1. 14. 2.
ඛණ (ක්‍ෂණ) සූත්‍රය
135. “මහණෙනි, තොපට ලාභයෙකි. මහණෙනි, තොප විසින් ලැබූ යහපත් ලාභයෙකි. තොප විසින් බ්‍රහ්මචර්යාවෙහි විසීමට සුදුසු ක්‍ෂණය (මනුෂ්‍යාත්මභාවය) ලබන ලද්දේය. මහණෙනි, මා විසින් ඡඵස්සායතනික නම් නිරයෝ දක්නා ලදහ. එහි ඇසින් යම්කිසි රූපයක් දකී නම් අනිෂ්ට ස්වභාවය ඇත්තක්ම දකියි. ඉෂ්ට ස්වභාවය ඇත්තක් නොදකියි. නොකැමැති ස්වභාවය ඇත්තක්ම දකියි. කැමැති ස්වභාවය ඇත්තක් නොදකියි. අමනාප ස්වභාවය ඇත්තක්ම දකියි. මනාප ස්වභාවය ඇත්තක් නොදකියි. කනෙන් යම්කිසි ශබ්දයක් අසයි නම් -පෙ- නාසයෙන් යම්කිසි ගන්ධයක් ආඝ්‍රාණය කරයි නම් -පෙ- දිවෙන් යම්කිසි රසයක් විඳියි නම් -පෙ- කයෙන් යම්කිසි ස්පර්ශයක් ලබයි නම් -පෙ- සිතින් යම්කිසි ධර්මයක් දැනගනී නම් අනිෂ්ට ස්වභාවය ඇත්තක්ම දැනගනියි. ඉෂ්ට ස්වභාවය ඇත්තක් දැන නොගනියි. නොකැමැති ස්වභාවය ඇත්තක්ම දැනගනියි. කැමැති ස්වභාවය ඇත්තක් දැන නොගනියි. අමනාප ස්වභාවය ඇත්තක්ම දැනගනියි. මනාප ස්වභාවය ඇත්තක් දැන නොගනියි.
“මහණෙනි, තොපට ලාභයෙකි. මහණෙනි, තොප විසින් ලැබූ යහපත් ලාභයෙකි. බ්‍රහ්මචර්යා වාසයට සුදුසු ක්‍ෂණය (මනුෂ්‍යාත්මභාවය) තොප විසින් ලබන ලදී. මහණෙනි, මා විසින් ඡඵස්සායතනික නම් ස්වර්ගයෝ දක්නා ලද්දාහ. එහි ඇසින් යම්කිසි රූපයක් දකී නම් ඉෂ්ට ස්වභාවය ඇත්තක්ම දකියි. අනිෂ්ට ස්වභාවය ඇත්තක් නොදකියි. කැමැති ස්වභාවය ඇත්තක්ම දකියි. නොකැමැති ස්වභාවය ඇත්තක් නොදකියි. මනාප ස්වභාවය ඇත්තක්ම දකියි. අමනාප ස්වභාවය ඇත්තක් නොදකියි.
කනෙන් යම්කිසි ශබ්දයක් අසයි නම් -පෙ- නාසයෙන් යම්කිසි ගන්ධයක් ආඝ්‍රාණය කරයි නම් -පෙ- දිවෙන් යම්කිසි රසයක් විඳියි නම් -පෙ- කයෙන් යම්කිසි ස්පර්ශයක් ලබයි නම් -පෙ- සිතින් යම්කිසි ධර්මයක් දැනගනී නම් ඉෂ්ට ස්වභාවය ඇත්තක්ම දැනගනියි. අනිෂ්ට ස්වභාවය ඇත්තක් දැන නොගනියි. කැමැති ස්වභාවය ඇත්තක්ම දැනගනියි. නොකැමැති ස්වභාවය ඇත්තක් දැන නොගනියි. මනාප ස්වභාවය ඇත්තක්ම දැනගනියි. අමනාප ස්වභාවය ඇත්තක් දැන නොගනියි. මහණෙනි, තොපට ලාභයෙකි. මහණෙනි, තොප විසින් ලැබූ යහපත් ලාභයෙකි. තොප විසින් බ්‍රහ්මචර්යා වාසයට සුදුසු ක්‍ෂණය (මේ මනුෂ්‍යාත්මභාවය) ලබන ලද්දේය.”
1. 14. 3.
3. සගය්හ සූත්‍රය
136. “මහණෙනි, දෙව් මිනිසුන් රූපයන්හි බැඳුනෝ රූපයෙහි ඇළුනෝ රූපයෙහි සතුටු වන්නෝ වෙත්. මහණෙනි, දෙව් මිනිසුන් රූපයන්ගේ වෙනස්වීම වෙන්වීම නිරුද්ධවීම යන මෙයින් දුක්වූවාහු වාසය කෙරෙත්. “මහණෙනි, දෙව් මිනිසුන් ශබ්දයන්හි බැඳුනෝ ශබ්දයෙහි ඇළුනෝ ශබ්දයෙහි සතුටු වන්නෝ වෙත්. මහණෙනි, දෙව් මිනිසුන් ශබ්දයන්ගේ වෙනස්වීම වෙන්වීම නිරුද්ධවීම යන මෙයින් දුක්වූවාහු වාසය කෙරෙත්. “මහණෙනි, දෙව් මිනිසුන් ගන්‍ධයන්හි බැඳුනෝ ගන්‍ධයෙහි ඇළුනෝ ගන්‍ධයෙහි සතුටු වන්නෝ වෙත්. මහණෙනි, දෙව් මිනිසුන් ගන්‍ධයන්ගේ වෙනස්වීම වෙන්වීම නිරුද්ධවීම යන මෙයින් දුක්වූවාහු වාසය කෙරෙත්. “මහණෙනි, දෙව් මිනිසුන් රසයන්හි බැඳුනෝ රසයෙහි ඇළුනෝ රසයෙහි සතුටු වන්නෝ වෙත්. මහණෙනි, දෙව් මිනිසුන් රසයන්ගේ වෙනස්වීම වෙන්වීම නිරුද්ධවීම යන මෙයින් දුක්වූවාහු වාසය කෙරෙත්. “මහණෙනි, දෙව් මිනිසුන් ස්පර්‍ශයන්හි බැඳුනෝ ස්පර්‍ශයෙහි ඇළුනෝ ස්පර්‍ශයෙහි සතුටු වන්නෝ වෙත්. මහණෙනි, දෙව් මිනිසුන් ස්පර්‍ශයන්ගේ වෙනස්වීම වෙන්වීම නිරුද්ධවීම යන මෙයින් දුක්වූවාහු වාසය කෙරෙත්. “මහණෙනි, දෙව් මිනිසුන් ධර්‍මයන්හි බැඳුනෝ ධර්‍මයෙහි ඇළුනෝ ධර්‍මයෙහි සතුටු වන්නෝ වෙත්. මහණෙනි, දෙව් මිනිසුන් ධර්‍මයන්ගේ වෙනස්වීම වෙන්වීම නිරුද්ධවීම යන මෙයින් දුක්වූවාහු වාසය කෙරෙත්.
“මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ වනාහි රූපයන්ගේ හටගැනීම ද නැතිවීම ද ආශ්වාදය ද ආදීනවය ද නිස්සරණය ද තත්වූ පරිද්දෙන් දැන රූපයෙහි නොබැඳී, රූපයෙහි නොඇලී, රූපයෙහි සතුටු නොවී සිටිති. මහණෙනි, තථාගතයන් වහන්සේ රූපයන්ගේ වෙනස්වීම, විරාගය (නොඇල්ම), නිරුද්ධවීම හේතුකොටගෙන (නිවන්) සුවයෙන් වාසය කරති. ශබ්දයන්ගේ -පෙ- ගන්ධයන්ගේ -පෙ- රසයන්ගේ -පෙ- ස්පර්ශයන්ගේ -පෙ- ධර්මයන්ගේ හටගැනීම ද නැතිවීම ද ආශ්වාදය ද ආදීනවය ද නිස්සරණය ද තත්වූ පරිද්දෙන් දැන ධර්මයෙහි නොබැඳී, ධර්මයෙහි නොඇලී, ධර්මයෙහි සතුටු නොවී සිටිති. මහණෙනි, තථාගතයන් වහන්සේ ධර්මයන්ගේ වෙනස්වීම, විරාගය, නිරුද්ධවීම හේතුකොටගෙන සුවයෙන් වාසය කරති” යි භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. ශාස්තෘ වූ සුගතයන් වහන්සේ මෙය වදාරා නැවත මෙයද වදාළ සේක:
ඉෂ්ටවූද කාන්තවූද මනාපවූද සියළු රූපයෝද ශබ්දයෝද රසයෝද ගන්‍ධයෝද ස්පර්‍ශයෝද ධර්‍මයෝද යම්තාක් ඇතැයි කියනු ලැබේද,
මොව්හු දෙවියන් සහිත ලෝකයා විසින් සැප යයි සම්මත කරන ලදහ. මොව්හු යම් තැනෙක්හි නිරුද්ධවෙත්ද එය ඔවුන්ගේ දුකයයි සම්මතය.
මෙයයි ගැනීමෙන් වැලකීම සැපයයි ආර්‍ය්‍යයන් විසින් දක්නා ලදී. මෙසේ දක්නාවූ නුවණැතියන්ගේ දැකීමට මුළු ලෝකය විරුද්ධය.
අන්‍යයෝ යමක් සැපයයි කියත්ද, ආර්‍ය්‍යයෝ එය දුකයයි කියත්. අන්‍යයෝ යමක් දුකයයි කියත්ද ආර්‍ය්‍යයෝ එය සැපයයි දනිත්.
දැනගැණිමට දුෂ්කරවූ ධර්‍මය බලව. මෙහි ලා නුවණ නැත්තේ මුළා වූයේ වෙයි. කෙලෙසුන්ගෙන් වැසුණු නොදක්නවුන්ට (ඒ දහම) ගනඳුරෙක් වෙයි.
නුවණින් දක්නාවූ සත්පුරුෂයන්ට ආලෝකයක් මෙන් නිවන විවෘත වේ. දහම්හි අදක්‍ෂවූවෝ ළඟ වූ ද (ඒ දහම) නො දනිත්.
භවරාගයෙන් ඇළුනාවූ භවශ්‍රොතය අනුව ගමන් කරන්නාවූ මරුවාගේ වසඟයට යටත් වූවන් විසින් මේ ධර්‍මය මනාව අවබෝධ කළහැක්කේ නොවෙයි.
යම් නිවනක් අර්හත් මාර්‍ගඥානයෙන් මනාකොට දැන ආශ්‍රව රහිතවූවාහු පිරිනිවෙත්ද, මේ නිර්‍වාණ පදය ආර්‍ය්‍යයන් හැර කවරෙක් නම් අවබෝධ කිරීමට සුදුසුවේදැයි, වදාළේය.