1. 9. 4.
ඡන්න සූත්රය
87. එක් කලෙක්හි භාග්යවතුන් වහන්සේ රජගහ නුවර කලන්දක නිවාප නම්වූ වේළුවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි ආයුෂ්මත් ශාරීපුත්ර ස්ථවිර තෙමේද, ආයුෂ්මත් මහා චුන්ද ස්ථවිර තෙමේද, ආයුෂ්මත් ඡන්න ස්ථවිර තෙමේද ගිජුකුළුපව්වෙහි වාසය කෙරෙත්. එකල්හි වනාහි ආයුෂ්මත් ඡන්න ස්ථවිර තෙම හටගත් ආබාධ ඇත්තේ දුකින් පෙළුණේ දැඩි ගිලන් වූයේ වේ. ඉක්බිති ආයුෂ්මත් ශාරීපුත්ර ස්ථවිර තෙම සවස් වේලෙහි විවේකයෙන් නැගී සිටියේ ආයුෂ්මත් මහා චුන්ද ස්ථවිර තෙම යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ ආයුෂ්මත් මහා චුන්ද ස්ථවිරයන්ට, ඇවැත් චුන්දය, ආයුෂ්මත් ඡන්න ස්ථවිර තෙමේ යම් තැනෙක්හිද, එහි අසනීප බැලීම සඳහා යමුයි, කීය. ඇවැත්නි එසේයයි, කියා ආයුෂ්මත් මහා චුන්ද ස්ථවිර තෙම ආයුෂ්මත් ශාරීපුත්ර ස්ථවිරයන්ට උත්තර දුන්නේය.
ඉක්බිති ආයුෂ්මත් ශාරීපුත්ර ස්ථවිර තෙමේද, ආයුෂ්මත් මහා චුන්ද ස්ථවිර තෙමේද, ආයුෂ්මත් ඡන්න ස්ථවිර තෙම යම් තැනෙක්හිද එතැනට පැමිණියාහුය. පැමිණ පනවන ලද ආසනයෙහි ඉඳගත්හ. ඉඳගෙන ආයුෂ්මත් ශාරීපුත්ර ස්ථවිර තෙමේ ආයුෂ්මත් ඡන්න ස්ථවිරයන්ට මෙසේ කීය:
“ඇවැත් ඡන්නය, කිමෙක්ද, ඔබට ඉවසිය හැක්කේද? කිම යැපිය හැක්කේද? කිම දුක් වේදනාවෝ අඩු වෙත්ද, වැඩි නොවෙත්ද, අඩුවන බවක් පෙනේද, වැඩිවන බවක් නොපෙනේදැයි’
“ඇවැත් ශාරීපුත්රයෙනි, මට ඉවසිය නොහැක, යැපිය නොහැක, දැඩිවූ මාගේ දුක් වේදනාවෝ වැඩිවෙත්, අඩු නොවෙත්. වැඩිවන බවම පෙනේ. අඩුවන බවක් නොපෙනේ. ඇවැත්නි යම් සේ බලවත් පුරුෂයෙක් සියුම්වූ විදින කටුවෙන් හිස් මුදුන විදින්නේද, ඇවැත්නි එපරිද්දෙන්ම බලවත්වූ වාතයෝ හිස පහරත්.
“ඇවැත් ශාරීපුත්රයෙනි, මට ඉවසිය නොහැක, යැපිය නොහැක, දැඩිවූ මාගේ දුක් වේදනාවෝ වැඩිවෙත්, අඩු නොවෙත්. වැඩිවන බවම පෙනේ. අඩුවන බවක් නොපෙනේ. ඇවැත්නි යම් සේ බලවත් පුරුෂයෙක් දැඩිවූ වර පටකින් හිසෙහි හිස් වෙළුමක් දෙන්නේද, ඇවැත්නි, එපරිද්දෙන්ම මාගේ හිසෙහි වේදනාවෝ බලවත්ය.
“ඇවැත් ශාරීපුත්රයෙනි, මට ඉවසිය නොහැක, යැපිය නොහැක, දැඩිවූ මාගේ දුක් වේදනාවෝ වැඩිවෙත්, අඩු නොවෙත්. වැඩිවන බවම පෙනේ. අඩුවන බවක් නොපෙනේ. ඇවැත්නි යම් සේ දක්ෂවූ ගවයන් මරන්නෙක් ගවයන් මරන්නෙකුගේ අතවැසියෙක් හෝ තියුණුවූ ගෙරි කපන කැත්තෙන් කුස කපන්නේද, ඇවැත්නි එපරිද්දෙන්ම බලවත්වූ වාතයෝ කුස කපත්.
“ඇවැත් ශාරීපුත්රයෙනි, මට ඉවසිය නොහැක, යැපිය නොහැක, දැඩිවූ මාගේ දුක් වේදනාවෝ වැඩිවෙත්, අඩු නොවෙත්. වැඩිවන බවම පෙනේ. අඩුවන බවක් නොපෙනේ. ඇවැත්නි යම් සේ බලවත්වූ පුරුෂයෝ දෙදෙනෙක් ඉතා දුර්වලවූ පුරුෂයෙකු වෙන වෙනම අත්වලින් අල්ලාගෙන ගිනි අඟුරු වලෙක්හි තවන්නාහුද, ඇවැත්නි, එපරිද්දෙන්ම සිරුරෙහි බලවත්වූ දැවිල්ලක් වේ.
“ඇවැත් ශාරීපුත්රයෙනි, මට ඉවසිය නොහැක, යැපිය නොහැක, දැඩිවූ මාගේ දුක් වේදනාවෝ වැඩිවෙත්, අඩු නොවෙත්. වැඩිවන බවම පෙනේ. අඩුවීමක් නොපෙනේ. ආයුෂ්මත්වූ ශාරිපුත්රය, ආයුධයකින් දිවි තොර කරගන්නෙමි.ජීවිතය බලාපොරොත්තු නොවෙමියි, කීයේය.
“ආයුෂ්මත් ඡන්නතෙමේ ආයුධයකින් දිවි තොරකර නොගනීවා, ආයුෂ්මත් ඡන්නතෙමේ ජීවත් වේවා අපි ජීවත්වන්නාවූ ඡන්නයන් (දැකීමට) කැමති වෙමු. ඉදින් ආයුෂ්මත් ඡන්නයන්ට සුදුසු වූ ආහාර නැතිනම් මම ආයුෂ්මත් ඡන්නයන්ට සුදුසුවූ ආහාර සපයා දෙන්නෙමි. ඉදින් ආයුෂ්මත් ඡන්නයන්ට සුදුසු වූ බෙහෙත් නැතිනම් මම ආයුෂ්මත් ඡන්නයන්ට සුදුසුවූ බෙහෙත් සපයා දෙන්නෙමි. ඉදින් ආයුෂ්මත් ඡන්නයන්ට සුදුසු වූ උපස්ථායකයෝ නැතිනම් මම ආයුෂ්මත් ඡන්න ස්ථවිරයන්ට උපස්ථාන කරන්නෙමි. ආයුෂ්මත් ඡන්න තෙමේ ආයුධයකින් දිවි තොරකර නොගණිවා. ආයුෂ්මත් ඡන්න තෙමේ ජීවත් වේවා. අපි ජීවත්වන්නාවූ ආයුෂ්මත් ඡන්නයන් (දැකීමට) කැමැත්තෙමුයි, කීය.