10. 1. 11.
සභිය සූත්රය
420. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි ආයුෂ්මත් සභිය කච්චාන ස්ථවිරතෙමේ ඤාතිකයෙහි වූ ගිඤ්ජකාවසථයෙහි (උළුගෙයි) වසන සේක. එකල්හි වච්ඡගොත්ත පරිබ්රාජකතෙම ආයුෂ්මත් සභිය කච්චාන ස්ථවිරතෙම යම් තැනෙක්හිද එතැන්හි පැමිණියේය. පැමිණ ආයුෂ්මත් සභිය කච්චාන ස්ථවිරයන් සමග සතුටු විය. සිහි කළ යුතු සතුටු විය යුතු කථාව කොට නිමවා එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන් වච්ඡගොත්ත පරිබ්රාජකතෙම ආයුෂ්මත් සභියකච්චාන ස්ථවිරයන්ගෙන් මෙසේ ඇසීය:
“භවත් කච්චානය, කිමෙක්ද සත්වතෙමේ මරණින් මතු වේද?”-“වච්ඡය, සත්වතෙමේ මරණින් මතු වේය යන මෙය භාග්යවතුන් වහන්සේ විසින් ප්රකාශ නොකරන ලදී.” “භවත් කච්චානය, සත්වතෙමේ මරණින් මතු නොවේද?”-“වච්ඡය, සත්වතෙමේ මරණින් මතු නොවේය යන මෙයද භාග්යවතුන් වහන්සේ විසින් ප්රකාශ නොකරන ලදී.” “භවත් කච්චානය, කිමෙක්ද? සත්වතෙමේ මරණින් මතු වන්නේත් වෙයි නොවන්නේත් වෙයිද?”-“වච්ඡය, සත්වතෙමේ මරණින් මතු වන්නේත් වෙයි නොවන්නේත් වෙයි යන මෙයද භාග්යවතුන් වහන්සේ විසින් ප්රකාශ නොකරන ලදී.” “භවත් කච්චානය, සත්වතෙමේ මරණින් මතු නොවන්නේත් වෙයි නොවන්නේත් නොවෙයිද?”-“වච්ඡය, සත්වතෙමේ මරණින් මතු නොවන්නේත් වෙයි නොවන්නේත් නොවෙයි යන මෙයද භාග්යවතුන් වහන්සේ විසින් ප්රකාශ නොකරන ලදී.”
“භවත් කච්චානය, කිමෙක්ද? සත්වතෙමේ මරණින් මතු වේදැයි මෙසේ විචාරණ ලද්දේ ‘වච්ඡය, සත්වතෙමේ මරණින් මතු වේයයි භාග්යවතුන් වහන්සේ විසින් නොවදාරන ලද්දේයයි කීයේය. භවත් කච්චානය, කිමෙක්ද? සත්වතෙමේ මරණින් මතු නොවේදැයි, මෙසේ විචාරණ ලද්දේද, ‘වච්ඡය, සත්වතෙමේ මරණින් මතු නොවේයයි යන මෙයද භාග්යවතුන් වහන්සේ විසින් නොවදාරන ලද්දේයයි’කීයෙහිය. භවත් කච්චානය, කිමෙක්ද? සත්වතෙමේ මරණින් මතු වන්නේත් වෙයි, නොවන්නේත් වේදැයි මෙසේ විචාරණ ලද්දේද, “වච්ඡය, සත්වතෙමේ මරණින් මතු වන්නේත් වෙයි නොවන්නේත් වෙයි යන මෙයද භාග්යවතුන් වහන්සේ විසින් නොවදාරන ලද්දේයයි කීයෙහිය. භවත් කච්චානය, කිමෙක්ද? සත්වතෙමේ මරණින් මතු නොවන්නේත් වෙයි, නොවන්නේත් නොවේදැයි මෙසේ විචාරණ ලද්දේද 'වච්ඡය, සත්වතෙමේ මරණින් මතු නොවන්නේත් වෙයි නොවන්නේත් නොවෙයි යන මෙයද භාග්යවතුන් වහන්සේ විසින් නොවදාරන ලද්දේයයි’කීයෙහිය. “භවත් කච්චානය, ශ්රමණ ගෞතමයන් විසින් යම් කරුණකින් එය ප්රකාශ නොකරන ලද නම් ඊට හේතු කවරේද? ඊට ප්රත්යය කවරේද?”
“රූප ඇත්තේයයි කියා හෝ රූප නැත්තේයයි කියා හෝ සංඥා ඇත්තේයයි කියා හෝ සංඥා නැත්තේයයි කියා හෝ සංඥාව ඇත්තේත් නැත, සංඥාව නැත්තේත් නැත, කියා හෝ පැනවීමට යම් හේතුවක් වේද, යම් ප්රත්යයක් වේද, ඒ හේතුවත් ඒ ප්රත්යයත් සියලු ආකාරයෙන් සර්වප්රකාරයෙන් සියල්ල ඉතිරි නැතිව නිරුද්ධ වන්නේ නම් කිනම් හේතුවකින් රූප ඇත්තේයයි කියා හෝ රූප නැත්තේයයි කියා හෝ සංඥා ඇත්තේයයි කියා හෝ සංඥා නැත්තේයයි කියා හෝ සංඥා ඇත්තේත් නැත නැත්තේත් නැත කියා හෝ පනවන්නේද?”