1. 13. 5.
සොණ සූත්‍රය
128. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර කලන්දක නිවාප නම්වූ වේළුවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි සෝණ නම් ගෘහපති පුත්‍රතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ සෝණ නම් ගෘහපති පුත්‍රතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේය. “ස්වාමිනි, යම් හෙයකින් මේ ලෝකයෙහි ඇතැම් සත්‍වයෝ මේ ආත්මයෙහිම නොපිරිනිවෙත්ද, ඊට හේතු කවරේද, ප්‍රත්‍ය කවරේද, ස්වාමිනි යම් හෙයකින් මේ ලෝකයෙහි ඇතැම් සත්‍වයෝ මේ ආත්මයෙහිම පිරිනිවෙත්ද, ඊට හේතු කවරේද, ප්‍රත්‍යය කවරේද?, කියායි.
“ගෘහපතිය, චක්ඛු විඤ්ඤාණයෙන් දතයුතු වූ, ඉෂ්ඨවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප එලවන්නාවූ, ඇලුම් කටයුතු වූ, රූප ඇත්තාහ. ඉදින් මහණතෙම එය පතාද, එය ප්‍රියයයි කියයිද, එහි ගැලී සිටීද, එය පතන, එය ප්‍රියයයි කියන, එහි ගැලී සිටින ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු කලේ, එය උපාදාන කොට ඇත්තේ වෙයි. ගෘහපතිය, උපාදාන සහිතවූ මහණතෙම නොපිරිනිවෙයි.
“ගෘහපතිය, සෝතවිඤ්ඤාණයෙන් දතයුතු වූ, ඉෂ්ඨවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප එලවන්නාවූ, ඇලුම් කටයුතු වූ, ශබ්ද ඇත්තාහ. ඉදින් මහණතෙම එය පතාද, එය ප්‍රියයයි කියයිද, එහි ගැලී සිටීද, එය පතන, එය ප්‍රියයයි කියන, එහි ගැලී සිටින ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු කලේ, එය උපාදාන කොට ඇත්තේ වෙයි. ගෘහපතිය, උපාදාන සහිතවූ මහණතෙම නොපිරිනිවෙයි. “ගෘහපතිය, ඝාණ විඤ්ඤාණයෙන් දතයුතු වූ, ඉෂ්ඨවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප එලවන්නාවූ, ඇලුම් කටයුතු වූ, ගන්‍ධ ඇත්තාහ. ඉදින් මහණතෙම එය පතාද, එය ප්‍රියයයි කියයිද, එහි ගැලී සිටීද, එය පතන, එය ප්‍රියයයි කියන, එහි ගැලී සිටින ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු කලේ, එය උපාදාන කොට ඇත්තේ වෙයි. ගෘහපතිය, උපාදාන සහිතවූ මහණතෙම නොපිරිනිවෙයි. “ගෘහපතිය, ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතු වූ, ඉෂ්ඨවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප එලවන්නාවූ, ඇලුම් කටයුතු වූ, රස ඇත්තාහ. ඉදින් මහණතෙම එය පතාද, එය ප්‍රියයයි කියයිද, එහි ගැලී සිටීද, එය පතන, එය ප්‍රියයයි කියන, එහි ගැලී සිටින ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු කලේ, එය උපාදාන කොට ඇත්තේ වෙයි. ගෘහපතිය, උපාදාන සහිතවූ මහණතෙම නොපිරිනිවෙයි. “ගෘහපතිය, කාය විඤ්ඤාණයෙන් දතයුතු වූ, ඉෂ්ඨවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප එලවන්නාවූ, ඇලුම් කටයුතු වූ, ස්පර්‍ශ ඇත්තාහ. ඉදින් මහණතෙම එය පතාද, එය ප්‍රියයයි කියයිද, එහි ගැලී සිටීද, එය පතන, එය ප්‍රියයයි කියන, එහි ගැලී සිටින ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු කලේ, එය උපාදාන කොට ඇත්තේ වෙයි. ගෘහපතිය, උපාදාන සහිතවූ මහණතෙම නොපිරිනිවෙයි. “ගෘහපතිය, මනෝවිඤ්ඤාණයෙන් දතයුතු වූ, ඉෂ්ඨවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප එලවන්නාවූ, ඇලුම් කටයුතුවූ, ධර්‍මයෝ ඇත්තාහ. ඉදින් මහණතෙම එය පතාද, එය ප්‍රියයයි කියයිද, එහි ගැලී සිටීද, එය පතන, එය ප්‍රියයයි කියන, එහි ගැලී සිටින ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු කලේ, එය උපාදාන කොට ඇත්තේ වෙයි. ගෘහපතිය, උපාදාන සහිතවූ මහණතෙම නොපිරිනිවෙයි. “ගෘහපතිය, යම් හෙයකින් මේ ලෝකයෙහි ඇතැම් සත්‍වයෝ මේ ආත්මයෙහිම නොපිරිනිවෙත්ද, මේ වනාහි එයට හේතුවේ. ප්‍රත්‍යය වේ.
“ගෘහපතිය, චක්ඛුවිඤ්ඤාණයෙන් දතයුතු වූ, ඉෂ්ඨවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප එලවන්නාවූ, ඇලුම් කටයුතු වූ, රූපද ඇත්තාහ. ඉදින් මහණතෙම එය නොපතාද, එය ප්‍රියයයි නොකියාද, එහි ගැලී නොසිටීද, එය නොපතන්නාවූ, එය ප්‍රියයයි නොකියන්නාවූ, එහි ගැලී නොසිටින්නාවූ ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු නොකලේ, එය උපාදාන කොට නැත්තේ වේ. ගෘහපතිය, උපාදාන නැත්තාවූ මහණතෙම පිරිනිවෙයි.
“ගෘහපතිය, සෝත විඤ්ඤාණයෙන් දතයුතු වූ, ඉෂ්ඨවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප එලවන්නාවූ, ඇලුම් කටයුතු වූ, ශබ්ද ද ඇත්තාහ. ඉදින් මහණතෙම එය නොපතාද, එය ප්‍රියයයි නොකියාද, එහි ගැලී නොසිටීද, එය නොපතන්නාවූ, එය ප්‍රියයයි නොකියන්නාවූ, එහි ගැලී නොසිටින්නාවූ ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු නොකලේ, එය උපාදාන කොට නැත්තේ වේ. ගෘහපතිය, උපාදාන නැත්තාවූ මහණතෙම පිරිනිවෙයි. “ගෘහපතිය, ඝාණවිඤ්ඤාණයෙන් දතයුතු වූ, ඉෂ්ඨවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප එලවන්නාවූ, ඇලුම් කටයුතු වූ, ගන්‍ධ ද ඇත්තාහ. ඉදින් මහණතෙම එය නොපතාද, එය ප්‍රියයයි නොකියාද, එහි ගැලී නොසිටීද, එය නොපතන්නාවූ, එය ප්‍රියයයි නොකියන්නාවූ, එහි ගැලී නොසිටින්නාවූ ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු නොකලේ, එය උපාදාන කොට නැත්තේ වේ. ගෘහපතිය, උපාදාන නැත්තාවූ මහණතෙම පිරිනිවෙයි. “ගෘහපතිය, ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතු වූ, ඉෂ්ඨවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප එලවන්නාවූ, ඇලුම් කටයුතු වූ, රස ද ඇත්තාහ.ඉදින් මහණතෙම එය නොපතාද, එය ප්‍රියයයි නොකියාද, එහි ගැලී නොසිටීද, එය නොපතන්නාවූ, එය ප්‍රියයයි නොකියන්නාවූ, එහි ගැලී නොසිටින්නාවූ ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු නොකලේ, එය උපාදාන කොට නැත්තේ වේ. ගෘහපතිය, උපාදාන නැත්තාවූ මහණතෙම පිරිනිවෙයි. “ගෘහපතිය, කාය විඤ්ඤාණයෙන් දතයුතු වූ, ඉෂ්ඨවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප එලවන්නාවූ, ඇලුම් කටයුතු වූ, ස්පර්‍ශ ද ඇත්තාහ. ඉදින් මහණතෙම එය නොපතාද, එය ප්‍රියයයි නොකියාද, එහි ගැලී නොසිටීද, එය නොපතන්නාවූ, එය ප්‍රියයයි නොකියන්නාවූ, එහි ගැලී නොසිටින්නාවූ ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු නොකලේ, එය උපාදාන කොට නැත්තේ වේ. ගෘහපතිය, උපාදාන නැත්තාවූ මහණතෙම පිරිනිවෙයි. “ගෘහපතිය, මනෝවිඤ්ඤාණයෙන් දතයුතු වූ, ඉෂ්ඨවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප එලවන්නාවූ, ඇලුම් කටයුතු වූ, ධර්‍මයෝ ද ඇත්තාහ. ඉදින් මහණතෙම එය නොපතාද, එය ප්‍රියයයි නොකියාද, එහි ගැලී නොසිටීද, එය නොපතන්නාවූ, එය ප්‍රියයයි නොකියන්නාවූ, එහි ගැලී නොසිටින්නාවූ ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු නොකලේ, එය උපාදාන කොට නැත්තේ වේ. ගෘහපතිය, උපාදාන නැත්තාවූ මහණතෙම පිරිනිවෙයි. “ගෘහපතිය, යම් හෙයකින් මේ ලෝකයෙහි ඇතැම් සත්‍වයෝ මේ ආත්මයෙහිම පිරිනිවෙත්ද, මේ වනාහි එයට හේතුවේ. ප්‍රත්‍යය වේයයි වදාළේය.
1. 13. 6.
ඝෝසිත සූත්‍රය
129. එක් කලෙක්හි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ කොසඹෑනුවර ඝෝසිතාරාමයෙහි වාසය කරති. එකල්හි වනාහි ඝෝසිත නම් ගෘහපති තෙම ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ සමඟ සතුටු වූයේය. සතුටුවියයුතුවූ සිහිකටයුතුවූ කථාකොට නිමවා එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන්නාවූ ඝෝසිත නම් ගෘහපති තෙම ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට මෙය සැල කෙළේය. ස්වාමිනි, ආනන්‍ද ස්ථවිරයන් වහන්ස, "ධාතුනානාත්‍වය ධාතුනානාත්‍වය", යයි කියනු ලැබේ. ස්වාමිනි, කොපමණකින් භාග්‍යවතුන් වහන්සේ විසින් ධාතුනානාත්‍වය වදාරන ලද්දේද, යනුයි.