අනුරාධ ස්ථවිරයන් වහන්සේ සමග සතුටු වූවාහුය. සතුටුවිය යුතු වූ සිහිකටයුතු වූ කථාව කොට නිමවා එක් පසෙක හුන්නාහුය. එක්පසෙක හුන් ඒ අන්ය තීර්ථක පරිබ්රාජකයෝ, ආයුෂ්මත් අනුරාධ තෙරුන්ගෙන්; "ඇවැත් අනුරාධයෙනි, උත්තම පුරුෂ වූ, පරම පුරුෂ වූ, ශ්රේෂ්ඨ පැමිණීමට පැමිණියා වූ යම් ඒ තථාගත කෙනෙක් වේද, ඔහු තථාගතතෙමේ මරණින් මතු වේයයි කියා හෝ තථාගත තෙමේ මරණින් මතු නොවේයයි කියා හෝ තථාගත තෙමේ මරණින් මතු වන්නේද වෙයි නොවන්නේද වෙයි කියා හෝ තථාගත තෙමේ මරණින් මතු නොවෙයි, නොවන්නේද නොවෙයි කියා හෝ මේ සතර කාරණයන්හි පණවන්නාහුදැයි” ඇසූහ.
“ඇවැත්නි, උත්තම පුරුෂ වූ, ශ්රේෂ්ඨ පුරුෂ වූ, ශ්රේෂ්ඨ පැමිණීමට පැමිණියා වූ යම් ඒ තථාගත කෙනෙක් වේද ඔහු තථාගතයන් වහන්සේ මරණින් මතු වේයයි කියා හෝ තථාගත තෙමේ මරණින් මතු නොවෙයි කියා හෝ තථාගත තෙමේ මරණින් මතු වන්නේද වෙයි, නොවන්නේද වෙයි කියා හෝ තථාගත තෙමේ මරණින් මතු නොවෙයි, නොවන්නේද නොවෙයි කියා හෝ මේ කරුණු සතරින් වෙන්වම පණවන්නාහුයයි” ආයුෂ්මත් අනුරාධ ස්ථවිරතෙම කීහ. මෙසේ කීකල්හි අන්ය තීර්ථක පරිබ්රාජකයෝ, ආයුෂ්මත් අනුරාධ තෙරුන්ට "මේ භික්ෂුව නවකයෙක් වන්නේය. පැවිදි වී වැඩිකල් නැත්තේය. තෙරකෙනෙක් වේවා බාලයෙක, අව්යක්තයෙකැයි” කීවාහුය. එකල්හි ඒ අන්ය තීර්ථක පරිබ්රාජකයෝ ආයුෂ්මත් අනුරාධ තෙරුන්ට අලුත් වාදයෙන්ද බාලවාදයෙන්ද අවමන් කොට හුනස්නෙන් නැඟිට ගියාහුය.
ඉක්බිති ඒ අන්ය තීර්ථක පරිබ්රාජකයන් ගිය නොබෝ වේලාවකින් ආයුෂ්මත් අනුරාධ තෙරුන්ට මෙසේ සිත් විය. “ඉදින් ඒ අන්ය තීර්ථක පරිබ්රාජකයෝ, මගෙන් මත්තෙහි අසන්නාහු නම් කෙසේ ප්රකාශ කළ කල්හි ඒ අන්ය තීර්ථක පරිබ්රාජකයන්ට භාග්යවතුන් වහන්සේ වදාරන ලද්දක් කියන්නේ වෙම්ද, භාග්යවතුන් වහන්සේට බොරුවෙන් චෝදනා නොකෙරෙම්ද, ධර්මයට අනුකූල ධර්මයක් ප්රකාශ කරන්නෙම්ද, කිසියම් කරුණු සහිත වාදයකින් ගැරහිය යුතු බවට නොපැමිණෙන්නේදැයි’ මේ සිත විය. ඉක්බිති ආයුෂ්මත් අනුරාධ ස්ථවිරයන් වහන්සේ භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේ වැඳ එක් පසෙක හුන්නේය. එක්පසෙක හුන් ආයුෂ්මත් අනුරාධ ස්ථවිර තෙමේ භාග්යවතුන් වහන්සේට මෙසේ කීයේය.
“ස්වාමීනි, මෙහි මම භාග්යවතුන් වහන්සේට නුදුරු ආරණ්ය කුටියෙහි වාසය කරමි. ස්වාමීනි, එකල්හි බොහෝ අන්යතීර්ථක පරිබ්රාජකයෝ මා යම් තැනෙක්හිද එතැනට පැමිණියාහුය. පැමිණ, මා සමග සතුටු වූවාහුය. සතුටු විය යුතු සිහි කටයුතු කථාව කොට නිමවා එක්පසෙක සිටියාහුය. “ස්වාමීනි, එක්පසෙක සිටි අන්යතීර්ථක පරිබ්රාජකයෝ මට ‘ඇවැත් අනුරාධය, උතුම් පුරුෂ වූ ශ්රේෂ්ඨ පුරුෂ වූ උතුම් බවට පැමිණියා වූ යම් තථාගත කෙනෙක් වේද, ඔහු තථාගත තෙමේ මරණින් මතුවෙයි කියා හෝ තථාගතතෙමේ මරණින් මතු නොවෙයි කියා හෝ තථාගතතෙමේ මරණින් මතු මරණින් මතු වන්නේද වෙයි, නොවන්නේද වෙයි කියා හෝ තථාගතතෙමේ මරණින් මතු නොවෙයි, නොවන්නේද නොවෙයි කියා හෝ තථාගතයන් වහන්සේ පණවන්නාහුදැයි” ඇසූහ. “ස්වාමීනි, මෙසේ අසන ලද මම ඒ අන්යතීර්ථක පරිබ්රාජකයන්ට "ඇවැත්නි, උත්තම පුරුෂ වූ ශ්රේෂ්ඨ පුරුෂ වූ උතුම් තැනට පැමිණියා වූ යම් ඒ තථාගත කෙනෙක් වේද, ඔහු තථාගතතෙමේ මරණින් මතුවෙයි කියා හෝ තථාගතතෙමේ මරණින් මතු නොවෙයි කියා හෝ තථාගතතෙමේ මරණින් මතු මරණින් මතු වන්නේද වෙයි, නොවන්නේද වෙයි කියා හෝ තථාගතතෙමේ මරණින් මතු නොවෙයි, නොවන්නේද නොවෙයි කියා හෝ මේ සතර කාරණයන්ගෙන් තථාගතයන් වහන්සේ නොපණවත් යයි කීයෙමි.
“ස්වාමීනි, මෙසේ කීකල්හි අන්යතීර්ථක පරිබ්රාජකයෝ ‘මේ භික්ෂුව නවකයෙක් වන්නේය. පැවිදි වූ නොබෝ කල් ඇත්තේය. තෙර කෙනෙක් හෝ වේවා, බාලයෙක අව්යක්තයෙකැයි’ කීවාහුය. ස්වාමීනි, ඉක්බිති ඒ අන්යතීර්ථක පරිබ්රාජකයෝ මට නවක වාදයෙන්ද, බාලවාදයෙන්ද අගෞරව කොට හුනස්නෙන් නැගිට ගියාහුය. “ස්වාමීනි, ඒ අන්යතීර්ථක පරිබ්රාජකයන් ගිය නොබෝ වේලාවකින් මට ‘ඒ අන්යතීර්ථක පරිබ්රාජකයෝ ඉදින් මගෙන් මත්තෙහි ප්රශ්න විචාරන්නහු නම් ඒ අන්ය තීර්ථක පරිබ්රාජකයන්ට කෙසේ ප්රකාශ කළ කල්හි භාග්යවතුන් වහන්සේ විසින් කියන ලද්දක් කියන්නෙම් වෙම්ද, භාග්යවතුන් වහන්සේට බොරුවෙන් චෝදනා නොකරන්නෙම්ද, ධර්මයට අනුකූල ධර්මයක් ප්රකාශ කරන්නෙම්ද, කිසියම් කරුණු සහිත වාදයකින් ගැරහිය යුතු බවට නොපැමිණෙන්නේදැයි’ මෙසේ සිත් විය.
“අනුරාධය, ඒ කුමකැයි හඟින්නෙහිද? රූපය නිත්ය හෝ අනිත්ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්යය.” “යමක් අනිත්යනම් එය දුකද, සැපද?” - “ස්වාමීනි, දුකය.” “යමක් වනාහි අනිත්යයද, දුකද, පෙරලෙනසුළුද; මේ මාගේය, මේ මම වෙමි, මේ මගේ ආත්මයයි දැකීමට සුදුසුද?” - “ස්වාමීනි, නැත.” “වේදනාව නිත්ය හෝ අනිත්ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්යය.” “යමක් අනිත්ය නම් එය දුකද, සැපද?” - “ස්වාමීනි, දුකය.” “යමක් වනාහි අනිත්යද, දුකද, පෙරලෙනසුළුද; මේ මාගේය, මේ මම වෙමි, මේ මාගේ ආත්මයයි දැකීම සුදුසුද?” - “ස්වාමීනි, නැත.” “සංඥාව නිත්ය හෝ අනිත්ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්යය.” “යමක් අනිත්ය නම් එය දුකද, සැපද?” - “ස්වාමීනි, දුකය.” “යමක් වනාහි අනිත්යද, දුකද, පෙරලෙනසුළුද; මේ මාගේය, මේ මම වෙමි, මේ මාගේ ආත්මයයි දැකීම සුදුසුද?” - “ස්වාමීනි, නැත.” “සංස්කාර නිත්ය හෝ අනිත්ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්යය.” “යමක් අනිත්යනම් එය දුකද, සැපද?” - “ස්වාමීනි, දුකය.” “යමක් වනාහි අනිත්යද, දුකද, පෙරලෙනසුළුද; මේ මාගේය, මේ මම වෙමි, මේ මාගේ ආත්මයයි දැකීම සුදුසුද?” - “ස්වාමීනි, නැත.” “විඤ්ඤාණය නිත්ය හෝ අනිත්ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්යය.” “යමක් අනිත්ය නම් එය දුකද, සැපද?” - “ස්වාමීනි, දුකය.” “යමක් වනාහි අනිත්යද, දුකද, පෙරලෙනසුළුද; මේ මාගේය, මේ මම වෙමි, මේ මාගේ ආත්මයයි දැකීම සුදුසුද?” - “ස්වාමීනි, නැත.”