15. නවපුරාණ වර්‍ගය
1. 15. 1.
කම්‌ම සූත්‍රය
146. “මහණෙනි, අළුත්වූද, පැරණිවූද කර්‍මයන්ද කර්‍මයන්ගේ නිරෝධයද කර්‍මයන් නිරුද්ධ කිරීම පිණිස පිළිපදින්නාවූ මාර්‍ගයද දේශනා කරමි. එය අසවු. මැනවින් මෙනෙහි කරවු. කියන්නෙමි.”
“මහණෙනි, පුරාණවූ කර්‍මය කවරේද? මහණෙනි, ඇස පුරාණ කර්‍මයයි. ප්‍රත්‍යයන් විසින් එක්ව කරන ලදැයිද චේතනාවෙන් පිළියෙල කරන ලදැයිද වේදනාවට වස්තුයයිද දැකිය යුතුය. “කන පුරාණ කර්‍මයයි. ප්‍රත්‍යයන් විසින් එක්ව කරන ලදැයිද චේතනාවෙන් පිළියෙල කරන ලදැයිද වේදනාවට වස්තුයයිද දැකිය යුතුය. “නාසය පුරාණ කර්‍මයයි. ප්‍රත්‍යයන් විසින් එක්ව කරන ලදැයිද චේතනාවෙන් පිළියෙල කරන ලදැයිද වේදනාවට වස්තුයයිද දැකිය යුතුය. “දිව පුරාණ කර්‍මයයි. ප්‍රත්‍යයන් විසින් එක්ව කරන ලදැයිද චේතනාවෙන් පිළියෙල කරන ලදැයිද වේදනාවට වස්තුයයිද දැකිය යුතුය. “කය පුරාණ කර්‍මයයි. ප්‍රත්‍යයන් විසින් එක්ව කරන ලදැයිද චේතනාවෙන් පිළියෙල කරන ලදැයිද වේදනාවට වස්තුයයිද දැකිය යුතුය. “සිත පුරාණ කර්‍මයයි. ප්‍රත්‍යයන් විසින් එක්ව කරන ලදැයිද චේතනාවෙන් පිළියෙල කරන ලදැයිද වේදනාවට වස්තුයයිද දැකිය යුතුය. මහණෙනි, මෙය පුරාණ කර්‍මයයි කියනු ලැබේ.
“මහණෙනි, අළුත්වූ කර්‍මය නම් කවරේද? මහණෙනි, මේ කාලයෙහි කයින් වචනයෙන් සිතින් යම් කර්‍මයක් කෙරේද, මහණෙනි, මෙය අළුත්වූ කර්‍මයයි කියනු ලැබේ.
“මහණෙනි, කර්‍ම නිරෝධය කවරේද? මහණෙනි, යමෙක් වනාහි කාය කර්‍මය, වාග් කර්‍මය, මනෝ කර්‍මය නිරුද්ධ කිරීමෙන් විමුක්තිය (නිවන) ස්පර්ශ කෙරේද, මහණෙනි, මෙය කර්‍ම නිරෝධයයි කියනු ලැබේ.
“මහණෙනි, කර්ම නිරුද්ධ කිරීම පිණිස පිළිපදින්නාවූ ප්‍රතිපදාව කවරේද? මේ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයම වේ. එනම් සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධිය, (යන මේය) මහණෙනි, මෙය කර්‍මයන් නිරුද්ධ කිරීම පිණිස පිළිපදින්නාවූ ප්‍රතිපදාවයයි කියනු ලැබේ.
“මහණෙනි, මෙසේ වනාහි තොපට මා විසින් පුරාණවූ කර්‍මය දේශනා කරන ලදී. අළුත්වූ කර්‍මය දේශනා කරන ලදී. කර්‍ම නිරෝධය දේශනා කරන ලදී. කර්‍ම නිරෝධය පිණිස පිළිපදින ප්‍රතිපදාව දේශනා කරන ලදී. මහණෙනි, හිතවැඩ කැමැත්තාවූ අනුකම්පා ඇත්තාවූ ශාස්තෲවරයෙකු විසින් අනුකම්පා පිණිස ශ්‍රාවක වූ තොපට යමක් කටයුතුද, මා විසින් තොපට එය කරන ලදී. මහණෙනි, මේ වෘක්‍ෂ මූලයෝ වෙත්. මේ ශුන්‍යාගාර වෙත්. මහණෙනි, භාවනා කරව්. ප්‍රමාද නොවව්. පසුව පසුතැවිලි වන්නෝ නොවව්. මෙය තොපට අපගේ අනුශාසනාව වේයයි, වදාළේය.
1. 15. 2.
සප්‌පාය සූත්‍රය
147. “මහණෙනි, නිවනට උපකාරවූ ප්‍රතිපදාව තොපට දේශනා කරන්නෙමි. එය අසව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමි. මහණෙනි, නිවනට උපකාරවූ ප්‍රතිපදාව කවරීද?
“මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුතෙම ඇස අනිත්‍යයයි දකීද, රූපයෝ අනිත්‍යයයි දකීද, චක්‍ඛු විඤ්ඤාණය අනිත්‍යයයි දකීද, චක්‍ඛු සම්ඵස්සය අනිත්‍යයයි දකීද, චක්‍ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද අනිත්‍යයයි දකීද?
“කන අනිත්‍යයයි දකීද, ශබ්දයෝ අනිත්‍යයයි දකීද, සෝත විඤ්ඤාණය අනිත්‍යයයි දකීද, සෝත සම්ඵස්සය අනිත්‍යයයි දකීද, සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද අනිත්‍යයයි දකීද? “නාසය අනිත්‍යයයි දකීද, ගන්‍ධයෝ අනිත්‍යයයි දකීද, ඝාණ විඤ්ඤාණය අනිත්‍යයයි දකීද, ඝාණ සම්ඵස්සය අනිත්‍යයයි දකීද, ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද අනිත්‍යයයි දකීද? “දිව අනිත්‍යයයි දකීද, රසයෝ අනිත්‍යයයි දකීද, ජිව්හා විඤ්ඤාණය අනිත්‍යයයි දකීද, ජිව්හා සම්ඵස්සය අනිත්‍යයයි දකීද, ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද අනිත්‍යයයි දකීද?
“කය අනිත්‍යයයි දකීද, ස්පර්‍ශයෝ අනිත්‍යයයි දකීද, කාය විඤ්ඤාණය අනිත්‍යයයි දකීද, කාය සම්ඵස්සය අනිත්‍ය යයි දකීද, කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද අනිත්‍යයයි දකීද? “සිත අනිත්‍යයයි දකීද, ධර්‍මයෝ අනිත්‍යයයි දකීද, මනෝ විඤ්ඤාණය අනිත්‍යයයි දකීද, මනෝ සම්ඵස්සය අනිත්‍යයයි දකීද, මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද අනිත්‍යයයි දකීද? අයං ඛො සා භික්ඛවෙ නිබ්බානසප්පායා පටිපදාති. මහණෙනි, මේ වනාහි ඒ නිවනට උපකාරවූ ප්‍රතිපදාව වේ'යයි, වදාළේය.
1. 15. 3.
දුතිය සප්‌පාය සූත්‍රය
148. “මහණෙනි, නිවනට උපකාරවූ ප්‍රතිපදාව තොපට දේශනා කරන්නෙමි. එය අසව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමි. මහණෙනි, නිවනට උපකාරවූ ප්‍රතිපදාව කවරීද?
“මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුතෙම ඇස දුකයයි දකීද, රූපයෝ දුකයයි දකීද, චක්‍ඛු විඤ්ඤාණය දුකයයි දකීද, චක්‍ඛු සම්ඵස්සය දුකයයි දකීද, චක්‍ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද දුකයයි දකීද?
“කන දුකයයි දකීද, ශබ්දයෝ දුකයයි දකීද, සෝත විඤ්ඤාණය දුකයයි දකීද, සෝත සම්ඵස්සය දුකයයි දකීද, සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද දුකයයි දකීද? “නාසය දුකයයි දකීද, ගන්‍ධයෝ දුකයයි දකීද, ඝාණ විඤ්ඤාණය දුකයයි දකීද, ඝාණ සම්ඵස්සය දුකයයි දකීද, ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද දුකයයි දකීද? “දිව දුකයයි දකීද, රසයෝ දුකයයි දකීද, ජිව්හා විඤ්ඤාණය දුකයයි දකීද, ජිව්හා සම්ඵස්සය දුකයයි දකීද, ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද දුකයයි දකීද?
“කය දුකයයි දකීද, ස්පර්‍ශයෝ දුකයයි දකීද, කාය විඤ්ඤාණය දුකයයි දකීද, කාය සම්ඵස්සය දුකයයි දකීද, කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද දුකයයි දකීද? “සිත දුකයයි දකීද, ධර්‍මයෝ දුකයයි දකීද, මනෝ විඤ්ඤාණය දුකයයි දකීද, මනෝ සම්ඵස්සය දුකයයි දකීද, මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද දුකයයි දකියිද, මහණෙනි, මේ වනාහි ඒ නිවනට උපකාරවූ ප්‍රතිපදාවයයි, වදාළේය.