1. 14. 3.
3. සගය්හ සූත්‍රය
136. “මහණෙනි, දෙව් මිනිසුන් රූපයන්හි බැඳුනෝ රූපයෙහි ඇළුනෝ රූපයෙහි සතුටු වන්නෝ වෙත්. මහණෙනි, දෙව් මිනිසුන් රූපයන්ගේ වෙනස්වීම වෙන්වීම නිරුද්ධවීම යන මෙයින් දුක්වූවාහු වාසය කෙරෙත්. “මහණෙනි, දෙව් මිනිසුන් ශබ්දයන්හි බැඳුනෝ ශබ්දයෙහි ඇළුනෝ ශබ්දයෙහි සතුටු වන්නෝ වෙත්. මහණෙනි, දෙව් මිනිසුන් ශබ්දයන්ගේ වෙනස්වීම වෙන්වීම නිරුද්ධවීම යන මෙයින් දුක්වූවාහු වාසය කෙරෙත්. “මහණෙනි, දෙව් මිනිසුන් ගන්‍ධයන්හි බැඳුනෝ ගන්‍ධයෙහි ඇළුනෝ ගන්‍ධයෙහි සතුටු වන්නෝ වෙත්. මහණෙනි, දෙව් මිනිසුන් ගන්‍ධයන්ගේ වෙනස්වීම වෙන්වීම නිරුද්ධවීම යන මෙයින් දුක්වූවාහු වාසය කෙරෙත්. “මහණෙනි, දෙව් මිනිසුන් රසයන්හි බැඳුනෝ රසයෙහි ඇළුනෝ රසයෙහි සතුටු වන්නෝ වෙත්. මහණෙනි, දෙව් මිනිසුන් රසයන්ගේ වෙනස්වීම වෙන්වීම නිරුද්ධවීම යන මෙයින් දුක්වූවාහු වාසය කෙරෙත්. “මහණෙනි, දෙව් මිනිසුන් ස්පර්‍ශයන්හි බැඳුනෝ ස්පර්‍ශයෙහි ඇළුනෝ ස්පර්‍ශයෙහි සතුටු වන්නෝ වෙත්. මහණෙනි, දෙව් මිනිසුන් ස්පර්‍ශයන්ගේ වෙනස්වීම වෙන්වීම නිරුද්ධවීම යන මෙයින් දුක්වූවාහු වාසය කෙරෙත්. “මහණෙනි, දෙව් මිනිසුන් ධර්‍මයන්හි බැඳුනෝ ධර්‍මයෙහි ඇළුනෝ ධර්‍මයෙහි සතුටු වන්නෝ වෙත්. මහණෙනි, දෙව් මිනිසුන් ධර්‍මයන්ගේ වෙනස්වීම වෙන්වීම නිරුද්ධවීම යන මෙයින් දුක්වූවාහු වාසය කෙරෙත්.
“මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධ වූ තථාගතතෙමේ වනාහි රූපයන්ගේ හටගැනීමද විනාශයද ආශ්වාදයද ආදීනවයද නිස්සරණයද තත්වූ පරිද්දෙන් දැන රූපයෙහි නොබැඳී රූපයෙහි නොඇලී රූපයෙහි නොසතුටුව වාසය කරයි. මහණෙනි, තථාගත තෙමේ රූපයන්ගේ වෙනස්වීම වෙන්වීම නිරුද්ධවීම හේතුකොටගෙන සුවසේ වාසය කරයි. “මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ තථාගතතෙමේ වනාහි ශබ්දයන්ගේ හටගැනීමද විනාශයද ආශ්වාදයද ආදීනවයද නිස්සරණයද තත්වූ පරිද්දෙන් දැන ශබ්දයෙහි නොබැඳී ශබ්දයෙහි නොඇලී ශබ්දයෙහි නොසතුටුව වාසය කරයි. මහණෙනි, තථාගතතෙම ශබ්දයන්ගේ වෙනස්වීම වෙන්වීම නිරුද්ධවීම හේතුකොටගෙන සුවසේ වාසය කරයි. “මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ තථාගතතෙමේ වනාහි ගන්‍ධයන්ගේ හටගැනීමද විනාශයද ආශ්වාදයද ආදීනවයද නිස්සරණයද තත්වූ පරිද්දෙන් දැන ගන්‍ධයෙහි නොබැඳී ගන්‍ධයෙහි නොඇලී ගන්‍ධයෙහි නොසතුටුව වාසය කරයි. මහණෙනි, තථාගතතෙම ගන්‍ධයන්ගේ වෙනස්වීම වෙන්වීම නිරුද්ධවීම හේතුකොටගෙන සුවසේ වාසය කරයි. “මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ තථාගතතෙමේ වනාහි රසයන්ගේ හටගැනීමද විනාශයද ආශ්වාදයද ආදීනවයද නිස්සරණයද තත්වූ පරිද්දෙන් දැන රසයෙහි නොබැඳී රසයෙහි නොඇලී රසයෙහි නොසතුටුව වාසය කරයි. මහණෙනි, තථාගතතෙම රසයන්ගේ වෙනස්වීම වෙන්වීම නිරුද්ධවීම හේතුකොටගෙන සුවසේ වාසය කරයි. “මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ තථාගතතෙමේ වනාහි ස්පර්‍ශයන්ගේ හටගැනීමද විනාශයද ආශ්වාදයද ආදීනවයද නිස්සරණයද තත්වූ පරිද්දෙන් දැන ස්පර්‍ශයෙහි නොබැඳී ස්පර්‍ශයෙහි නොඇලී ස්පර්‍ශයෙහි නොසතුටුව වාසය කරයි. මහණෙනි, තථාගතතෙම ස්පර්‍ශයන්ගේ වෙනස්වීම වෙන්වීම නිරුද්ධවීම හේතුකොටගෙන සුවසේ වාසය කරයි. “මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ තථාගතතෙමේ වනාහි ධර්‍මයන්ගේ හටගැනීමද විනාශයද ආශ්වාදයද ආදීනවයද නිස්සරණයද තත්වූ පරිද්දෙන් දැන ධර්‍මයෙහි නොබැඳී ධර්‍මයෙහි නොඇලී ධර්‍මයෙහි නොසතුටුව වාසය කරයි. මහණෙනි, තථාගතතෙම ධර්‍මයන්ගේ වෙනස්වීම වෙන්වීම නිරුද්ධවීම හේතුකොටගෙන සුවසේ වාසය කෙරේයයි, භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. ශාස්තෲ වූ සුගතයන් වහන්සේ මෙය වදාරා නැවත මත්තෙහි මේ ගාථා වදාළ සේක.
ඉෂ්ටවූද කාන්තවූද මනාපවූද සියළු රූපයෝද ශබ්දයෝද රසයෝද ගන්‍ධයෝද ස්පර්‍ශයෝද ධර්‍මයෝද යම්තාක් ඇතැයි කියනු ලැබේද,
මොව්හු දෙවියන් සහිත ලෝකයා විසින් සැප යයි සම්මත කරන ලදහ. මොව්හු යම් තැනෙක්හි නිරුද්ධවෙත්ද එය ඔවුන්ගේ දුකයයි සම්මතය.
මෙයයි ගැනීමෙන් වැලකීම සැපයයි ආර්‍ය්‍යයන් විසින් දක්නා ලදී. මෙසේ දක්නාවූ නුවණැතියන්ගේ දැකීමට මුළු ලෝකය විරුද්ධය.
අන්‍යයෝ යමක් සැපයයි කියත්ද, ආර්‍ය්‍යයෝ එය දුකයයි කියත්. අන්‍යයෝ යමක් දුකයයි කියත්ද ආර්‍ය්‍යයෝ එය සැපයයි දනිත්.
දැනගැණිමට දුෂ්කරවූ ධර්‍මය බලව. මෙහි ලා නුවණ නැත්තේ මුළා වූයේ වෙයි. කෙලෙසුන්ගෙන් වැසුණු නොදක්නවුන්ට (ඒ දහම) ගනඳුරෙක් වෙයි.
නුවණින් දක්නාවූ සත්පුරුෂයන්ට ආලෝකයක් මෙන් නිවන විවෘත වේ. දහම්හි අදක්‍ෂවූවෝ ළඟ වූ ද (ඒ දහම) නො දනිත්.
භවරාගයෙන් ඇළුනාවූ භවශ්‍රොතය අනුව ගමන් කරන්නාවූ මරුවාගේ වසඟයට යටත් වූවන් විසින් මේ ධර්‍මය මනාව අවබෝධ කළහැක්කේ නොවෙයි.
යම් නිවනක් අර්හත් මාර්‍ගඥානයෙන් මනාකොට දැන ආශ්‍රව රහිතවූවාහු පිරිනිවෙත්ද, මේ නිර්‍වාණ පදය ආර්‍ය්‍යයන් හැර කවරෙක් නම් අවබෝධ කිරීමට සුදුසුවේදැයි, වදාළේය.