1. 18. 5.
කොට්ඨිත සූත්‍රය
232. එක් කලෙක්හි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිර තෙමේද, ආයුෂ්මත් මහා කොට්ඨිත ස්ථවිර තෙමේද බරණැස් නුවර මිගදාය නම්වූ ඉසිපතනාරාමයෙහි වාසය කෙරෙත්. ඉක්බිති ආයුෂ්මත් මහා කොට්ඨිත ස්ථවිරතෙමේ සවස් වේලෙහි ඵලසමවතින් නැගීසිටියේ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරතෙමේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ සමග සතුටු වූයේය. සතුටුවියයුතු සිහිකටයුතුවූ කථාව කොට නිමවා එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන්නාවූ ආයුෂ්මත් මහා කොට්ඨිත ස්ථවිරතෙමේ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන්ට මෙය සැල කෙළේය.
“ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයෙනි, කිමෙක්ද? “ඇස රූපයන්ට සංයෝජනය වේද, රූපයෝ ඇසට සංයෝජන වෙත්ද? කන ශබ්දයන්ට සංයෝජනය වේද, ශබ්දයෝ කනට සංයෝජන වේද? නාසය ගන්‍ධයන්ට සංයෝජනය වේද, ගන්‍ධයෝ නාසයට සංයෝජන වේද? දිව රසයන්ට සංයෝජනය වේද, රස දිවට සංයෝජන වේද? කය ස්පර්‍ශයන්ට සංයෝජනය වේද, ස්පර්‍ශයෝ කයට සංයෝජන වේද? සිත ධර්‍මයන්ට සංයෝජනය වේද, ධර්‍මයෝ සිතට සංයෝජන වෙත්ද?, කියායි.
“ආයුෂ්මත් කොට්ඨිත ස්ථවිරයෙනි, ඇස රූපයන්ට සංයෝජනය නොවේ. රූපයෝ ඇසට සංයෝජනය නොවෙත්. එහි ඒ දෙක නිසා යම් ඡන්‍දරාගයකුත් උපදීද, ඒ එහි සංයෝජනය වේ. “කන ශබ්දයන්ට සංයෝජනය නොවේ. ශබ්දයෝ කනට සංයෝජනය නොවෙත්. ඒ දෙක නිසා යම් ඡන්‍දරාගයකුත් උපදීද, ඒ එහි සංයෝජනය වේ. “නාසය ගන්‍ධයන්ට සංයෝජනය නොවේ. ගන්‍ධයෝ නාසයට සංයෝජනය නොවෙත්. එහි ඒ දෙක නිසා යම් ඡන්‍දරාගයකුත් උපදීද, ඒ එහි සංයෝජනය වේ. දිව රසයන්ට සංයෝජනය නොවේ. රසයෝ දිවට සංයෝජනය නොවෙත්. එහි ඒ දෙක නිසා යම් ඡන්‍දරාගයකුත් උපදීද, එය එහි සංයෝජනය වේ. “කය ස්පර්‍ශයන්ට සංයෝජනය නොවේ. ස්පර්‍ශයෝ කයට සංයෝජනය නොවෙත්. එහි ඒ දෙක නිසා යම් ඡන්‍දරාගයකුත් උපදීද, ඒ එහි සංයෝජනය වේ. “සිත ධර්‍මයන්ට සංයෝජනය නොවේ. ධර්‍මයෝ සිතට සංයෝජනය නොවෙත්. එහි ඒ දෙක නිසා යම් ඡන්‍දරාගයකුත් උපදීද, ඒ එහි සංයෝජනය වේ.
“ඇවැත්නි, යම් සේ කළු ගවයෙක්ද, සුදු ගවයෙක්ද, එක දම්වැලකින් හෝ ලණුවකින් හෝ බඳින ලද්දාහු වන්නාහුද, යමෙක් වනාහි කළු ගවයා සුදු ගවයාට බන්‍ධනය වෙයි. සුදු ගවයා කළු ගවයාට බන්‍ධනය වෙයි’ කියන්නේ නම් හෙතෙම සත්‍යයක් කියන්නේද? “ඇවැත්නි, එය නොවේමැයි, “ඇවැත්නි, කළු ගවයා සුදු ගවයාගේ බන්‍ධනය නොවේ. සුදු ගවයා කළු ගවයාගේ බන්‍ධනය නොවේ. ඔවුහු යම් එක දම්වැලකින් හෝ එක් ලණුවකින් හෝ බඳින ලද්දාහුද, එය එහි සංයෝජනය (බන්‍ධනය) වේ.
“ඇවැත්නි, එපරිද්දෙන්ම ඇස රූපයන්ට සංයෝජනය (බන්‍ධනය) නොවේ. රූපයෝ ඇසට සංයෝජනය (බන්‍ධනය) නොවෙත්. එහි ඒ දෙක නිසා යම් ඡන්‍දරාගයකුත් උපදීද, එය එහි සංයෝජනය වේ. “කන ශබ්දයන්ට සංයෝජනය නොවේ. ශබ්දයෝ කනට සංයෝජනය (බන්‍ධනය) නොවෙත්. එහි ඒ දෙක නිසා යම් ඡන්‍දරාගයකුත් උපදීද, එය එහි සංයෝජනය වේ. “නාසය ගන්‍ධයන්ට සංයෝජනය නොවේ. ගන්‍ධයෝ නාසයට සංයෝජනය (බන්‍ධනය) නොවෙත්. එහි ඒ දෙක නිසා යම් ඡන්‍දරාගයකුත් උපදීද, එය එහි සංයෝජනය වේ. “දිව රසයන්ට සංයෝජනය නොවේ. රසයෝ දිවට සංයෝජන නොවෙත්. එහි ඒ දෙක නිසා යම් ඡන්‍දරාගයකුත් උපදීද, එය එහි සංයෝජනය වේ. කය ස්පර්‍ශයන්ට සංයෝජනය නොවේ. ස්පර්‍ශයෝ කයට සංයෝජනය (බන්‍ධනය) නොවෙත්. එහි ඒ දෙක නිසා යම් ඡන්‍දරාගයකුත් උපදීද, එය එහි සංයෝජනය වේ. “සිත ධර්‍මයන්ට සංයෝජනය නොවේ. ධර්‍මයෝ සිතට සංයෝජනය (බන්‍ධනය) නොවෙත්. එහි ඒ දෙක නිසා යම් ඡන්‍දරාගයකුත් උපදීද, එය එහි සංයෝජනය වේ.
“ඇවැත්නි, ඇස හෝ රූපයන්ට සංයෝජනය වන්නේ නම් රූප හෝ ඇසට සංයෝජනය වන්නේ නම් මේ බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි විසීම මනාව දුක් නැතිකිරීම පිණිස නොපෙනෙන්නේය. ඇවැත්නි, යම් හෙයකින් ඇස රූපයන්ට සංයෝජනය නොවේද, රූපයෝ ඇසට සංයෝජනය නොවෙත්ද එහි ඒ දෙක නිසා යම් ඡන්‍දරාගයකුත් උපදීද, ඒ එහි සංයෝජනය වේද, එහෙයින් බ්‍රහ්මචර්‍ය්‍යාවාසය මනාව දුක් නැතිකිරීම පිණිස පෙනෙයි. “ඇවැත්නි, කන හෝ ශබ්දයන්ට සංයෝජනය වන්නේ නම් ශබ්ද හෝ කනට සංයෝජනය වන්නේ නම් මේ බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි විසීම මනාව දුක් නැතිකිරීම පිණිස නොපෙනෙන්නේය. ඇවැත්නි, යම් හෙයකින් කන ශබ්දයන්ට සංයෝජනය නොවෙත්ද, ශබ්දයෝ කනට සංයෝජනය නොවෙත්ද, එහි ඒ දෙක නිසා යම් ඡන්‍දරාගයකුත් උපදීද, ඒ එහි සංයෝජනය වේද, එහෙයින් බ්‍රහ්මචර්‍ය්‍යාවාසය මනාව දුක් නැතිකිරීම පිණිස පෙනෙයි. “ඇවැත්නි, නාසය හෝ ගන්‍ධයන්ට සංයෝජනය වන්නේ නම් ගන්‍ධ හෝ නාසයට සංයෝජනය වන්නේ නම් මේ බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි විසීම මනාව දුක් නැතිකිරීම පිණිස නොපෙනෙන්නේය. ඇවැත්නි, යම් හෙයකින් නාසය ගන්‍ධයන්ට සංයෝජනය නොවේද, ගන්‍ධයෝ නාසයට සංයෝජනය නොවෙත්ද එහි ඒ දෙක නිසා යම් ඡන්‍දරාගයකුත් උපදීද, ඒ එහි සංයෝජනය වේද, එහෙයින් බ්‍රහ්මචර්‍ය්‍යාවාසය මනාව දුක් නැතිකිරීම පිණිස පෙනෙයි.
“ඇවැත්නි, දිව හෝ රසයන්ට සංයෝජනය වන්නේ නම් රස හෝ දිවට සංයෝජන වන්නේ නම්, මනාව දුක් නැති කිරීම පිණිස මේ බ්‍රහ්මචර්‍ය්‍යා වාසය නොපෙනෙන්නේය. ඇවැත්නි යම් හෙයකින් දිව රසයන්ට සංයෝජනය නොවේද, රසයෝ දිවට සංයෝජනය නොවෙත්ද එහි ඒ දෙක නිසා යම් ඡන්‍දරාගයකුත් උපදීද, ඒ එහි සංයෝජනය වේද, එහෙයින් බ්‍රහ්මචර්‍ය්‍යාවාසය මනාව දුක් නැතිකිරීම පිණිස පෙනේ. “ඇවැත්නි, කය හෝ ස්පර්‍ශයන්ට සංයෝජනය වන්නේ නම් ස්පර්‍ශ හෝ කයට සංයෝජනය වන්නේ නම් මේ බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි විසීම මනාව දුක් නැතිකිරීම පිණිස නොපෙනෙන්නේය. ඇවැත්නි, යම් හෙයකින් කය ස්පර්‍ශයන්ට සංයෝජනය නොවේද, ස්පර්‍ශයෝ කයට සංයෝජනය නොවෙත්ද එහි ඒ දෙක නිසා යම් ඡන්‍දරාගයකුත් උපදීද, ඒ එහි සංයෝජනය වේද, එහෙයින් බ්‍රහ්මචර්‍ය්‍යාවාසය මනාව දුක් නැතිකිරීම පිණිස පෙනෙයි.
“ඇවැත්නි, සිත හෝ ධර්‍මයන්ට සංයෝජනය වන්නේ නම් ධර්‍මයෝ හෝ සිතට සංයෝජනය වෙත් නම් මේ බ්‍රහ්මචර්‍ය්‍යා වාසය මනාව දුක් නැතිකිරීම පිණිස නොපෙනෙන්නේය. ඇවැත්නි, යම් හෙයකින් සිත ධර්‍මයන්ට සංයෝජනය නොවේද, ධර්‍මයෝ සිතට සංයෝජනය නොවෙත්ද එහි ඒ දෙක නිසා යම් ඡන්‍දරාගයකුත් උපදීද, එය එහි සංයෝජනය වේද, එහෙයින් බ්‍රහ්මචර්‍ය්‍යාවාසය මනාව දුක් නැසීම පිණිස පෙනෙයි.
“ඇවැත්නි ඒ මේ කාරණයෙනුත් මෙය දත යුතුයි. යම්සේ ඇස රූපයන්ට සංයෝජනය නොවේද, රූපයෝ ඇසට සංයෝජනය නොවෙත්ද, එහි ඒ දෙක නිසා යම් ඡන්‍දරාගයකුත් උපදීද, එය එහි සංයෝජනය වේ. “ඇවැත්නි ඒ මේ කාරණයෙනුත් මෙය දත යුතුයි. යම්සේ කන ශබ්දයන්ට සංයෝජනය නොවේද, ශබ්දයෝ කනට සංයෝජනය නොවෙත්ද, එහි ඒ දෙක නිසා යම් ඡන්‍දරාගයකුත් උපදීද, එය එහි සංයෝජනය වේ. “ඇවැත්නි ඒ මේ කාරණයෙනුත් මෙය දත යුතුයි. යම්සේ නාසය ගන්‍ධයන්ට සංයෝජනය නොවේද, ගන්‍ධයෝ නාසයට සංයෝජනය නොවෙත්ද, එහි ඒ දෙක නිසා යම් ඡන්‍දරාගයකුත් උපදීද, එය එහි සංයෝජනය වේ. ඇවැත්නි ඒ මේ කාරණයෙනුත් මෙය දත යුතුයි. යම්සේ දිව රසයන්ට සංයෝජනය නොවේද, රසයෝ දිවට සංයෝජනය නොවෙත්ද, එහි ඒ දෙක නිසා යම් ඡන්‍දරාගයකුත් උපදීද, එය එහි සංයෝජනය වේ. “ඇවැත්නි ඒ මේ කාරණයෙනුත් මෙය දත යුතුයි. යම්සේ කය ස්පර්‍ශයන්ට සංයෝජනය නොවේද, ස්පර්‍ශයෝ කයට සංයෝජනය නොවෙත්ද, එහි ඒ දෙක නිසා යම් ඡන්‍දරාගයකුත් උපදීද, එය එහි සංයෝජනය වේ. “ඇවැත්නි ඒ මේ කාරණයෙනුත් මෙය දත යුතුයි. යම්සේ සිත ධර්‍මයන්ට සංයෝජනය නොවේද, ධර්‍මයෝ සිතට සංයෝජනය නොවේද, එහි ඒ දෙක නිසා යම් ඡන්‍දරාගයකුත් උපදීද, එය එහි සංයෝජනය වේ.