1. 13. 8.
8. නකුලපිතු සූත්‍රය
131. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ භගුරට සුංසුමාරගිරි නම් නුවර මිගදාය නම්වූ භෙසකලා වනයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි නකුල පිතු නම් ගෘහපතිතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත් පසෙක හුන්නේය. එකත් පසෙක හුන්නාවූ නකුල පිතු නම් ගෘහපතිතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේය: “ස්වාමිනි, යම් හෙයකින් මේ ලෝකයෙහි ඇතැම් සත්‍වයෝ මේ ආත්මයෙහිම නොපිරිනිවෙත්ද, ඊට හේතු කවරේද, ප්‍රත්‍ය කවරේද, ස්වාමිනි යම් හෙයකින් මේ ලෝකයෙහි ඇතැම් සත්‍වයෝ මේ ආත්මයෙහිම පිරිනිවෙත්ද, ඊට හේතු කවරේද, ප්‍රත්‍යය කවරේද?, කියායි.
“ගෘහපතිය, චක්ඛු විඤ්ඤාණයෙන් දතයුතු වූ, ඉෂ්ඨවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප එලවන්නාවූ, ඇලුම් කටයුතු වූ, රූප ඇත්තාහ. ඉදින් මහණතෙම එය පතාද, එය ප්‍රියයයි කියයිද, එහි ගැලී සිටීද, එය පතන, එය ප්‍රියයයි කියන, එහි ගැලී සිටින ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු කලේ, එය උපාදාන කොට ඇත්තේ වෙයි. ගෘහපතිය, උපාදාන සහිතවූ මහණතෙම නොපිරිනිවෙයි.
“ගෘහපතිය, සෝතවිඤ්ඤාණයෙන් දතයුතු වූ, ඉෂ්ඨවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප එලවන්නාවූ, ඇලුම් කටයුතු වූ, ශබ්ද ඇත්තාහ. ඉදින් මහණතෙම එය පතාද, එය ප්‍රියයයි කියයිද, එහි ගැලී සිටීද, එය පතන, එය ප්‍රියයයි කියන, එහි ගැලී සිටින ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු කලේ, එය උපාදාන කොට ඇත්තේ වෙයි. ගෘහපතිය, උපාදාන සහිතවූ මහණතෙම නොපිරිනිවෙයි. “ගෘහපතිය, ඝාණ විඤ්ඤාණයෙන් දතයුතු වූ, ඉෂ්ඨවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප එලවන්නාවූ, ඇලුම් කටයුතු වූ, ගන්‍ධ ඇත්තාහ. ඉදින් මහණතෙම එය පතාද, එය ප්‍රියයයි කියයිද, එහි ගැලී සිටීද, එය පතන, එය ප්‍රියයයි කියන, එහි ගැලී සිටින ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු කලේ, එය උපාදාන කොට ඇත්තේ වෙයි. ගෘහපතිය, උපාදාන සහිතවූ මහණතෙම නොපිරිනිවෙයි. “ගෘහපතිය, ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතු වූ, ඉෂ්ඨවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප එලවන්නාවූ, ඇලුම් කටයුතු වූ, රස ඇත්තාහ.ඉදින් මහණතෙම එය පතාද, එය ප්‍රියයයි කියයිද, එහි ගැලී සිටීද, එය පතන, එය ප්‍රියයයි කියන, එහි ගැලී සිටින ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු කලේ, එය උපාදාන කොට ඇත්තේ වෙයි. ගෘහපතිය, උපාදාන සහිතවූ මහණතෙම නොපිරිනිවෙයි. “ගෘහපතිය, කාය විඤ්ඤාණයෙන් දතයුතු වූ, ඉෂ්ඨවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප එලවන්නාවූ, ඇලුම් කටයුතු වූ, ස්පර්‍ශ ඇත්තාහ. ඉදින් මහණතෙම එය පතාද, එය ප්‍රියයයි කියයිද, එහි ගැලී සිටීද, එය පතන, එය ප්‍රියයයි කියන, එහි ගැලී සිටින ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු කලේ, එය උපාදාන කොට ඇත්තේ වෙයි. ගෘහපතිය, උපාදාන සහිතවූ මහණතෙම නොපිරිනිවෙයි. “ගෘහපතිය, මනෝවිඤ්ඤාණයෙන් දතයුතු වූ, ඉෂ්ඨවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප එලවන්නාවූ, ඇලුම් කටයුතු වූ, ධර්‍මයෝ ඇත්තාහ. ඉදින් මහණතෙම එය පතාද, එය ප්‍රියයයි කියයිද, එහි ගැලී සිටීද, එය පතන, එය ප්‍රියයයි කියන, එහි ගැලී සිටින ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු කලේ, එය උපාදාන කොට ඇත්තේ වෙයි. ගෘහපතිය, උපාදාන සහිතවූ මහණතෙම නොපිරිනිවෙයි. “ගෘහපතිය, යම් හෙයකින් මේ ලෝකයෙහි ඇතැම් සත්‍වයෝ මේ ආත්මයෙහිම නොපිරිනිවෙත්ද, මේ වනාහි එයට හේතුවේ. ප්‍රත්‍යය වේ.
“ගෘහපතිය, චක්ඛුවිඤ්ඤාණයෙන් දතයුතු වූ, ඉෂ්ඨවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප එලවන්නාවූ, ඇලුම් කටයුතු වූ, රූපද ඇත්තාහ. ඉදින් මහණතෙම එය නොපතාද, එය ප්‍රියයයි නොකියාද, එහි ගැලී නොසිටීද, එය නොපතන්නාවූ, එය ප්‍රියයයි නොකියන්නාවූ, එහි ගැලී නොසිටින්නාවූ ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු නොකලේ, එය උපාදාන කොට නැත්තේ වේ. ගෘහපතිය, උපාදාන නැත්තාවූ මහණතෙම පිරිනිවෙයි.
“ගෘහපතිය, සෝත විඤ්ඤාණයෙන් දතයුතු වූ, ඉෂ්ඨවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප එලවන්නාවූ, ඇලුම් කටයුතු වූ, ශබ්ද ද ඇත්තාහ. ඉදින් මහණතෙම එය නොපතාද, එය ප්‍රියයයි නොකියාද, එහි ගැලී නොසිටීද, එය නොපතන්නාවූ, එය ප්‍රියයයි නොකියන්නාවූ, එහි ගැලී නොසිටින්නාවූ ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු නොකලේ, එය උපාදාන කොට නැත්තේ වේ. ගෘහපතිය, උපාදාන නැත්තාවූ මහණතෙම පිරිනිවෙයි. “ගෘහපතිය, ඝාණවිඤ්ඤාණයෙන් දතයුතු වූ, ඉෂ්ඨවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප එලවන්නාවූ, ඇලුම් කටයුතු වූ, ගන්‍ධ ද ඇත්තාහ. ඉදින් මහණතෙම එය නොපතාද, එය ප්‍රියයයි නොකියාද, එහි ගැලී නොසිටීද, එය නොපතන්නාවූ, එය ප්‍රියයයි නොකියන්නාවූ, එහි ගැලී නොසිටින්නාවූ ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු නොකලේ, එය උපාදාන කොට නැත්තේ වේ. ගෘහපතිය, උපාදාන නැත්තාවූ මහණතෙම පිරිනිවෙයි. “ගෘහපතිය, ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතු වූ, ඉෂ්ඨවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප එලවන්නාවූ, ඇලුම් කටයුතු වූ, රස ද ඇත්තාහ. ඉදින් මහණතෙම එය නොපතාද, එය ප්‍රියයයි නොකියාද, එහි ගැලී නොසිටීද, එය නොපතන්නාවූ, එය ප්‍රියයයි නොකියන්නාවූ, එහි ගැලී නොසිටින්නාවූ ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු නොකලේ, එය උපාදාන කොට නැත්තේ වේ. ගෘහපතිය, උපාදාන නැත්තාවූ මහණතෙම පිරිනිවෙයි. “ගෘහපතිය, කාය විඤ්ඤාණයෙන් දතයුතු වූ, ඉෂ්ඨවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප එලවන්නාවූ, ඇලුම් කටයුතු වූ, ස්පර්‍ශ ද ඇත්තාහ. ඉදින් මහණතෙම එය නොපතාද, එය ප්‍රියයයි නොකියාද, එහි ගැලී නොසිටීද, එය නොපතන්නාවූ, එය ප්‍රියයයි නොකියන්නාවූ, එහි ගැලී නොසිටින්නාවූ ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු නොකලේ, එය උපාදාන කොට නැත්තේ වේ. ගෘහපතිය, උපාදාන නැත්තාවූ මහණතෙම පිරිනිවෙයි. “ගෘහපතිය, මනෝවිඤ්ඤාණයෙන් දතයුතු වූ, ඉෂ්ඨවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප එලවන්නාවූ, ඇලුම් කටයුතු වූ, ධර්‍මයෝ ද ඇත්තාහ. ඉදින් මහණතෙම එය නොපතාද, එය ප්‍රියයයි නොකියාද, එහි ගැලී නොසිටීද, එය නොපතන්නාවූ, එය ප්‍රියයයි නොකියන්නාවූ, එහි ගැලී නොසිටින්නාවූ ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු නොකලේ, එය උපාදාන කොට නැත්තේ වේ. ගෘහපතිය, උපාදාන නැත්තාවූ මහණතෙම පිරිනිවෙයි. “ගෘහපතිය, යම් හෙයකින් මේ ලෝකයෙහි ඇතැම් සත්‍වයෝ මේ ආත්මයෙහිම පිරිනිවෙත්ද, මේ වනාහි එයට හේතුවේ. ප්‍රත්‍යය වේයයි වදාළේය.
1. 13. 9.
9. ලොහිච්‌ච සූත්‍රය
132. එක් කලෙක්හි ආයුෂ්මත් මහාකච්චාන තෙරණුවෝ අවන්තී රට මක්කරකට නම් නගරයෙහි ආරණ්‍යයෙහි වූ කුටියෙක්හි වාසය කරති. එකල්හි වනාහි ලෝහිච්ච නම් බ්‍රාහ්මණයාගේ අතැවැසි වූ දර ගෙන යන බොහෝ වූ මාණවකයෝ ආයුෂ්මත් මහාකච්චාන තෙරණුවන්ගේ ආරණ්‍යයෙහි වූ කුටිය යම් තැනෙක්හිද, එතැනට පැමිණියාහුය. පැමිණ කුටිය හාත්පසින් සිට “මේ මුඩු ශ්‍රමණයෝ වනාහි හීන ගෘහපතියෝය. කිළුටු වූවෝය. බ්‍රහ්මයාගේ පිටිපතුලෙන් උපන්නෝය. මේ රට වැසියන් විසින් සත්කාර කරන ලද්දාහු, ගෞරව කරන ලද්දාහු, බුහුමන් කරන ලද්දාහු, පුදන ලද්දාහු, සැලකිළි කරන ලද්දාහු වෙත්යයි’ උස් හඬින් මහත් හඬින් කියමින් කුටිය වටේ සක්මන් කරත්, ඔබමොබ හැසිරෙත්.
එකල්හි ආයුෂ්මත් මහාකච්චාන තෙරණුවෝ විහාරයෙන් නික්ම ඒ මානවකයන්ට මෙය කීයේය. “මානවකයිනි, තොපි ශබ්ද නොකරව්. තොපට ධර්‍මය දේශනා කරන්නෙමි'යි මෙසේ කී කල්හි ඒ මානවකයෝ නිශ්ශබ්ද වූහ. ඉක්බිති ආයුෂ්මත් මහාකච්චාන තෙරණුවෝ ඒ මානවකයන්ට ගාථා වලින් මෙය ප්‍රකාශ කෙළේය.
(1) “යම් කෙනෙක් පුරාණ බ්‍රාහ්මණ ධර්‍මය සිහිකෙරෙත්ද, ඉතා පූර්‍වයෙහි වූ ඒ බ්‍රාහ්මණයෝ සීලය උතුම්කොට ඇත්තෝ වූහ. ක්‍රෝධය මැඬලා සිටි ඔවුන්ගේ (චක්ෂුරාදි) ද්වාරයෝ ගෝපනය කරන ලද්දාහු මැනවින් රක්නා ලද්දාහු වූහ.