1. 18. 6.
කාමභූ සූත්‍රය
233. එක් කලෙක්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් කාමභූ ස්ථවිරයන් වහන්සේද, කොසඹෑ නුවර ඝෝසිතාරාමයෙහි වාසය කරති. ඉක්බිති ආයුෂ්මත් කාමභූ ස්ථවිරතෙමේ සවස් වේලෙහි විවේකයෙන් නැඟී සිටියේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ සමග සතුටු වූයේය. සතුටු වියයුතුවූ සිහිකටයුතුවූ කථාව කොට නිමවා එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ආයුෂ්මත් කාමභූ ස්ථවිරතෙම ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට මෙය සැල කෙළේය.
“ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයෙනි, කිමෙක්ද? ඇස රූපයන්ගේ සංයෝජනය වේද, රූපයෝ ඇසට සංයෝජන වෙත්ද? කන ශබ්දයන්ගේ සංයෝජනය වේද, ශබ්දයෝ කනට සංයෝජන වේද? නාසය ගන්ධයන්ගේ සංයෝජනය වේද, ගන්ධයෝ නාසයට සංයෝජන වේද? දිව රසයන්ගේ සංයෝජනය වේද, රස දිවට සංයෝජන වේද? කය ස්පර්ශයන්ගේ සංයෝජනය වේද, ස්පර්ශයෝ කයට සංයෝජන වේද? සිත ධර්මයන්ට සංයෝජනය වේද, ධර්මයෝ සිතට සංයෝජන වෙත්ද?, කියායි.
“ආයුෂ්මත් කාමභූ ස්ථවිරයෙනි, ඇස රූපයන්ගේ සංයෝජනය නොවේ. රූපයෝ ඇසට සංයෝජන නොවෙත්. එහි ඒ දෙක නිසා යම් ඡන්‍දරාගයකුත් උපදීද, ඒ එහි සංයෝජනය වේ. කන ශබ්දයන්ගේ සංයෝජනය නොවේ. ශබ්දයෝ කනට සංයෝජන නොවෙත්. ඒ දෙක නිසා යම් ඡන්‍දරාගයකුත් උපදීද, ඒ එහි සංයෝජනය වේ. නාසය ගන්ධයන්ගේ සංයෝජනය නොවේ. ගන්ධයෝ නාසයට සංයෝජන නොවෙත්. එහි ඒ දෙක නිසා යම් ඡන්‍දරාගයකුත් උපදීද, ඒ එහි සංයෝජනය වේ. දිව රසයන්ගේ සංයෝජනය නොවේ. රසයෝ දිවට සංයෝජන නොවෙත්. එහි ඒ දෙක නිසා යම් ඡන්‍දරාගයකුත් උපදීද, එය එහි සංයෝජනය වේ. කය ස්පර්ශයන්ගේ සංයෝජනය නොවේ. ස්පර්ශයෝ කයට සංයෝජන නොවෙත්. එහි ඒ දෙක නිසා යම් ඡන්‍දරාගයකුත් උපදීද, ඒ එහි සංයෝජනය වේ. සිත ධර්මයන්ගේ සංයෝජනය නොවේ. ධර්මයෝ සිතට සංයෝජන නොවෙත්. එහි ඒ දෙක නිසා යම් ඡන්‍දරාගයකුත් උපදීද, ඒ එහි සංයෝජනය වේ.
“ඇවැත්නි, යම් සේ කළු ගවයෙක්ද, සුදු ගවයෙක්ද, එක දම්වැලකින් හෝ ලණුවකින් හෝ බඳින ලද්දාහු වන්නාහුද, යමෙක් වනාහි ‘කළු ගවයා සුදු ගවයාට බන්ධනය වෙයි. සුදු ගවයා කළු ගවයාට බන්ධනය වෙයි’ කියන්නේ නම් හෙතෙම සත්‍යයක් කියන්නේද? “ඇවැත්නි, එය නොවේමැයි. ඇවැත්නි, කළු ගවයා සුදු ගවයාගේ බන්ධනය නොවේ. සුදු ගවයා කළු ගවයාගේ බන්ධනය නොවේ. ඔවුහු යම් එක දම්වැලකින් හෝ එක් ලණුවකින් හෝ බඳින ලද්දාහුද, එය එහි සංයෝජනය (බන්ධනය) වේ.
“ඇවැත්නි, එපරිද්දෙන්ම ඇස රූපයන්ට සංයෝජනය (බන්ධනය) නොවේ. රූපයෝ ඇසට සංයෝජනය නොවෙත්. එහි ඒ දෙක නිසා යම් ඡන්දරාගයක් උපදී ද, එය එහි සංයෝජනය වේ. -පෙ- දිව රසයන්ට සංයෝජනය නොවේ. -පෙ- සිත ධර්මයන්ට සංයෝජනය නොවේ. ධර්මයෝ සිතට සංයෝජනය නොවෙත්. එහි ඒ දෙක නිසා යම් ඡන්දරාගයක් උපදී ද, එය එහි සංයෝජනය වේ.”
1. 18. 7.
උදායී සූත්‍රය
234. එක් කලෙක්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙමේද, ආයුෂ්මත් උදායී ස්ථවිර තෙමේද, කොසඹෑ නුවර ඝෝසිතාරාමයෙහි වාසය කෙරෙත්. ඉක්බිති ආයුෂ්මත් උදායී ස්ථවිරතෙමේ සවස් වේලෙහි විවේකයෙන් නැඟී සිටියේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් සමග සතුටු වූයේය. සතුටු වියයුතුවූ සිහිකටයුතුවූ කථාව කොට නිමවා එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ආයුෂ්මත් උදායී ස්ථවිරතෙම ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ට මෙය සැල කෙළේය.
“ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයෙනි, මේ ආකාරයෙන්ද මේ ශරීරය අනාත්මයයි භාග්‍යවතුන් වහන්සේ විසින් මේ ශරීරය නොයෙක් ප්‍රකාරයෙන් වදාරණ ලද්දේද, විවෘත කරන ලද්දේද, ප්‍රකාශ කරන ලද්දේද, එපරිද්දෙන් මෙසේද මේ විඤ්ඤාණය අනාත්මයයි දක්වන්නට දේශනා කරන්ට පණවන්ට පිහිටුවන්ට විවරණය කරන්ට විභාග කරන්ට ප්‍රකට කරන්ට හැක්කේද?,
“ආයුෂ්මත් උදායී ස්ථවිරයෙනි, මේ ශරීරය භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේද, මේ ශරීරය අනාත්මයයි නොයෙක් ආකාරයෙන් යම් පරිද්දෙකින් වදාරණ ලද්දේද, විවෘත කරන ලද්දේද, ප්‍රකාශ කරන ලද්දේද, එපරිද්දෙන් මෙසේද, මේ විඤ්ඤාණය අනාත්මයයි දක්වන්නට දේශනා කරන්ට පණවන්ට පිහිටුවන්ට විවෘත කරන්ට විභාග කරන්ට ප්‍රකට කරන්ට හැක්කේය.