1. 18. 8.
ආදිත්තපරියාය සූත්‍රය
235. “මහණෙනි, තොපට ආදිත්ත පරියාය නම් වූ ධර්‍ම දේශනාවක් කරන්නෙමි. එය අසව්. මහණෙනි, ආදිත්ත පරියාය නම්වූ ධර්‍ම දේශනාව කවරේද? “මහණෙනි, චක්ඛු විඤ්ඤාණයෙන් දතයුතුවූ රූපයන් කෙරෙහි අත් ලක්‍ෂණය පා ලක්‍ෂණය යනාදී (අනුව්‍යඤ්ජන) සටහන් ගැනීමට වඩා ඇවිල ගන්නාවූ දිලිසෙන්නාවූ ගිනිදැල් සහිතවූ රත්වූ යකඩ කූරකින් ඇස හාරා දැමීම උතුම්ය. මහණෙනි, ශරීරය ලක්‍ෂණයයි සටහන් ආශ්වාදනය කිරීමෙහි (නිමිත්තාස්වාදයෙහි) බැඳුනාවූ හෝ අත්පාදි ලක්‍ෂණයයි ගන්නා සටහන් ආශ්වාදනය කිරීමෙහි (අනුව්‍යඤ්ජනාස්වාදයෙහි) බැඳුනාවූ හෝ සිත පවත්නේද, ඉදින් ඒ කාලයෙහි කළුරිය කරන්නේ නම් නිරය හෝ තිරිසන් යෝනිය හෝ යන ගති දෙක අතුරෙන් යම් එක්තරා ගතියකට පැමිණෙන්නේය යන මේ කාරණය විද්‍යාමාන වේ. මහණෙනි, මම මේ දෝෂය දැක මෙසේ කියමි.
“මහණෙනි, සෝත විඤ්ඤාණයෙන් දතයුතුවූ ශබ්දයන් කෙරෙහි ශබ්දය මිහිරිය යනාදී වශයෙන් නිමිති ගැනීමට වඩා ඇවිල ගත්තාවූ දිළිසෙන්නාවූ ගිණිදැල් සහිතවූ තියුණුවූ යකඩ හුලක් කන් පසාරු කරගෙන යනසේ ගැසීම උතුම්ය. “මහණෙනි, නිමිති ආශ්වාදනය කිරීමෙහි බැඳුනාවූ හෝ කුඩා ලකුණු වශයෙන් ආශ්වාදනය කිරීමෙහි බැඳුනාවූ හෝ විඤ්ඤාණය පවත්නේද, ඉදින් ඒ කාලයෙහි කළුරිය කරන්නේ නම් නිරය හෝ තිරිසන් යෝනිය හෝ යන ගති දෙක අතුරෙන් එක්තරා යම් ගතියකට පැමිණෙන්නේය යන මේ කාරණය විද්‍යාමාන වේ. මහණෙනි, මම මේ දෝෂය දැක මෙසේ කියමි.
“මහණෙනි, ඝාණ විඤ්ඤාණයෙන් දතයුතුවූ ගන්‍ධයන් විෂයෙහි සුවඳය මිහිරිය යනාදී වශයෙන් නිමිති ගැනීමට වඩා ඇවිල ගත්තාවූ දිළිසෙන්නාවූ ගිණිදැල් සහිතවූ නියනකින් නාසය උළුප්පා දැමීම උතුම්ය. “මහණෙනි, නිමිති ආශ්වාදනය කිරීමෙහි බැඳුනාවූ හෝ කුඩා ලකුණු ආශ්වාදනය කිරීමෙහි බැඳුනාවූ විඤ්ඤාණය පවත්නේද, ඉදින් ඒ කාලයෙහි කළුරිය කරන්නේ නම් නිරය හෝ තිරිසන් යෝනිය හෝ යන ගති දෙක අතුරෙන් එක්තරා යම් ගතියකට පැමිණෙන්නේය යන මේ කාරණය විද්‍යාමාන වේ. මහණෙනි, මම මේ දෝෂය දැක මෙසේ කියමි.
“මහණෙනි, ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතුවූ රසයන් කෙරෙහි රසය මධුරය යනාදී වශයෙන් ගැනීමට වඩා ඇවිල ගත්තාවූ දිළිසෙන්නාවූ ගිණිදැල් සහිතවූ සියුම්වූ දැලි පිහියකින් දිව කපා දැමීම උතුම්ය. මහණෙනි, නිමිති ආශ්වාදනය කිරීමෙහි බැඳුනාවූ කුඩා ලකුණු වශයෙන් රස විඳීමෙහි බැඳුනාවූ හෝ විඤ්ඤාණය පවත්නේද, ඉදින් ඒ කාලයෙහි කළුරිය කරන්නේ නම් නිරය හෝ තිරිසන් යෝනිය හෝ යන ගති දෙක අතුරෙන් එක්තරා යම් ගතියකට පැමිණෙන්නේය යන මේ කාරණය විද්‍යාමාන වේ. මහණෙනි, මම මේ දෝෂය දැක මෙසේ කියමි.
“මහණෙනි, කාය විඤ්ඤාණයෙන් දතයුතුවූ ස්පර්‍ශයන් කෙරෙහි මෘදුය මොලොක්ය යනාදීන් නිමිති ගැනීමට වඩා ඇවිල ගත්තාවූ දිළිසෙන්නාවූ ගිණිදැල් සහිතවූ තියුණුවූ මහත්වූ වෑයකින් කය හැස දැමීම උතුම්ය. “මහණෙනි, නිමිති වශයෙන් ආශ්වාදනය කිරීමෙහි බැඳුනාවූ හෝ කුඩා සලකුණු වශයෙන් ආශ්වාදනය කිරීමෙහි බැඳුනාවූ හෝ විඤ්ඤාණය පවත්නේද, ඉදින් ඒ කාලයෙහි කළුරිය කරන්නේ නම් නිරය හෝ තිරිසන් යෝනිය හෝ යන ගති දෙක අතුරෙන් එක්තරා යම් ගතියකට පැමිණෙන්නේය යන මේ කාරණය විද්‍යාමාන වේ. මහණෙනි, මම මේ දෝෂය දැක මෙසේ කියමි.
“මහණෙනි, නිදාගැනීම උතුම්ය. මහණෙනි, නිදාගැනීම වනාහි මම ජීවිතයාගේ වඳවීමයයි කියමි. ජීවිතයාගේ නිශ්චල භාවයයි කියමි. ජීවිතයාගේ මුළාවීමකැයි කියමි. යම්බඳු වූ විතර්‍කයන්ගේ වසඟයට ගියේ සංඝයා බිඳුවන්නේද, එබඳු වූ විතර්‍කයන් කල්පනා කිරීම එතරම්ද නොවටනේය. මහණෙනි, මම මේ දෝෂය දැක මෙසේ කියමි.
“මහණෙනි, එහි ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකතෙම මෙසේ සලකයි.‘ඇවිල ගත්තාවූ දිලිසෙන්නාවූ ගිණිදැල් සහිතවූ රත්වූ යකඩ කූරකින් ඇස හාරා දැමීම තිබේවා, මම මෙයම මෙනෙහි කරමි. මෙසේ ඇස අනිත්‍යය. රූපයෝ අනිත්‍යයෝය. චක්ඛු විඤ්ඤාණය අනිත්‍යය. චක්ඛු සම්ඵස්සය අනිත්‍යය. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද අනිත්‍යයි.
ඇවිලගත්තාවූ දිලිසෙන්නාවූ ගිනිදැල් සහිතවූ තියුණුවූ යකඩ හුලකින් කන පසා කිරීම තිබේවා, මම මෙයම මෙනෙහි කරමි. කන මෙසේ අනිත්‍යය. ශබ්දයෝ අනිත්‍යයෝය. සෝත විඤ්ඤාණය අනිත්‍යය. සෝත සම්ඵස්සය අනිත්‍යය. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද අනිත්‍යයි.
“ඇවිලගත්තාවූ දිලිසෙන්නාවූ ගිනිදැල් සහිතවූ තියුණුවූ නියනකින් නාසය උපුටා දැමීම තිබේවා, මම මෙයම මෙනෙහි කරමි. මෙසේ නාසය අනිත්‍යය. ගන්‍ධයෝ අනිත්‍යයෝය. ඝාණ විඤ්ඤාණය අනිත්‍යය. ඝාණ සම්ඵස්සය අනිත්‍යය. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද අනිත්‍යයි.
“ඇවිලගත්තාවූ දිලිසෙන්නාවූ ගිනිදැල් සහිතවූ තියුණුවූ දැලි පිහියකින් දිව කපා දැමීම තිබේවා, මම මෙයම මෙනෙහි කරමි. මෙසේ දිව අනිත්‍යය. රසයෝ අනිත්‍යයෝය. ජිව්හා විඤ්ඤාණය අනිත්‍යය. ජිව්හා සම්ඵස්සය අනිත්‍යය. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද අනිත්‍යයි.