1. 9. 9.
ද්වය සූත්‍රය
92. “මහණෙනි, තොපට දෙකක් දේශනා කරන්නෙමි. එය අසව්. මහණෙනි, කවරනම් දෙකක්ද යත්, ඇසද රූපයෝද, කනද ශබ්දයෝද, නාසයද ගන්‍ධයෝද, දිවද රසයෝද, කයද ස්පර්‍ශයෝද, සිතද ධර්‍මයෝද වෙත්. මහණෙනි, මෙය දෙකයයි කියනු ලැබේ.
“මහණෙනි, යමෙක් මම මේ දෙක අත්හැර අනික් දෙකක් දක්වන්නෙමියි කියන්නේ නම් ඔහුගේ කීම වචනමාත්‍රයක් පමණක්ම වන්නේය. අසන ලද්දේද පිළිතුරකට නොපැමිණෙන්නේය. වඩාත් වෙහෙසට පැමිණෙන්නේය. ඊට හේතු කවරේද? මහණෙනි, විෂය නොවූවක් යම්සේද, එමෙනැයි, වදාළ සේක.
1. 9. 10.
දුතිය ද්වය සූත්‍රය
93. “මහණෙනි, දෙකක් නිසා විඥානය හටගනියි. මහණෙනි, කෙසේනම් දෙකක් නිසා විඥානය හටගනීද? ඇසද රූපයන්ද නිසා චක්‍ෂුර්විඥානය උපදියි. ඇස අනිත්‍යය. පෙරලෙන ස්වභාවය. අන් ආකාරයකට පෙරලෙන ස්වභාවය ඇත්තේය. රූපයෝ අනිත්‍යයහ. පෙරලෙන ස්වභාව ඇත්තාහුය. අන් ආකාරයක් වන ස්වභාවය. මෙසේ මේ දෙකම සැලෙන්නේය. විනාශ වන්නේය. අනිත්‍යය. පෙරලෙන ස්වභාවය. අන් ආකාරයක් වන ස්වභාවය. චක්‍ෂුර්විඥානයද අනිත්‍යය. පෙරලෙන ස්වභාවය. අන් ආකාරයක් වන ස්වභාවය. චක්ඛු විඥානයාගේ පහළවීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍යවේද, ඒ හේතුවද, ඒ ප්‍රත්‍යයද, අනිත්‍ය වේ. පෙරලෙන ස්වභාව ඇත්තේය. අන් ආකාරයක් වන ස්වභාවය.
“මහණෙනි, අනිත්‍යවූ ප්‍රත්‍යයක් නිසා හටගත්තාවූ චක්ඛු විඥානය කෙසේනම් නිත්‍ය වන්නේද, මහණෙනි, මේ ධර්‍මයන් තුන්දෙනාගේ යම් සමාගමයක් රැස්වීමක් එක්වීමක් වේද, මහණෙනි, මේ චක්ඛු සම්ඵස්සයයි කියනු ලැබේ. චක්ඛු සම්ඵස්සයද අනිත්‍ය වේ. පෙරළෙන ස්වභාවය. අන් ආකාරයක් වන්නේය. මහණෙනි, අනිත්‍ය වූ ප්‍රත්‍යයක් නිසා උපන්නාවූ චක්ඛු සම්ඵස්සය කෙසේනම් නිත්‍ය වන්නේද, මහණෙනි, ස්පර්‍ශ කරන ලද්දේ විඳියි. ස්පර්‍ශ කරන ලද්දේ විධානය කරයි. ස්පර්‍ශ කරන ලද්දේ හඳුනයි. මෙසේ මේ ධර්‍මයෝද සැලෙන්නාහුය. විනාශ වන්නාහුය. අනිත්‍යයහ. පෙරලෙන ස්වභාවය ඇත්තාහුය. අන් ආකාරයක් වන්නාහුය.
“කනද ශබ්දයන්ද නිසා සෝත විඥානය උපදියි. කන අනිත්‍යය. පෙරලෙන ස්වභාවය. අන් ආකාරයකට පෙරලෙන ස්වභාවය ඇත්තේය. ශබ්දයෝ අනිත්‍යයහ. පෙරලෙන ස්වභාව ඇත්තාහුය. අන් ආකාරයක් වන ස්වභාවය. මෙසේ මේ දෙකම සැලෙන්නේය. විනාශ වන්නේය. අනිත්‍යය. පෙරලෙන ස්වභාවය. අන් ආකාරයක් වන ස්වභාවය. සෝත විඥානයද අනිත්‍යය. පෙරලෙන ස්වභාවය. අන් ආකාරයක් වන ස්වභාවය. සෝත විඥානයාගේ පහළවීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍යවේද, ඒ හේතුවද, ඒ ප්‍රත්‍යයද, අනිත්‍ය වේ. පෙරලෙන ස්වභාව ඇත්තේය. අන් ආකාරයක් වන ස්වභාවය. “මහණෙනි, අනිත්‍යවූ ප්‍රත්‍යයක් නිසා හටගත්තාවූ සෝත විඥානය කෙසේනම් නිත්‍ය වන්නේද, මහණෙනි, මේ ධර්‍මයන් තුන්දෙනාගේ යම් සමාගමයක් රැස්වීමක් එක්වීමක් වේද, මහණෙනි, මේ සෝත සම්ඵස්සයයි කියනු ලැබේ. සෝත සම්ඵස්සයද අනිත්‍ය වේ. පෙරළෙන ස්වභාවය. අන් ආකාරයක් වන ස්වභාවය. සෝත සම්ඵස්සයාගේ ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍යවේද, ඒ හේතුවද, ඒ ප්‍රත්‍යයද, අනිත්‍ය වේ. පෙරලෙන ස්වභාවය. අන් ආකාරයක් වන්නේය. “මහණෙනි, අනිත්‍ය වූ ප්‍රත්‍යයක් නිසා උපන්නාවූ සෝත සම්ඵස්සය කෙසේනම් නිත්‍ය වන්නේද, මහණෙනි, ස්පර්‍ශ කරන ලද්දේ විඳියි. ස්පර්‍ශ කරන ලද්දේ විධානය කරයි. ස්පර්‍ශ කරන ලද්දේ හඳුනයි. මෙසේ මේ ධර්‍මයෝද සැලෙන්නාහුය. විනාශ වන්නාහුය. අනිත්‍යයහ. පෙරලෙන ස්වභාවය ඇත්තාහුය. අන් ආකාරයක් වන්නාහුය. “නාසයද, ගන්‍ධයන්ද නිසා ඝාණ විඥානය උපදියි. නාසය අනිත්‍යය. පෙරළෙන ස්වභාවය. අන් ආකාරයකට පෙරළෙන ස්වභාවය ඇත්තේය. ගන්‍ධයෝ අනිත්‍යයහ. පෙරළෙන ස්වභාව ඇත්තාහුය. අන් ආකාරයක් වන ස්වභාවය. මෙසේ මේ දෙකම සැලෙන්නේය. විනාශ වන්නේය. අනිත්‍යය. පෙරළෙන ස්වභාවය. අන් ආකාරයක් වන ස්වභාවය. ඝාණ විඥානයද අනිත්‍යය. පෙරළෙන ස්වභාවය. අන් ආකාරයක් වන ස්වභාවය. ඝාණ විඥානයාගේ පහළවීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍යවේද, ඒ හේතුවද, ඒ ප්‍රත්‍යයද, අනිත්‍ය වේ. පෙරළෙන ස්වභාව ඇත්තේය. අන් ආකාරයක් වන ස්වභාවය. “මහණෙනි, අනිත්‍යවූ ප්‍රත්‍යයක් නිසා හටගත්තාවූ ඝාණ විඥානය කෙසේනම් නිත්‍ය වන්නේද, මහණෙනි, මේ ධර්‍මයන් තුන්දෙනාගේ යම් සමාගමයක්, රැස්වීමක්, එක්වීමක් වේද, මහණෙනි, මේ ඝාණ සම්ඵස්සයයි කියනු ලැබේ. ඝාණ සම්ඵස්සයද අනිත්‍ය වේ. පෙරළෙන ස්වභාවය. අන් ආකාරයක් වන ස්වභාවය. ඝාණ සම්ඵස්සයාගේ ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍යවේද, ඒ හේතුවද, ඒ ප්‍රත්‍යයද, අනිත්‍ය වේ. පෙරළෙන ස්වභාවය. අන් ආකාරයක් වන්නේය. “මහණෙනි, අනිත්‍ය වූ ප්‍රත්‍යයක් නිසා උපන්නාවූ ඝාණ සම්ඵස්සය කෙසේනම් නිත්‍ය වන්නේද, මහණෙනි, ස්පර්‍ශ කරන ලද්දේ විඳියි. ස්පර්‍ශ කරන ලද්දේ විධානය කරයි. ස්පර්‍ශ කරන ලද්දේ හඳුනයි. මෙසේ මේ ධර්‍මයෝද සැලෙන්නාහුය. විනාශ වන්නාහුය. අනිත්‍යයහ. පෙරළෙන ස්වභාවය ඇත්තාහුය. අන් ආකාරයක් වන්නාහුය. “දිවද, රසයන්ද නිසා ජිව්හා විඥානය උපදියි. දිව අනිත්‍යය. පෙරළෙන ස්වභාව ඇත්තේය. අන් ආකාරයක් වන ස්වභාවය. රසයෝ අනිත්‍යයහ. පෙරළෙන ස්වභාව ඇත්තාහුය. අන් ආකාරයක් වන්නාහුය. මෙසේ මේ ධර්‍ම දෙක සැලෙන්නේය. විනාශ වන්නේය. අනිත්‍යය. පෙරළෙන ස්වභාව ඇත්තේය. අන් ආකාරයක් වන ස්වභාවය. ජිව්හා විඥානයද අනිත්‍යය. පෙරළෙන ස්වභාවය. අන් ආකාරයක් වන්නේය. ජිව්හා විඥානයාගේ ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍යවේද, ඒ හේතුවද, ඒ ප්‍රත්‍යයද, අනිත්‍ය වේ. පෙරළෙන ස්වභාවය. අන් ආකාරයක් වන්නේය.