1. 13. 4.
භාරද්‌වාජ සූත්‍රය
127. එක් සමයෙක්හි ආයුෂ්මත් පිණ්ඩොල භාරද්වාජ ස්ථවිරයන් වහන්සේ කොසඹෑ නුවර ඝෝසිතාරාමයෙහි වැඩවසන සේක. එකල්හි උදේන නම් රජතෙම ආයුෂ්මත් පිණ්ඩොල භාරද්වාජ ස්ථවිරතෙම යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ ආයුෂ්මත් පිණ්ඩොල භාරද්වාජ ස්ථවිරයන් වහන්සේ සමඟ සතුටුවූයේය. සතුටුවියයුතුවූ සිහිකටයුතුවූ කථාව කොට නිමවා එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ උදේන නම් රජතෙම ආයුෂ්මත් පිණ්ඩොල භාරද්වාජ ස්ථවිරයන්ට මෙය සැල කෙළේය.
“භාරද්වාජ ස්ථවිරයන් වහන්ස, යම් හෙයකින් මේ තරුණවූ යෞවනවූ කළු හිසකේ ඇත්තා වූ යහපත් යෞවන භාවයෙන් යුක්තවූ ප්‍රථම වයසෙහි සිටියාවූ පඤ්චකාමයන්හි නොකළ ක්‍රීඩා ඇත්තාවූ භික්ෂූහු දිවිහිමියෙන් සම්පූර්‍ණකොට පිරිසිදු කොට බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙත් නම්, දිගුකලක් නොසිඳ පවත්වත් නම්, එයට හේතු කිමෙක්ද, ප්‍රත්‍යය කිමෙක්දැ යි, යනුයි.,
“මහරජ, සියල්ල දන්නා වූ ධර්‍මයන් දක්නාවූ අර්හත් වූ සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් ‘මහණෙනි, එව් තෙපි මව් පමණ ඇත්තියන් කෙරෙහි මව්ය යන සිත එලවව්. නැගණියන් පමණ ඇත්තියන් කෙරෙහි නැගණියන්ය යන සිත එලවව්. දියණියන් පමණ ඇත්තියන් කෙරෙහි දියණියන්ය යන සිත එලවව් යයි (උපදවව් යයි)’ මෙසේ වදාරණ ලදී. “මහරජ, යම් හෙයකින් මේ තරුණවූ යෞවනවූ කළු හිසකේ ඇත්තා වූ යහපත් යෞවන භාවයෙන් යුක්තවූ පළමුවන වයසින් යුක්තවූ පඤ්චකාමයන්හි නොකරනලද ක්‍රීඩා ඇත්තාවූ භික්‍ෂූහු දිවිහිමියෙන් සම්පූර්‍ණකොට පිරිසිදු කොට බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙත්ද, බොහෝ කාලයකුත් නොසිඳ පවත්වත්ද, මේ වනාහි ඒ හේතුව වේ, ප්‍රත්‍ය වේයයි, (කීයේය.)
“පින්වත් භාරද්වාජ ස්ථවිරයන් වහන්ස, හිත ලොල්ය. සමහරවිටක මව් සමාන ඇත්තියක් කෙරෙහිද ලෝභසිත් උපදිත්, නැගණියන් සමාන තැනැත්තියන් කෙරෙහිද ලෝභසිත් උපදිත්, දියණියන් සමාන තැනැත්තියන් කෙරෙහිද ලෝභසිත් උපදිත්. භාරද්වාජ ස්ථවිරයන් වහන්ස, යම් හේතුවකින් මේ තරුණවූ යෞවනවූ කළු හිසකේ ඇත්තා වූ යහපත් යෞවන භාවයෙන් යුක්තවූ පළමුවන වයසින් යුක්ත පඤ්චකාමයන්හි නොකරනලද ක්‍රීඩා ඇත්තාවූ භික්‍ෂූහු දිවිහිමියෙන් සම්පූර්‍ණකොට පිරිසිදු කොට බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙත්ද, බොහෝ කාලයකුත් නොසිඳ පවත්වත්ද, ඊට අනෙක් හේතුවකුත් ඇත්තේද, අනෙක් ප්‍රත්‍යයකුත් ඇත්තේද?,
“මහරජ, සියල්ල දන්නා වූ සියලු ධර්‍මයන් දක්නාවූ අර්හත් වූ සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් ‘ මහණෙනි, තෙපි එව් පාද තලයෙන් උඩ හිසකේ මතුයෙන් යට සම කෙළවරකොට ඇති අනේකප්‍රකාර අසූචියෙන් පිරුණාවූ මේ ශරීරයම සලකව්. මේ ශරීරයෙහි කෙස් ද, ලොම් ද, නියද, දත්ද, සමද, මසද, නහරද, ඇටද, ඇටමිදුලුද, වකුගඩුවද, හෘදයමාංශයද, අක්මාවද, දළබුවද, බඩදිවද, පපුවද, අතුණුද, අතුණුබහන්ද, නොපැසුණු ආහාරද, මළද, පිතද, සෙමද, සැරවද, ලේද, ඩහදියද, මේදයද, කඳුලුද, වුරුණු තෙල්ද, තෙලද, සොටුද, සඳමිදුලුද, මුත්‍රද, ඇත්තේයයි වදාරණ ලදී. “මහරජ, යම් හෙයකින් මේ තරුණවූ යෞවනවූ කළු හිසකේ ඇත්තා වූ භික්‍ෂූහු යහපත් යෞවන භාවයෙන් යුක්තවූ පළමුවන වයසින් යුක්තවූ පඤ්චකාමයන්හි නොකරනලද ක්‍රීඩා ඇත්තාවූ භික්‍ෂූහු දිවිහිමියෙන් සම්පූර්‍ණකොට පිරිසිදු කොට බ්‍රහ්යචර්‍ය්‍යාවෙහි හැසිරෙත්ද, බොහෝ කාලයකුත් නොසිඳ පවත්වත්ද, මේ වනාහි ඒ හේතුව වේ, ප්‍රත්‍ය වේයයි’ කීය.
පින්වත් භාරද්වාජ ස්ථවිරයන් වහන්ස, යම් ඒ භික්‍ෂූහු වඩන ලද කය ඇත්තාවූ වඩන ලද සිල් ඇත්තාවූ වඩන ලද සිත් ඇත්තාවූ වඩන ලද නුවණ ඇත්තෝ වෙත්ද, ඔවුන්ට එය දුෂ්කර නොවෙයි. භාරද්වාජ ස්ථවිරයන් වහන්ස, යම් ඒ භික්‍ෂූහු වනාහි නොවඩනා ලද කය ඇත්තාවූ නොවඩනා ලද සිල් ඇත්තාවූ නොවඩනා ලද සිත් ඇත්තාවූ නොවඩනා ලද නුවණ ඇත්තෝ වෙත්ද, ඔවුනට එය දුෂ්කර වේ. පින්වත් භාරද්වාජ ස්ථවිරයන් වහන්ස, සමහර කලෙක අසුභවශයෙන් මෙනෙහි කරන්නෙමුයි, සුභ වශයෙන්ම (මෙනෙහි කිරීමට) පැමිණෙයි. පින්වත් භාරද්වාජ ස්ථවිරයන් වහන්ස, යම් හෙයකින් මේ තරුණවූ යෞවනවූ කළු ඉසකේ ඇත්තා වූ භික්‍ෂූහු යහපත් යෞවන භාවයෙන් යුක්තවූ පළමුවන වයසින් යුක්ත වූ පඤ්චකාමයන්හි නොකරනලද ක්‍රීඩා ඇත්තාවූ භික්‍ෂූහු දිවිහිමියෙන් සම්පූර්‍ණකොට පිරිසිදු කොට බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙත්ද, බොහෝ කාලයකුත් නොසිඳ පවත්වත්ද, එයට අන්‍යවූ හේතුවකුත් අන්‍යවූ ප්‍රත්‍යකුත් ඇත්තේද?,
“මහරජ, සියල්ල දන්නා වූ සියලු ධර්‍මයන් දක්නාවූ අර්හත් වූ සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් ‘ මහණෙනි, තොපි එව්, ඉන්‍ද්‍රියයන්හි රක්නාලද දොරටු ඇත්තෝව වාසය කරව්. “ඇසින් රූපයක් දැක මහසටහන් වශයෙන් ගන්නෝ නොවව්. කුඩා සටහන් වශයෙන් ගන්නෝ නොවව්. යමක් හේතුකොටගෙන මේ චක්‍ඛු ඉන්‍ද්‍රියෙහි සංවර රහිතව වාසය කරන්නහුට ලෝභ ද්වේෂ යන ලාමක වූ අකුසල ධර්‍මයෝ ලුහුබඳනාහු නම් එය සංවර කිරීම පිණිස පිළිපදිව්. චක්‍ඛු ඉන්‍ද්‍රියය රකිව්. චක්‍ඛු ඉන්‍ද්‍රියෙහි සංවරයට පැමිණෙව්. “කනෙන් ශබ්දයක් අසා මහසටහන් වශයෙන් ගන්නෝ නොවව්. කුඩා සටහන් වශයෙන් ගන්නෝ නොවව්. යමක් හේතුකොටගෙන මේ සෝත ඉන්‍ද්‍රියෙහි සංවර රහිතව වාසය කරන්නහුට ලෝභ ද්වේෂ යන ලාමක වූ අකුසල ධර්‍මයෝ ලුහුබඳනාහු නම් එය සංවර කිරීම පිණිස පිළිපදිව්. සෝත ඉන්‍ද්‍රියය රකිව්. සෝත ඉන්‍ද්‍රියෙහි සංවරයට පැමිණෙව්. “නාසයෙන් ගන්‍ධයක් ආඝ්‍රාණයකොට මහසටහන් වශයෙන් ගන්නෝ නොවව්. කුඩා සටහන් වශයෙන් ගන්නෝ නොවව්. යමක් හේතුකොටගෙන මේ ඝාණ ඉන්‍ද්‍රියෙහි සංවර රහිතව වාසය කරන්නහුට ලෝභ ද්වේෂ යන ලාමක වූ අකුසල ධර්‍මයෝ ලුහුබඳනාහු නම් එය සංවර කිරීම පිණිස පිළිපදිව්. ඝාණ ඉන්‍ද්‍රියය රකිව්. ඝාණ ඉන්‍ද්‍රියෙහි සංවරයට පැමිණෙව්. “දිවෙන් රසයක් විඳ මහසටහන් වශයෙන් ගන්නෝ නොවව්. කුඩා සටහන් වශයෙන් ගන්නෝ නොවව්. යමක් හේතුකොටගෙන මේ ජිව්හා ඉන්‍ද්‍රියෙහි සංවර රහිතව වාසය කරන්නහුට ලෝභ ද්වේෂ යන ලාමක වූ අකුසල ධර්‍මයෝ ලුහුබඳනාහු නම් එය සංවර කිරීම පිණිස පිළිපදිව්. ජිව්හා ඉන්‍ද්‍රියය රකිව්. ජිව්හා ඉන්‍ද්‍රියෙහි සංවරයට පැමිණෙව්. “කයින් ස්පර්‍ශයක් කොට මහසටහන් වශයෙන් ගන්නෝ නොවව්. කුඩා සටහන් වශයෙන් ගන්නෝ නොවව්. යමක් හේතුකොටගෙන මේ කාය ඉන්‍ද්‍රියෙහි සංවර රහිතව වාසය කරන්නහුට ලෝභ ද්වේෂ යන ලාමක වූ අකුසල ධර්‍මයෝ ලුහුබඳනාහු නම් එය සංවර කිරීම පිණිස පිළිපදිව්. කාය ඉන්‍ද්‍රියය රකිව්. කාය ඉන්‍ද්‍රියෙහි සංවරයට පැමිණෙව්.