1. 13. 9.
9. ලොහිච්‌ච සූත්‍රය
132. එක් කලෙක්හි ආයුෂ්මත් මහාකච්චාන තෙරණුවෝ අවන්තී රට මක්කරකට නම් නගරයෙහි ආරණ්‍යයෙහි වූ කුටියෙක්හි වාසය කරති. එකල්හි වනාහි ලෝහිච්ච නම් බ්‍රාහ්මණයාගේ අතැවැසි වූ දර ගෙන යන බොහෝ වූ මාණවකයෝ ආයුෂ්මත් මහාකච්චාන තෙරණුවන්ගේ ආරණ්‍යයෙහි වූ කුටිය යම් තැනෙක්හිද, එතැනට පැමිණියාහුය. පැමිණ කුටිය හාත්පසින් සිට “මේ මුඩු ශ්‍රමණයෝ වනාහි හීන ගෘහපතියෝය. කිළුටු වූවෝය. බ්‍රහ්මයාගේ පිටිපතුලෙන් උපන්නෝය. මේ රට වැසියන් විසින් සත්කාර කරන ලද්දාහු, ගෞරව කරන ලද්දාහු, බුහුමන් කරන ලද්දාහු, පුදන ලද්දාහු, සැලකිළි කරන ලද්දාහු වෙත්යයි’ උස් හඬින් මහත් හඬින් කියමින් කුටිය වටේ සක්මන් කරත්, ඔබමොබ හැසිරෙත්.
එකල්හි ආයුෂ්මත් මහාකච්චාන තෙරණුවෝ විහාරයෙන් නික්ම ඒ මානවකයන්ට මෙය කීයේය. “මානවකයිනි, තොපි ශබ්ද නොකරව්. තොපට ධර්‍මය දේශනා කරන්නෙමි'යි මෙසේ කී කල්හි ඒ මානවකයෝ නිශ්ශබ්ද වූහ. ඉක්බිති ආයුෂ්මත් මහාකච්චාන තෙරණුවෝ ඒ මානවකයන්ට ගාථා වලින් මෙය ප්‍රකාශ කෙළේය.
(1) “යම් කෙනෙක් පුරාණ බ්‍රාහ්මණ ධර්‍මය සිහිකෙරෙත්ද, ඉතා පූර්‍වයෙහි වූ ඒ බ්‍රාහ්මණයෝ සීලය උතුම්කොට ඇත්තෝ වූහ. ක්‍රෝධය මැඬලා සිටි ඔවුන්ගේ (චක්ෂුරාදි) ද්වාරයෝ ගෝපනය කරන ලද්දාහු මැනවින් රක්නා ලද්දාහු වූහ.
(2) යම් කෙනෙක් පුරාණ වූ (බ්‍රාහ්මණ ධර්‍මය) සිහි කෙරෙත්ද, ඒ බ්‍රාහ්මණයෝ දසකුශල ධර්‍මයෙහිද, ධ්‍යානයෙහිද, ඇලුනෝ වූහ. මේ ගුණයන්ද ඉක්මවා අප මන්ත්‍ර හදාරන්නෙමුයි, ගෝත්‍රයෙන් මත්වූවාහු ගන්නා ලද නොයෙක් දඬු ඇත්තාහු, ක්‍රෝධයෙන් මඬනා ලද්දාහු තෘෂ්ණා සහිත වූද තෘෂ්ණා රහිත වූද, සත්‍වයන් කෙරෙහි වරද කෙරෙමින් විසමව හැසිරෙත්.
(3) නොරක්නාලද දොරටු ඇත්තහුගේ ආහාර නොගැණීමද, නිල් කුසතණ ඇතිරියෙහි සයනය කිරීමද, උදෑසන ස්නානය කිරීමද, ත්‍රිවේදයද යන මොව්හු පුරුෂයෙකුගේ සිහිනෙන් ලබන ලද වස්තුවක් මෙන් හිස් වූවාහු වෙත්. (4) රළු ස්පර්‍ශ ඇති අඳුන් දිවි සමද, ජටාවද, දත් මැලියම්ද, මන්ත්‍රද, අන්‍ය ශීල ව්‍රත සමාදානය වූ තපසද, කුහක බවද (කොහොන් බවද), වක්වූ දඬු ඇති බවද, ජලයෙන් පිරිසිදු කිරීමද යන මොව්හු කිසියම් ආමිස ලාභයන් පිණිස කරන ලද බ්‍රාහ්මණයන්ගේ වර්‍ණයෝ (ගුණයෝ) වෙත්.
(5) (පැරණි බමුණන්ගේ) සිත උපචාර අර්පණ වශයෙන් මැනවින් සමාධිගත ය. වෙසෙසින් පහන් ය. නොකැලඹුණේ ය. සියලු සතුන් කෙරෙහි මොළොක් ය. එය ශ්‍රේෂ්ඨ බවට පැමිණීමට මග ය. (කිම තෙපි බමුණු වහුදැ යි) (කීය.)
එකල්හි ඒ මානවකයෝ කිපුනාහු නොසතුටු සිත් ඇත්තාහු ලෝහිච්ච නම් බ්‍රාහ්මණයා යම් තැනෙක්හිද එතැනට ගියාහුය. ගොස් ලෝහිච්ච නම් බ්‍රාහ්මණයාට මෙය කීවාහුය. “මහාකච්චාන නම් ශ්‍රමණතෙම බ්‍රාහ්මණයන්ගේ මන්ත්‍රවලට ඒකානතයෙන් දොස් කියයි, ආක්‍රෝශ කරයි, යන මෙය දන්නේද, යනුයි.
මෙසේ කී කල්හි ලෝහිච්ච නම් බ්‍රාහ්මණතෙම කිපියේ නොසතුටු සිත් ඇත්තේ වූයේය. ඉක්බිති ලෝහිච්ච නම් බ්‍රාහ්මණයාට මෙබඳු අදහසක් විය. ‘යම්බඳු මම මානවකයන්ගෙන්ම පමණක් අසා මහාකච්චාන ශ්‍රමණයන්ට ආක්‍රෝශ කරන්නෙම් නම් මෙය මට ඒකාන්තයෙන් සුදුසු නොවෙයි. මම ගොස් අසන්නෙම්නම් යහපති කියායි.
ඉක්බිති ලෝහිච්ච නම් බ්‍රාහ්මණතෙම ඒ මානවකයන් සමඟ ආයුෂ්මත් මහාකච්චාන තෙරණුවන් යම් තැනෙක්හිද එතැනට ගියේය. ගොස් ආයුෂ්මත් මහාකච්චාන තෙරණුවන් සමඟ සතුටු වූයේය. සතුටු වියයුතු සිහිකටයුතුවූ කථාව කොට නිමවා එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ලෝහිච්ච නම් බ්‍රාහ්මණතෙම ආයුෂ්මත් මහාකච්චාන තෙරණුවන්ට මෙය කීයේය.
“භවත් කච්චාන ස්ථවිරයන් වහන්ස, අපගේ බොහෝවූ අතවැසිවූ දර ගෙනියන්නාවූ මානවකයෝ මෙහි ආවාහුද?, “බ්‍රාහ්මණය, තොපගේ බොහෝවූ අතවැසිවූ දර ගෙනියන්නාවූ මානවකයෝ මෙහි ආවාහුය, “ඒ මානවකයන් සමඟ භවත් කච්චාන ස්ථවිරයන්ගේ කිසියම් කතාබහෙක් වූයේද?, “බ්‍රාහ්මණය, ඒ මානවකයන් මාගේ සමඟ කිසියම් කතාබහෙක් වූයේය, “ඒ මානවකයන් සමඟ භවත් කච්චාන ස්ථවිරයන් වහන්සේගේ කෙබඳුවූ කතාබහෙක් වීද?, “බ්‍රාහ්මණය ඒ මානවකයන් සමග මාගේ කතාබහ මෙසේ වූයේය.