1. 13. 7.
හාලිද්‌දිකානි සූත්‍රය
130. එක් කලෙක්හි ආයුෂ්මත් මහාකච්චාන ස්ථවිර තෙම අවන්තී රට කුරරඝරයෙහි පවතත නම් පර්‍වතයෙහි වාසය කරයි. එකල්හි වනාහි භාලිද්දකානි නම් ගෘහපති තෙම ආයුෂ්මත් මහාකච්චාන ස්ථවිර තෙම යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ මහාකච්චාන ස්ථවිරයන් වහන්සේ සමඟ සතුටු වූයේය. සතුටු වියයුතු සිහිකටයුතුවූ කථා කොට නිමවා එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ භාලිද්දකානි නම් ගෘහපති තෙම ආයුෂ්මත් මහාකච්චාන ස්ථවිරයන්ට මෙය සැල කෙළේය. “ස්වාමිනි, භාග්‍යවතුන් වහන්සේ විසින් ධාතූන්ගේ නානාත්‍වය නිසා ස්පර්‍ශයන්ගේ නානාත්‍වය උපදී, ස්පර්‍ශයන්ගේ නානාත්‍වය නිසා වේදනාවන්ගේ නානාත්‍වය උපදී යන මෙය වදාරන ලදී. ස්වාමිනි, කෙසේනම් ධාතූන්ගේ නානාත්‍වය නිසා ස්පර්‍ශයන්ගේ නානාත්‍වය උපදීද? සපර්‍ශයන්ගේ නානාත්‍වය නිසා වේදනාවන්ගේ නානාත්‍වය උපදීදැයි, (ඇසුයේය.)
“ගෘහපතිය, මේ ලෝකයෙහි භික්‍ෂුතෙම ඇසින් රූපයක් දැක මේ ආකාරයෙන් මෙය මන වඩන්නේයයි දැන ගනියි. චක්‍ඛු විඤ්ඤාණයද සැප වේදනාවට කරුණුවූ ස්පර්‍ශයද නිසා සැපවූ වේදනාවද උපදියි. ඇසින්ම රූපයක් දැක මේ ආකාරයෙන් මෙය මන නොවඩන්නේයයි දැනගනියි. චක්‍ඛු විඤ්ඤාණයද දුක් වේදනාවට කරුණුවූ ස්පර්‍ශයද නිසා දුක්වූ වේදනාව උපදියි. ඇසින්ම වනාහි රූපයක් දැක
මේ ආකාරයෙන් මෙය උපෙක්‍ෂාවට කරුණුවේයයි දැනගනියි. චක්‍ඛු විඤ්ඤාණයද දුක් ද නොවූ සැපද නොවූ වේදනාවට කරුණුවූ ස්පර්‍ශය නිසා දුක් ද නොවූ සැපද නොවූ වේදනාවද උපදියි.
“ගෘහපතිය, නැවත අනිකක්ද කියමි. කනෙන් ශබ්දයක් අසා මේ ආකාරයෙන් මෙය මන වඩන්නේයයි දැනගනියි. සෝත විඤ්ඤාණයද සැප වේදනාවට කරුණුවූ ස්පර්‍ශයද නිසා සැපවූ වේදනාව උපදියි. කනෙන්ම ශබ්දයක් අසා මේ ආකාරයෙන් මෙය මන නොවඩන්නේයයි දැනගනියි. සෝත විඤ්ඤාණයද දුක් වේදනාවට කරුණුවූ ස්පර්‍ශයද නිසා දුක්වූ වේදනාව උපදියි. කනෙන්ම වනාහි ශබ්දයක් අසා මේ ආකාරයෙන් මෙය උපෙක්‍ෂාවට කරුණුවේයයි දැනගනියි. සෝත විඤ්ඤාණයද දුක් ද නොවූ සැපද නොවූ වේදනාවට කරුණුවූ ස්පර්‍ශය නිසා දුක් ද නොවූ සැපද නොවූ වේදනාවද උපදියි. “ගෘහපතිය, නැවත අනිකක්ද කියමි. නාසයෙන් ගන්‍ධයක් ආඝ්‍රාණයකොට මේ ආකාරයෙන් මෙය මන වඩන්නේයයි දැනගනියි. ඝාණ විඤ්ඤාණයද සැප වේදනාවට කරුණුවූ ස්පර්‍ශයද නිසා සැපවූ වේදනාව උපදියි. නාසයෙන්ම ගන්‍ධයක් ආඝ්‍රාණයකොට මේ ආකාරයෙන් මෙය මන නොවඩන්නේයයි දැනගනියි. ඝාණ විඤ්ඤාණයද දුක් වේදනාවට කරුණුවූ ස්පර්‍ශයද නිසා දුක්වූ වේදනාව උපදියි. නාසයෙන්ම ගන්‍ධයක් ආඝ්‍රාණයකොට මේ ආකාරයෙන් මෙය උපෙක්‍ෂාවට කරුණුවේයයි දැනගනියි. ඝාණ විඤ්ඤාණයද දුක් ද නොවූ සැපද නොවූ වේදනාවට කරුණුවූ ස්පර්‍ශය නිසා දුක් ද නොවූ සැපද නොවූ වේදනාවද උපදියි. “ගෘහපතිය, නැවත අනිකක්ද කියමි. දිවෙන් රසයක් විඳ මේ ආකාරයෙන් මෙය මන වඩන්නේයයි දැනගනියි. ජිව්හා විඤ්ඤාණයද සැප වේදනාවට කරුණුවූ ස්පර්‍ශයද නිසා සැපවූ වේදනාව උපදියි. දිවෙන්ම රසයක් විඳ මේ ආකාරයෙන් මෙය මන නොවඩන්නේයයි දැනගනියි. ජිව්හා විඤ්ඤාණයද දුක් වේදනාවට කරුණුවූ ස්පර්‍ශයද නිසා දුක්වූ වේදනාව උපදියි. දිවෙන්ම රසයක් විඳ මේ ආකාරයෙන් මෙය උපෙක්‍ෂාවට කරුණුවේයයි දැනගනියි. ජිව්හා විඤ්ඤාණයද දුක් ද නොවූ සැපද නොවූ වේදනාවට කරුණුවූ ස්පර්‍ශය නිසා දුක් ද නොවූ සැපද නොවූ වේදනාවද උපදියි. “ගෘහපතිය, අනිකක්ද කියමි. කයින් ස්පර්‍ශයක් කර මේ ආකාරයෙන් මෙය මන වඩන්නේයයි දැනගනියි. කාය විඤ්ඤාණයද සැප වේදනාවට කරුණුවූ ස්පර්‍ශයද නිසා සැපවූ වේදනාව උපදියි. කයින්ම ස්පර්‍ශයක් කර මේ ආකාරයෙන් මෙය මන නොවඩන්නේයයි දැනගනියි. කාය විඤ්ඤාණයද දුක් වේදනාවට කරුණුවූ ස්පර්‍ශයද නිසා දුක්වූ වේදනාව උපදියි. කයින්ම ස්පර්‍ශයක් කර මේ ආකාරයෙන් මෙය උපෙක්‍ෂාවට කරුණුවේයයි දැනගනියි. කාය විඤ්ඤාණයද දුක් ද නොවූ සැපද නොවූ වේදනාවට කරුණුවූ ස්පර්‍ශය නිසා දුක් ද නොවූ සැපද නොවූ වේදනාවද උපදියි. “ගෘහපතිය, නැවත අනිකක්ද කියමි. සිතින් ධර්‍මයක් දැන මේ ආකාරයෙන් මෙය මන වඩන්නේයයි දැනගනියි. මනෝ විඤ්ඤාණයද සැප වේදනාවට කරුණුවූ ස්පර්‍ශයද නිසා සැපවූ වේදනාව උපදියි. සිතින්ම ධර්‍මයක් දැන මේ ආකාරයෙන් මෙය මන නොවඩන්නේයයි දැනගනියි. මනෝ විඤ්ඤාණයද දුක් වේදනාවට කරුණුවූ ස්පර්‍ශයද නිසා දුක්වූ වේදනාව උපදියි. සිතින්ම වනාහි ධර්‍මයක් දැන මේ ආකාරයෙන් මෙය උපෙක්‍ෂාවට කරුණුවේයයි දැනගනියි. මනෝ විඤ්ඤාණයද දුක් ද නොවූ සැපද නොවූ වේදනාවට කරුණුවූ ස්පර්‍ශය නිසා දුක් ද නොවූ සැපද නොවූ වේදනාවද උපදියි. ගෘහපතිය, මෙසේ වනාහි ධාතූන්ගේ නානාත්‍වය නිසා ස්පර්‍ශයන්ගේ නානාත්‍වය උපදියි. ස්පර්‍ශයන්ගේ නානාත්‍වය නිසා වේදනාවන්ගේ නානාත්‍වය උපදීයයි, (වදාළේය.)
1. 13. 8.
8. නකුලපිතු සූත්‍රය
131. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ භගුරට සුංසුමාරගිරි නම් නුවර මිගදාය නම්වූ භෙසකලා වනයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි නකුල පිතු නම් ගෘහපතිතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත් පසෙක හුන්නේය. එකත් පසෙක හුන්නාවූ නකුල පිතු නම් ගෘහපතිතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේය: “ස්වාමිනි, යම් හෙයකින් මේ ලෝකයෙහි ඇතැම් සත්‍වයෝ මේ ආත්මයෙහිම නොපිරිනිවෙත්ද, ඊට හේතු කවරේද, ප්‍රත්‍ය කවරේද, ස්වාමිනි යම් හෙයකින් මේ ලෝකයෙහි ඇතැම් සත්‍වයෝ මේ ආත්මයෙහිම පිරිනිවෙත්ද, ඊට හේතු කවරේද, ප්‍රත්‍යය කවරේද?, කියායි.
“ගෘහපතිය, චක්ඛු විඤ්ඤාණයෙන් දතයුතු වූ, ඉෂ්ඨවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප එලවන්නාවූ, ඇලුම් කටයුතු වූ, රූප ඇත්තාහ. ඉදින් මහණතෙම එය පතාද, එය ප්‍රියයයි කියයිද, එහි ගැලී සිටීද, එය පතන, එය ප්‍රියයයි කියන, එහි ගැලී සිටින ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු කලේ, එය උපාදාන කොට ඇත්තේ වෙයි. ගෘහපතිය, උපාදාන සහිතවූ මහණතෙම නොපිරිනිවෙයි.
“ගෘහපතිය, සෝතවිඤ්ඤාණයෙන් දතයුතු වූ, ඉෂ්ඨවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප එලවන්නාවූ, ඇලුම් කටයුතු වූ, ශබ්ද ඇත්තාහ. ඉදින් මහණතෙම එය පතාද, එය ප්‍රියයයි කියයිද, එහි ගැලී සිටීද, එය පතන, එය ප්‍රියයයි කියන, එහි ගැලී සිටින ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු කලේ, එය උපාදාන කොට ඇත්තේ වෙයි. ගෘහපතිය, උපාදාන සහිතවූ මහණතෙම නොපිරිනිවෙයි. “ගෘහපතිය, ඝාණ විඤ්ඤාණයෙන් දතයුතු වූ, ඉෂ්ඨවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප එලවන්නාවූ, ඇලුම් කටයුතු වූ, ගන්‍ධ ඇත්තාහ. ඉදින් මහණතෙම එය පතාද, එය ප්‍රියයයි කියයිද, එහි ගැලී සිටීද, එය පතන, එය ප්‍රියයයි කියන, එහි ගැලී සිටින ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු කලේ, එය උපාදාන කොට ඇත්තේ වෙයි. ගෘහපතිය, උපාදාන සහිතවූ මහණතෙම නොපිරිනිවෙයි. “ගෘහපතිය, ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතු වූ, ඉෂ්ඨවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප එලවන්නාවූ, ඇලුම් කටයුතු වූ, රස ඇත්තාහ.ඉදින් මහණතෙම එය පතාද, එය ප්‍රියයයි කියයිද, එහි ගැලී සිටීද, එය පතන, එය ප්‍රියයයි කියන, එහි ගැලී සිටින ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු කලේ, එය උපාදාන කොට ඇත්තේ වෙයි. ගෘහපතිය, උපාදාන සහිතවූ මහණතෙම නොපිරිනිවෙයි. “ගෘහපතිය, කාය විඤ්ඤාණයෙන් දතයුතු වූ, ඉෂ්ඨවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප එලවන්නාවූ, ඇලුම් කටයුතු වූ, ස්පර්‍ශ ඇත්තාහ. ඉදින් මහණතෙම එය පතාද, එය ප්‍රියයයි කියයිද, එහි ගැලී සිටීද, එය පතන, එය ප්‍රියයයි කියන, එහි ගැලී සිටින ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු කලේ, එය උපාදාන කොට ඇත්තේ වෙයි. ගෘහපතිය, උපාදාන සහිතවූ මහණතෙම නොපිරිනිවෙයි. “ගෘහපතිය, මනෝවිඤ්ඤාණයෙන් දතයුතු වූ, ඉෂ්ඨවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප එලවන්නාවූ, ඇලුම් කටයුතු වූ, ධර්‍මයෝ ඇත්තාහ. ඉදින් මහණතෙම එය පතාද, එය ප්‍රියයයි කියයිද, එහි ගැලී සිටීද, එය පතන, එය ප්‍රියයයි කියන, එහි ගැලී සිටින ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු කලේ, එය උපාදාන කොට ඇත්තේ වෙයි. ගෘහපතිය, උපාදාන සහිතවූ මහණතෙම නොපිරිනිවෙයි. “ගෘහපතිය, යම් හෙයකින් මේ ලෝකයෙහි ඇතැම් සත්‍වයෝ මේ ආත්මයෙහිම නොපිරිනිවෙත්ද, මේ වනාහි එයට හේතුවේ. ප්‍රත්‍යය වේ.