1. 13. 6.
ඝෝසිත සූත්‍රය
129. එක් කලෙක්හි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ කොසඹෑනුවර ඝෝසිතාරාමයෙහි වාසය කරති. එකල්හි වනාහි ඝෝසිත නම් ගෘහපති තෙම ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ සමඟ සතුටු වූයේය. සතුටුවියයුතුවූ සිහිකටයුතුවූ කථාකොට නිමවා එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන්නාවූ ඝෝසිත නම් ගෘහපති තෙම ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට මෙය සැල කෙළේය. ස්වාමිනි, ආනන්‍ද ස්ථවිරයන් වහන්ස, "ධාතුනානාත්‍වය ධාතුනානාත්‍වය", යයි කියනු ලැබේ. ස්වාමිනි, කොපමණකින් භාග්‍යවතුන් වහන්සේ විසින් ධාතුනානාත්‍වය වදාරන ලද්දේද, යනුයි.
“ගෘහපතිය, චක්‍ෂු ධාතුවද ඇත්තේය. මන වඩන්නාවූ රූපයෝද ඇත්තාහ. චක්‍ඛු විඤ්ඤාණයද ඇත්තේය. සැප වේදනාවට කරුණුවූ ස්පර්‍ශය නිසා සැපවූ වේදනාවද උපදියි. ගෘහපතිය, චක්‍ෂු ධාතුවද ඇත්තේය. මන නොවඩන්නාවූ රූපයෝද ඇත්තාහ. චක්‍ඛු විඤ්ඤාණයද ඇත්තේය. දුක් වේදනාවට කරුණුවූ ස්පර්‍ශය නිසා දුක්වූ වේදනාවද උපදියි. ගෘහපතිය, චක්‍ෂු ධාතුවද ඇත්තේය. උපෙක්‍ෂාවට කරුණුවූ රූපයෝද ඇත්තාහ. චක්‍ඛු විඤ්ඤාණයද ඇත්තේය. දුක් ද නොවූ සැපද නොවූ වේදනාවට කරුණුවූ ස්පර්‍ශය නිසා දුක් ද නොවූ සැපද නොවූ වේදනාවද උපදියි.
“ගෘහපතිය, සෝත ධාතුවද ඇත්තේය. මන වඩන්නාවූ ශබ්දයෝද ඇත්තාහ. සෝතවිඤ්ඤාණයද ඇත්තේය. සැප වේදනාවට කරුණුවූ ස්පර්‍ශය නිසා සැපවූ වේදනාවද උපදියි. ගෘහපතිය, සෝත ධාතුවද ඇත්තේය. මන නොවඩන්නාවූ ශබ්දයෝද ඇත්තාහ. සෝත විඤ්ඤාණයද ඇත්තේය. දුක් වේදනාවට කරුණුවූ ස්පර්‍ශය නිසා දුක් වේදනාවද උපදියි. ගෘහපතිය, සෝත ධාතුවද ඇත්තේය. උපෙක්‍ෂාවට කරුණුවූ ශබ්දයෝද ඇත්තාහ. සෝත විඤ්ඤාණයද ඇත්තේය. දුක් ද නොවූ සැපද නොවූ වේදනාවට කරුණුවූ ස්පර්‍ශය නිසා දුක් ද නොවූ සැපද නොවූ වේදනාවද උපදියි. “ගෘහපතිය, ඝාණ ධාතුවද ඇත්තේය. මන වඩන්නාවූ ගන්‍ධයෝ ඇත්තාහ. ඝාණ විඤ්ඤාණයද ඇත්තේය. සැප වේදනාවට කරුණුවූ ස්පර්‍ශය නිසා සැපවූ වේදනාවද උපදියි. ගෘහපතිය, ඝාණ ධාතුවද ඇත්තේය. මන නොවඩන්නාවූ ගන්‍ධයෝද ඇත්තාහ. ඝාණ විඤ්ඤාණයද ඇත්තේය. දුක් වේදනාවට කරුණුවූ ස්පර්‍ශය නිසා දුක්වූ වේදනාවද උපදියි. ගෘහපතිය, ඝාණ ධාතුවද ඇත්තේය. උපෙක්‍ෂාවට කරුණුවූ ගන්‍ධයෝද ඇත්තාහ. ඝාණ විඤ්ඤාණයද ඇත්තේය. දුක් ද නොවූ සැපද නොවූ වේදනාවට කරුණුවූ ස්පර්‍ශය නිසා දුක් ද නොවූ සැපද නොවූ වේදනාවද උපදියි. “ගෘහපතිය, ජිව්හා ධාතුවද ඇත්තේය. මන වඩන්නාවූ රසයෝද ඇත්තාහ. ජිව්හා විඤ්ඤාණයද ඇත්තේය. සැප වේදනාවට කරුණුවූ ස්පර්‍ශය නිසා සැපවූ වේදනාවද උපදියි. ගෘහපතිය, ජිව්හා ධාතුවද ඇත්තේය. මන නොවඩන්නාවූ රසයෝද ඇත්තාහ. ජිව්හා විඤ්ඤාණයද ඇත්තේය. දුක් වේදනාවට කරුණුවූ ස්පර්‍ශය නිසා දුක්වූ වේදනාවද උපදියි. ගෘහපතිය, ජිව්හා ධාතුවද ඇත්තේය. උපෙක්‍ෂාවට කරුණුවූ රසයෝද ඇත්තාහ. ජිව්හා විඤ්ඤාණයද ඇත්තේය. දුක් ද නොවූ සැපද නොවූ වේදනාවට කරුණුවූ ස්පර්‍ශය නිසා දුක් ද නොවූ සැපද නොවූ වේදනාවද උපදියි.
“ගෘහපතිය, කාය ධාතුවද ඇත්තේය. මන වඩන්නාවූ ස්පර්‍ශයෝද ඇත්තාහ. කාය විඤ්ඤාණයද ඇත්තේය. සැප වේදනාවට කරුණුවූ ස්පර්‍ශය නිසා සැපවූ වේදනාවද උපදියි. ගෘහපතිය, කාය ධාතුවද ඇත්තේය. මන නොවඩන්නාවූ ස්පර්‍ශයෝද ඇත්තාහ. කාය විඤ්ඤාණයද ඇත්තේය. දුක් වේදනාවට කරුණුවූ ස්පර්‍ශය නිසා දුක්වූ වේදනාවද උපදියි. ගෘහපතිය, කාය ධාතුවද ඇත්තේය. උපෙක්‍ෂාවට කරුණුවූ ස්පර්‍ශයෝද ඇත්තාහ. කාය විඤ්ඤාණයද ඇත්තේය. දුක් ද නොවූ සැපද නොවූ වේදනාවට කරුණුවූ ස්පර්‍ශය නිසා දුක් ද නොවූ සැපද නොවූ වේදනාවද උපදියි. “ගෘහපතිය, මනෝ ධාතුවද ඇත්තේය. මන වඩන්නාවූ ධර්‍මයෝද ඇත්තාහ. මනෝ විඤ්ඤාණයද ඇත්තේය. සැප වේදනාවට කරුණුවූ ස්පර්‍ශය නිසා සැපවූ වේදනාවද උපදියි. ගෘහපතිය, මනෝ ධාතුවද ඇත්තේය. මන නොවඩන්නාවූ ධර්‍මයෝද ඇත්තාහ. මනෝ විඤ්ඤාණයද ඇත්තේය. දුක් වේදනාවට කරුණුවූ ස්පර්‍ශය නිසා දුක්වූ වේදනාවද උපදියි. ගෘහපතිය, මනෝ ධාතුවද ඇත්තේය. උපෙක්‍ෂාවට කරුණුවූ ධර්‍මයෝද ඇත්තාහ. මනෝ විඤ්ඤාණයද ඇත්තේය. දුක් ද නොවූ සැපද නොවූ වේදනාවට කරුණුවූ ස්පර්‍ශය නිසා දුක් ද නොවූ සැපද නොවූ වේදනාවද උපදියි. ගෘහපතිය මෙතෙකින් වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් ධාතූන්ගේ නානත්‍වය වදාරන ලදැයි, කීය.
1. 13. 7.
හාලිද්‌දිකානි සූත්‍රය
130. එක් කලෙක්හි ආයුෂ්මත් මහාකච්චාන ස්ථවිර තෙම අවන්තී රට කුරරඝරයෙහි පවතත නම් පර්‍වතයෙහි වාසය කරයි. එකල්හි වනාහි භාලිද්දකානි නම් ගෘහපති තෙම ආයුෂ්මත් මහාකච්චාන ස්ථවිර තෙම යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ මහාකච්චාන ස්ථවිරයන් වහන්සේ සමඟ සතුටු වූයේය. සතුටු වියයුතු සිහිකටයුතුවූ කථා කොට නිමවා එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ භාලිද්දකානි නම් ගෘහපති තෙම ආයුෂ්මත් මහාකච්චාන ස්ථවිරයන්ට මෙය සැල කෙළේය. “ස්වාමිනි, භාග්‍යවතුන් වහන්සේ විසින් ධාතූන්ගේ නානාත්‍වය නිසා ස්පර්‍ශයන්ගේ නානාත්‍වය උපදී, ස්පර්‍ශයන්ගේ නානාත්‍වය නිසා වේදනාවන්ගේ නානාත්‍වය උපදී යන මෙය වදාරන ලදී. ස්වාමිනි, කෙසේනම් ධාතූන්ගේ නානාත්‍වය නිසා ස්පර්‍ශයන්ගේ නානාත්‍වය උපදීද? සපර්‍ශයන්ගේ නානාත්‍වය නිසා වේදනාවන්ගේ නානාත්‍වය උපදීදැයි, (ඇසුයේය.)
“ගෘහපතිය, මේ ලෝකයෙහි භික්‍ෂුතෙම ඇසින් රූපයක් දැක මේ ආකාරයෙන් මෙය මන වඩන්නේයයි දැන ගනියි. චක්‍ඛු විඤ්ඤාණයද සැප වේදනාවට කරුණුවූ ස්පර්‍ශයද නිසා සැපවූ වේදනාවද උපදියි. ඇසින්ම රූපයක් දැක මේ ආකාරයෙන් මෙය මන නොවඩන්නේයයි දැනගනියි. චක්‍ඛු විඤ්ඤාණයද දුක් වේදනාවට කරුණුවූ ස්පර්‍ශයද නිසා දුක්වූ වේදනාව උපදියි. ඇසින්ම වනාහි රූපයක් දැක