18. සමුද්ද වර්ගය
1. 18. 1.
සමුද්ද සූත්‍රය
228. “මහණෙනි, සමුද්‍රය සමුද්‍රයයි අශ්‍රුතවත් පෘථග්ජන තෙම කියයි. මහණෙනි, මෙය ආර්‍ය්‍ය විනයෙහි සමුද්‍රය නොවේ. මහණෙනි මෙය මහත් දිය රාශියෙකි. මහත් ජලයකි. “මහණෙනි, ඇස පුරුෂයාට සමුද්‍රය වේ. එහි රූපයන්ගෙන් හටගත් රළ වේගය වේ. යමෙක් ඒ රූපයන්ගෙන් හටගත් රළවේගය (රාගාදී ක්ලේශයන්ගෙන් වෙන්ව) ඉවසාද; මහණෙනි, හෙතෙම කෙලෙස් නමැති රළවේග සහිතවූ, කෙලෙස් දියසුළි සහිතවූ, කෙලෙස් නමැති අල්වාගන්නා සතුන් ඇති, කෙලෙස් රකුසන් සහිතවූ ඇස නමැති සමුද්‍රය තරණය කෙළේය. තරණය කළාවූ පරතෙරට ගියාවූ බ්‍රාහ්මණතෙම ගොඩබිම සිටීයයි කියනු ලැබේ.
“මහණෙනි, කන පුරුෂයාට සමුද්‍රය වේ. එහි ශබ්දයන්ගෙන් හටගත් රළ වේගය වේ. යමෙක් ඒ ශබ්දයන්ගෙන් හටගත් රළවේගය ඉවසාද; මහණෙනි, හෙතෙම කෙලෙස් නමැති රළවේග සහිතවූ, කෙලෙස් දියසුළි සහිතවූ, කෙලෙස් නමැති අල්වාගන්නා සතුන් ඇති, කෙලෙස් රකුසන් සහිතවූ කන නමැති සමුද්‍රය තරණය කළේය. තරණය කළාවූ පරතෙරට ගියාවූ බ්‍රාහ්මණයා ගොඩබිම සිටියි යයි කියනු ලැබේ. මහණෙනි, නාසය පුරුෂයාට සමුද්‍රය වේ. එහි ගන්ධයන්ගෙන් හටගත් රළ වේගය වේ. යමෙක් ඒ ගන්ධයන්ගෙන් හටගත් රළවේගය ඉවසාද; මහණෙනි, හෙතෙම කෙලෙස් නමැති රළවේග සහිතවූ, කෙලෙස් දියසුළි සහිතවූ, කෙලෙස් නමැති අල්වාගන්නා සතුන් ඇති, කෙලෙස් රකුසන් සහිතවූ නාසය නමැති සමුද්‍රය තරණය කළේය. තරණය කළාවූ පරතෙරට ගියාවූ බ්‍රාහ්මණයා ගොඩබිම සිටියි යයි කියනු ලැබේ. මහණෙනි, දිව පුරුෂයාට සමුද්‍රය වේ. එහි රසයන්ගෙන් හටගත් රළ වේගය වේ. යමෙක් ඒ රසයන්ගෙන් හටගත් රළවේගය ඉවසාද; මහණෙනි, හෙතෙම කෙලෙස් නමැති රළවේග සහිතවූ, කෙලෙස් දියසුළි සහිතවූ, කෙලෙස් නමැති අල්වාගන්නා සතුන් ඇති, කෙලෙස් රකුසන් සහිතවූ දිව නමැති සමුද්‍රය තරණය කළේය. තරණය කළාවූ පරතෙරට ගියාවූ බ්‍රාහ්මණයා ගොඩබිම සිටියි යයි කියනු ලැබේ. මහණෙනි, කය පුරුෂයාට සමුද්‍රය වේ. එහි ස්පර්ශයන්ගෙන් හටගත් රළ වේගය වේ. යමෙක් ඒ ස්පර්ශයන්ගෙන් හටගත් රළවේගය ඉවසාද; මහණෙනි, හෙතෙම කෙලෙස් නමැති රළවේග සහිතවූ, කෙලෙස් දියසුළි සහිතවූ, කෙලෙස් නමැති අල්වාගන්නා සතුන් ඇති, කෙලෙස් රකුසන් සහිතවූ කය නමැති සමුද්‍රය තරණය කළේය. තරණය කළාවූ පරතෙරට ගියාවූ බ්‍රාහ්මණයා ගොඩබිම සිටියි යයි කියනු ලැබේ. මහණෙනි, සිත පුරුෂයාට සමුද්‍රය වේ. එහි ධර්මයන්ගෙන් හටගත් රළ වේගය වේ. යමෙක් ඒ ධර්මයන්ගෙන් හටගත් රළවේගය ඉවසාද; මහණෙනි, හෙතෙම කෙලෙස් නමැති රළවේග සහිතවූ, කෙලෙස් දියසුළි සහිතවූ, කෙලෙස් නමැති අල්වාගන්නා සතුන් ඇති, කෙලෙස් රකුසන් සහිතවූ සිත නමැති සමුද්‍රය තරණය කළේය. තරණය කළාවූ පරතෙරට ගියාවූ බ්‍රාහ්මණයා ගොඩබිම සිටියි යයි කියනු ලැබේ.
“යමෙක් තෙම කෙලෙස් නමැති අල්වාගන්නා සතුන් සහිතවූ, කෙලෙස් රකුසන් සහිතවූ, රළ භය සහිතවූ, තරණය කිරීමට දුෂ්කරවූ මේ සමුද්‍රය තරණය කෙළේද, හෙතෙම වේදයන්ගේ පරතෙරට ගියාවූ වැස නිමවන ලද බඹසර ඇත්තාවූ සංස්කාර ලෝකයාගේ කෙලවරට ගියාවූ නිර්වාණයට පැමිණියෙකැයි කියනු ලැබේ., යයි (වදාළ සේක.)
1. 18. 2.
දුතිය සමුද්ද සූත්‍රය
229. “මහණෙනි, සමුද්‍රය සමුද්‍රයයි අශ්‍රුතවත් පෘථග්ජන තෙම කියයි. මහණෙනි, මෙය ආර්‍ය්‍ය විනයෙහි සමුද්‍රය නොවේ. මහණෙනි මෙය මහත්වූ වතුර රාශියෙකි. මහත්වූ ජලයකි. “මහණෙනි, චක්ඛු විඤ්ඤාණයෙන් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මනාපවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කම්සැප එලවන්නාවූ ඇලුම් කටයුතුවූ රූපයෝ ඇත්තාහ. මහණෙනි, මෙය ආර්‍ය්‍ය විනයෙහි සමුද්‍රයයි කියනු ලැබේ.
මෙහි මේ දෙවියන් සහිතවූ මාරයන් සහිතවූ බ්‍රහ්මයන් සහිතවූ ලෝවැසිතෙම මහණ බමුණන් සහිතවූ දෙව් මිනිසුන් සහිතවූ සත්ව ප්‍රජාව බොහෝ සෙයින් ගිලී නූල් ගුලියක් මෙන් පැටලී රෙදි වියන්නන්ගේ කැඳ දැමූ නූල් ගුලියක් මෙන් ගැටගැසී මුදුතණ බබුස්තණ පදුරක්මෙන් අවුල්වී සැපයෙන් පහවූ විෂමව වැටෙන්නාවූ දුර්ගති නම් සංසාරය නොඉක්මවයි.
මහණෙනි, කනින් දත යුතු ශබ්ද ඇත -පෙ- මහණෙනි, නාසයෙන් දත යුතු ගන්ධ ඇත -පෙ- මහණෙනි, දිවෙන් දත යුතු රස ඇත -පෙ- මහණෙනි, කයින් දත යුතු පහස් (ඵොට්ඨබ්බ) ඇත -පෙ- මහණෙනි, ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ, ප්‍රිය ස්වභාව ඇති, කාමය ඇති කරවන, ඇලුම් කටයුතු, සිතින් දත යුතු ධර්ම ඇත. මහණෙනි, මෙය ආර්ය විනයෙහි මුහුද යැයි කියනු ලැබේ. මෙහි දෙවියන් සහිත, මාරයන් සහිත, බ්‍රහ්මයන් සහිත මේ ලෝකවාසී, මහණ බමුණන් සහිත, දෙවිමිනිසුන් සහිත සත්ත්ව ප්‍රජාව බොහෝ සෙයින් ගිලී, අවුල් වූ නූල් ගුලියක් මෙන් පැටලී, කුරුලු කැදැල්ලක් මෙන් (නොහොත් රෙදි වියන්නන්ගේ කැඳ දැමූ නූල් ගුලියක් මෙන්) ගැට ගැසී, මුදුතණ බබුස්තණ මෙන් අවුල් වී, අපාය නම් වූ, දුගතිය නම් වූ, විනිපාතය නම් වූ සංසාරය නොඉක්මවයි.
යමෙකුගේ රාගය ද, ද්වේෂය ද, අවිද්‍යාව ද දුරු කරන ලද්දේ නම්, හෙතෙම සැඩ මසුන් සහිත, රකුසන් සහිත, රළ බිය සහිත, තරණය කිරීමට දුෂ්කර වූ මේ මුහුද මැනවින් තරණය කළේය.
ඇලීම ඉක්මවූ මරුවන් දුරුකළාවූ උපධි රහිතවූ දුක්ඛයන්ගේ අස්තයට ගියාවූ හෙතෙම නැවත ඉපදීමට සුදුසු බවට නොපැමිණෙයි. මාරයා මුළාකෙළේයයි කියමියි’ (වදාළ සේක.)
1. 18. 3.
බාලිසිකොපම සූත්‍රය
230. “මහණෙනි, යම්සේ බිලිබාන්නෙක් ඇම සහිතවූ බිලිය ගැඹුරුවූ දියෙහි බහාලන්නේද, ඇම දුටුවාවූ එක්තරා මත්ස්‍යයෙක් එය ගිලින්නේය. මහණෙනි, මෙසේ වනාහි බිලිබාන්නාගේ බිලිය ගිල්ලාවූ විනාශයට පැමිණියාවූ ව්‍යසනයට පැමිණියාවූ ඒ මාලුවාට බිලිබාන්නාට කැමති දෙයක් කළහැකිවේද, මහණෙනි, එපරිද්දෙන්ම ලෝකයෙහි සත්වයන්ගේ විනාශය පිණිස ප්‍රාණීන්ගේ පීඩාව පිණිස මේ බිලිකටු සයක් වෙත්. ඒ කවර සයක්ද යත්,
මහණෙනි, චක්ඛු විඤ්ඤාණයෙන් දතයුතු වූ ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රිය ස්වභාව ඇති කම්සැප එළවන්නා වූ ඇලුම් කටයුතු වූ රූපයෝ ඇත්තාහ. ඉදින් භික්ෂුව එය පතා ද, එය ප්‍රිය යයි මනාප යයි කියා ද, එහි ගැලී සිටී ද, මහණෙනි, මේ භික්ෂුව මාරයාගේ බිලිය ගිල්ලේ, විනාශයට පැමිණියේ, ව්‍යසනයට පැමිණියේ, පාපී මාරයා විසින් කැමති පරිදි කළ හැක්කේ යයි කියනු ලැබේ. මහණෙනි, සෝත විඤ්ඤාණයෙන් දතයුතු වූ ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රිය ස්වභාව ඇති කම්සැප එළවන්නා වූ ඇලුම් කටයුතු වූ ශබ්දයෝ ඇත්තාහ. ඉදින් භික්ෂුව එය පතා ද, එය ප්‍රිය යයි මනාප යයි කියා ද, එහි ගැලී සිටී ද, මහණෙනි, මේ භික්ෂුව මාරයාගේ බිලිය ගිල්ලේ, විනාශයට පැමිණියේ, ව්‍යසනයට පැමිණියේ, පාපී මාරයා විසින් කැමති පරිදි කළ හැක්කේ යයි කියනු ලැබේ. මහණෙනි, ඝාණ විඤ්ඤාණයෙන් දතයුතු වූ ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රිය ස්වභාව ඇති කම්සැප එළවන්නා වූ ඇලුම් කටයුතු වූ ගන්ධයෝ ඇත්තාහ. ඉදින් භික්ෂුව එය පතා ද, එය ප්‍රිය යයි මනාප යයි කියා ද, එහි ගැලී සිටී ද, මහණෙනි, මේ භික්ෂුව මාරයාගේ බිලිය ගිල්ලේ, විනාශයට පැමිණියේ, ව්‍යසනයට පැමිණියේ, පාපී මාරයා විසින් කැමති පරිදි කළ හැක්කේ යයි කියනු ලැබේ. මහණෙනි, ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතු වූ ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රිය ස්වභාව ඇති කම්සැප එළවන්නා වූ ඇලුම් කටයුතු වූ රසයෝ ඇත්තාහ. ඉදින් භික්ෂුව එය පතා ද, එය ප්‍රිය යයි මනාප යයි කියා ද, එහි ගැලී සිටී ද, මහණෙනි, මේ භික්ෂුව මාරයාගේ බිලිය ගිල්ලේ, විනාශයට පැමිණියේ, ව්‍යසනයට පැමිණියේ, පාපී මාරයා විසින් කැමති පරිදි කළ හැක්කේ යයි කියනු ලැබේ.