1. 15. 9.
ඉන්‌ද්‍රියසම්‌පන්‌න සූත්‍රය
154. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන කරන සේක.
ඉක්බිති එක්තරා භික්‍ෂුවක්තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ඒ භික්‍ෂුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේය. “ස්වාමිනි, සම්පූර්‍ණ ඉන්‍ද්‍රිය ඇති පුද්ගලයාය සම්පූර්‍ණ ඉන්‍ද්‍රිය ඇති පුද්ගලයායයි කියනු ලැබේ. ස්වාමීනි, කොපමණකින් වනාහි සම්පූර්‍ණ ඉන්‍ද්‍රිය ඇති පුද්ගලයෙක් වේද?,
“ඉදින් භික්‍ෂුතෙම චක්ඛු ඉන්‍ද්‍රියයෙහි ඇතිවීම නැතිවීම නැවත නැවත දකිමින් වාසය කරන්නේ චක්ඛු ඉන්‍ද්‍රියය කෙරෙහි කලකිරේද, සෝත ඉන්‍ද්‍රියයෙහි ඇතිවීම නැතිවීම නැවත නැවත දකිමින් වාසය කරන්නේ සෝත ඉන්‍ද්‍රියයෙහි කලකිරේද, ඝාණෙන්‍ද්‍රියයෙහි ඇතිවීම නැතිවීම නැවත නැවත දකිමින් වාසය කරන්නේ ඝාණ ඉන්‍ද්‍රියයෙහි කලකිරේද, ජිව්හා ඉන්‍ද්‍රියයෙහි ඇතිවීම නැතිවීම නැවත නැවත දකිමින් වාසය කරන්නේ ජිව්හා ඉන්‍ද්‍රියයෙහි කලකිරේද, කාය ඉන්‍ද්‍රියයෙහි ඇතිවීම නැතිවීම නැවත නැවත දකිමින් වාසය කරන්නේ කාය ඉන්‍ද්‍රියයෙහි කලකිරේද, ඉදින් මනින්‍ද්‍රියයෙහි ඇතිවීම නැතිවීම නැවත නැවත දකිමින් වාසය කරන්නේ මනින්‍ද්‍රියයෙහි කලකිරේද, කලකිරෙමින් නොඇලේද, නොඇල්මෙන් මිදේද, මිදුනු කල්හි මිදුනේය යන දැනීම වේද ජාතිය ක්‍ෂයවිය. බඹසර වැස නිමවන ලද්දේය. සතරමගින් කටයුතුදෙය කරන ලදී. මෙයින් අන්‍ය ආත්මභාවයක් නැතැයි දැනගනීද, මෙතෙකින් වනාහි භික්‍ෂුතෙම සම්පූර්‍ණ ඉන්‍ද්‍රිය ඇත්තෙක් වේයයි, (වදාළේය.)
1. 15. 10.
ධම්‌මකථික සූත්‍රය
155. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන කරන සේක.
ඉක්බිති එක්තරා භික්‍ෂුවක්තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ඒ භික්‍ෂුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේය. “ස්වාමිනි, ධර්‍මකථිකයාය, ධර්‍මකථිකයායයි කියනු ලැබේ. ස්වාමිනි, කොපමණකින් වනාහි ධර්‍මකථිකයෙක් වේද?
“ඉදින් මහණතෙම ඇස පිළිබඳ කලකිරීම පිණිස නොඇල්ම පිණිස නිරෝධය පිණිස ධර්‍මය දේශනා කෙරේද, ඒ භික්‍ෂුතෙම ධර්‍මකථිකයායයි කීමට සුදුසු වේ. ඉදින් භික්‍ෂුතෙම ඇස පිළිබඳ කලකිරීම පිණිස නොඇල්ම පිණිස නිරෝධය පිණිස පිළිපදින්නේ වේද, ඒ භික්‍ෂුතෙම ධර්‍මයට අනුව පිළිපදින්නේයයි කීමට සුදුසුය. ඉදින් භික්‍ෂුතෙම ඇස පිළිබඳ කලකිරීමෙන් නොඇල්මෙන් නිරෝධයෙන් උපාදාන රහිතව මිදුනේවේද, ඒ භික්‍ෂුතෙම මේ ආත්මයෙහි නිවනට පැමිණියේයයි කීමට සුදුසු වේ.
“ඉදින් මහණතෙම කන පිළිබඳ කලකිරීම පිණිස නොඇල්ම පිණිස නිරෝධය පිණිස ධර්‍මය දේශනා කෙරේද, ඒ භික්‍ෂුතෙම ධර්‍මකථිකයායයි කීමට සුදුසු වේ. ඉදින් භික්‍ෂුතෙම කන පිළිබඳ කලකිරීම පිණිස නොඇල්ම පිණිස නිරෝධය පිණිස පිළිපදින්නේ වේද, ඒ භික්‍ෂුතෙම ධර්‍මයට අනුව පිළිපදින්නේයයි කීමට සුදුසුය. ඉදින් භික්‍ෂුතෙම කන පිළිබඳ කලකිරීමෙන් නොඇල්මෙන් නිරෝධයෙන් උපාදාන රහිතව මිදුනේවේද, ඒ භික්‍ෂුතෙම මේ ආත්මයෙහි නිවනට පැමිණියේයයි කීමට සුදුසු වේ. “ඉදින් මහණතෙම නාසය පිළිබඳ කලකිරීම පිණිස නොඇල්ම පිණිස නිරෝධය පිණිස ධර්‍මය දේශනා කෙරේද, ඒ භික්‍ෂුතෙම ධර්‍මකථිකයායයි කීමට සුදුසු වේ. ඉදින් භික්‍ෂුතෙම නාසය පිළිබඳ කලකිරීම පිණිස නොඇල්ම පිණිස නිරෝධය පිණිස පිළිපදින්නේ වේද, ඒ භික්‍ෂුතෙම ධර්‍මයට අනුව පිළිපදින්නේයයි කීමට සුදුසුය. ඉදින් භික්‍ෂුතෙම නාසය පිළිබඳ කලකිරීමෙන් නොඇල්මෙන් නිරෝධයෙන් උපාදාන රහිතව මිදුනේවේද, ඒ භික්‍ෂුතෙම මේ ආත්මයෙහි නිවනට පැමිණියේයයි කීමට සුදුසු වේ. “ඉදින් මහණතෙම දිව පිළිබඳ කලකිරීම පිණිස නොඇල්ම පිණිස නිරෝධය පිණිස ධර්‍මය දේශනා කෙරේද, ඒ භික්‍ෂුතෙම ධර්‍මකථිකයායයි කීමට සුදුසු වේ. ඉදින් භික්‍ෂුතෙම දිව පිළිබඳ කලකිරීම පිණිස නොඇල්ම පිණිස නිරෝධය පිණිස පිළිපදින්නේ වේද, ඒ භික්‍ෂුතෙම ධර්‍මයට අනුව පිළිපදින්නේයයි කීමට සුදුසුය. ඉදින් භික්‍ෂුතෙම දිව පිළිබඳ කලකිරීමෙන් නොඇල්මෙන් නිරෝධයෙන් උපාදාන රහිතව මිදුනේවේද, ඒ භික්‍ෂුතෙම මේ ආත්මයෙහි නිවනට පැමිණියේයයි කීමට සුදුසු වේ. “ඉදින් භික්‍ෂුතෙම කය පිළිබඳ කලකිරීම පිණිස නොඇල්ම පිණිස නිරෝධය පිණිස ධර්‍මය දේශනා කෙරේද, ඒ භික්‍ෂුතෙම ධර්‍මකථිකයායයි කීමට සුදුසු වේ. ඉදින් භික්‍ෂුතෙම කය පිළිබඳ කලකිරීම පිණිස නොඇල්ම පිණිස නිරෝධය පිණිස පිළිපදින්නේ වේද, ඒ භික්‍ෂුතෙම ධර්‍මයට අනුව පිළිපදින්නේයයි කීමට සුදුසුය. ඉදින් භික්‍ෂුතෙම කය පිළිබඳ කලකිරීමෙන් නොඇල්මෙන් නිරෝධයෙන් උපාදාන රහිතව මිදුනේවේද, ඒ භික්‍ෂුතෙම මේ ආත්මයෙහි නිවනට පැමිණියේයයි කීමට සුදුසු වේ. “ඉදින් භික්‍ෂුතෙම සිත පිළිබඳ කලකිරීම පිණිස නොඇල්ම පිණිස නිරෝධය පිණිස ධර්‍මය දේශනා කෙරේද, ඒ භික්‍ෂුතෙම ධර්‍මකථිකයායයි කීමට සුදුසු වේ. ඉදින් භික්‍ෂුතෙම සිත පිළිබඳ කලකිරීම පිණිස නොඇල්ම පිණිස නිරෝධය පිණිස පිළිපදින්නේ වේද, ඒ භික්‍ෂුතෙම ධර්‍මයට අනුව පිළිපදින්නේයයි කීමට සුදුසුය. ඉදින් භික්‍ෂුතෙම සිත පිළිබඳ කලකිරීමෙන් නොඇල්මෙන් නිරෝධයෙන් උපාදාන රහිතව මිදුනේවේද, ඒ භික්‍ෂුතෙම මේ ආත්මයෙහි නිවනට පැමිණියේයයි කීමට සුදුසුයයි, (වදාළේය.)
නවපුරාණ වර්‍ගය නිමි.
එහි උද්දානය:
කම්ම, චත්තාරිධම්ම, සප්පාය, අනන්තේවාසික, කිමත්ථිය, අත්ථිනුඛොපරියාය, ඉන්ද්‍රියසම්පන්න හා ධම්මකථික යන සූත්‍ර ද වේ.
එහි වර්ග උද්දානය:
යෝගක්ඛේම වර්ගය ද, ලෝකකාමගුණ වර්ගය ද, ගහපති වර්ගය ද, දේවදහ වර්ගය ද, නවපුරාණ වර්ගය ද යන මෙයින් තෙවැනි පන්සැව සමන්විත යයි කියනු ලැබේ.
තෙවැනි පණණාසකය නිමි.