1. 11. 3.
දුක්‌ඛසමුදය සූත්‍රය
106. “මහණෙනි, දුක්ඛයාගේ හටගැනීමද, විනාශයද දේශනා කරන්නෙමි. එය අසව්. මහණෙනි, දුක්ඛයාගේ හටගැනීම කවරේද:
ඇසද රූපයද නිසා චක්ඛු විඤ්ඤාණය උපදියි. (ඒ) තිදෙනාගේ එක්වීම ඵස්සය වේ. ඵස්සය නිසා වේදනාව උපදියි. වේදනාව නිසා තණ්හාව උපදියි. මේ දුක්ඛයාගේ හටගැනීම වේ. කනද ශබ්දයද නිසා සෝත විඤ්ඤාණය උපදියි. (ඒ) තිදෙනාගේ එක්වීම ඵස්සය වේ. ඵස්සය නිසා වේදනාව උපදියි. වේදනාව නිසා තණ්හාව උපදියි. මේ දුක්ඛයාගේ හටගැනීම වේ. නාසයද ගන්‍ධයද නිසා ඝාණ විඤ්ඤාණය උපදියි. (ඒ) තිදෙනාගේ එක්වීම ඵස්සය වේ. ඵස්සය නිසා වේදනාව උපදියි. වේදනාව නිසා තණ්හාව උපදියි. මේ දුක්ඛයාගේ හටගැනීම වේ. දිවද රසයද නිසා ජිව්හා විඤ්ඤාණය උපදියි. (ඒ) තිදෙනාගේ එක්වීම ඵස්සය වේ. ඵස්සය නිසා වේදනාව උපදියි. වේදනාව නිසා තණ්හාව උපදියි. මේ දුක්ඛයාගේ හටගැනීම වේ. කයද ස්පර්‍ශයද නිසා කාය විඤ්ඤාණය උපදියි. (ඒ) තිදෙනාගේ එක්වීම ඵස්සය වේ. ඵස්සය නිසා වේදනාව උපදියි. වේදනාව නිසා තණ්හාව උපදියි. මේ දුක්ඛයාගේ හටගැනීම වේ. සිතනිසාද ධර්‍මයන් නිසාද මනෝ විඤ්ඤාණය උපදියි. (ඒ) තුන්දෙනාගේ එක්වීම ඵස්සය වේ. ඵස්සය නිසා වේදනාව වේ. වේදනාව නිසා තණ්හාව වේ. මහණෙනි, මේ වනාහි දුක්ඛයාගේ හටගැනීම වේ.
“මහණෙනි, දුක්ඛයාගේ විනාශය කවරේද යත්, ඇසද රූපද නිසා චක්ඛු විඤ්ඤාණය උපදියි. ඒ තුන්දෙනාගේ එක්වීම ඵස්සය වේ. ඵස්සය නිසා වේදනාව වේ. වේදනාව නිසා තණ්හාව වේ. ඒ තණ්හාව ඉතිරි නොකොට මාර්‍ගයෙන් නිරුද්ධ කිරීම හේතුකොටගෙන උපාදානයන්ගේ (තණ්හා දිට්ඨ මානයන්ගේ තදින් අල්වා ගැනීම) නිරෝධය වේ. උපාදාන නිරෝධයෙන් කර්‍මභවයාගේ නිරෝධය වේ. කර්‍ම භවයාගේ නිරෝධය වීමෙන් ජාති නිරෝධය වේ. (උත්පත්තිය නිරුද්ධවේ.) ජාති නිරෝධයෙන් ජරා මරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස යන මොහු නිරුද්ධවෙත් මෙසේ මේ සියළු දුක්ඛ සමූහයාගේ වැලැක්ම වේ. මේ දුක්ඛයාගේ විනාශය වේ.
කනද ශබ්දයද නිසා සෝත විඤ්ඤාණය උපදියි. (ඒ) තුන්දෙනාගේ එක්වීම ඵස්සය වේ. ඵස්සය නිසා වේදනාව වේ. වේදනාව නිසා තණ්හාව වේ. ඒ තණ්හාව ඉතිරි නොකොට මාර්‍ගයෙන් නිරුද්ධ කිරීම හේතුකොටගෙන උපාදානයන්ගේ (තණ්හා දිට්ඨ මානයන්ගේ තදින් අල්වා ගැනීම) නිරෝධය වේ. උපාදාන නිරෝධයෙන් කර්‍මභවයාගේ නිරෝධය වේ. කර්‍ම භවයාගේ නිරෝධය වීමෙන් ජාති නිරෝධය වේ. (උත්පත්තිය නිරුද්ධවේ.) ජාති නිරෝධයෙන් ජරා මරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස යන මොහු නිරුද්ධවෙත් මෙසේ මේ සියළු දුක්ඛ සමූහයාගේ වැලැක්ම වේ. මේ දුක්ඛයාගේ විනාශය වේ. නාසයද ගන්‍ධයද නිසා ඝාණ විඤ්ඤාණය උපදියි. (ඒ) තුන්දෙනාගේ එක්වීම ඵස්සය වේ. ඵස්සය නිසා වේදනාව වේ. වේදනාව නිසා තණ්හාව වේ. ඒ තණ්හාව ඉතිරි නොකොට මාර්‍ගයෙන් නිරුද්ධ කිරීම හේතුකොටගෙන උපාදානයන්ගේ (තණ්හා දිට්ඨ මානයන්ගේ තදින් අල්වා ගැනීම) නිරෝධය වේ. උපාදාන නිරෝධයෙන් කර්‍මභවයාගේ නිරෝධය වේ. කර්‍ම භවයාගේ නිරෝධය වීමෙන් ජාති නිරෝධය වේ. (උත්පත්තිය නිරුද්ධවේ.) ජාති නිරෝධයෙන් ජරා මරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස යන මොහු නිරුද්ධවෙත් මෙසේ මේ සියළු දුක්ඛ සමූහයාගේ වැලැක්ම වේ. මේ දුක්ඛයාගේ විනාශය වේ. දිවද රසයද නිසා ජිව්හා විඤ්ඤාණය උපදියි. (ඒ) තුන්දෙනාගේ එක්වීම ඵස්සය වේ. ඵස්සය නිසා වේදනාව වේ. වේදනාව නිසා තණ්හාව වේ. ඒ තණ්හාව ඉතිරි නොකොට මාර්‍ගයෙන් නිරුද්ධ කිරීම හේතුකොටගෙන උපාදානයන්ගේ (තණ්හා දිටඨ මානයන්ගේ තදින් අල්වා ගැනීම) නිරෝධය වේ. උපාදාන නිරෝධයෙන් කර්‍මභවයාගේ නිරෝධය වේ. කර්‍ම භවයාගේ නිරෝධය වීමෙන් ජාති නිරෝධය වේ. (උත්පත්තිය නිරුද්ධවේ.) ජාති නිරෝධයෙන් ජරා මරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස යන මොහු නිරුද්ධවෙත් මෙසේ මේ සියළු දුක්ඛ සමූහයාගේ වැලැක්ම වේ. මේ දුක්ඛයාගේ විනාශය වේ. කයද ස්පර්‍ශයද නිසා කාය විඤ්ඤාණය උපදියි. (ඒ) තුන්දෙනාගේ එක්වීම ඵස්සය වේ. ඵස්සය නිසා වේදනාව වේ. වේදනාව නිසා තණ්හාව වේ. ඒ තණ්හාව ඉතිරි නොකොට මාර්‍ගයෙන් නිරුද්ධ කිරීම හේතුකොටගෙන උපාදානයන්ගේ (තණ්හා දිටඨ මානයන්ගේ තදින් අල්වා ගැනීම) නිරෝධය වේ. උපාදාන නිරෝධයෙන් කර්‍මභවයාගේ නිරෝධය වේ. කර්‍ම භවයාගේ නිරෝධය වීමෙන් ජාති නිරෝධය වේ. (උත්පත්තිය නිරුද්ධවේ.) ජාති නිරෝධයෙන් ජරා මරණ සෝක පරිදේව දුක්ඛ දොමනස්ස උපායාස යන මොහු නිරුද්ධවෙත් මෙසේ මේ සියළු දුක්ඛ සමූහයාගේ වැලැක්ම වේ. මේ දුක්ඛයාගේ විනාශය වේ. සිතද ධර්‍මයන්ද නිසා මනෝ විඤ්ඤාණය උපදියි. ඒ තුන්දෙනාගේ එක්වීම ඵස්සය වේ. ඵස්සය නිසා වේදනාව වේ. වේදනාව නිසා තණ්හාව වේ. ඒ තණ්හාව ඉතිරි නොකොට මාර්‍ගයෙන් නිරුද්ධ කිරීම හේතුකොටගෙන උපාදානයන්ගේ (තණ්හා දිටඨ මානයන්ගේ තදින් අල්වා ගැනීම) නිරෝධය වේ. උපාදාන නිරෝධයෙන් කර්‍මභවයාගේ නිරෝධය වේ. කර්‍ම භවයාගේ නිරෝධය වීමෙන් ජාති නිරෝධය වේ. (උත්පත්තිය නිරුද්ධවේ.) ජාති නිරෝධයෙන් ජරා මරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස යන මොහු නිරුද්ධවෙත් මෙසේ මේ සියළු දුක්ඛ සමූහයාගේ වැලැක්ම වේ. මහණෙනි, මේ වනාහි දුක නැසීම වේයයි, (වදාළේය.)
1. 11. 4.
ලෝකසමුදය සූත්‍රය
107. “මහණෙනි, ලෝකයාගේ හටගැනීමද විනාශයද දේශනා කරන්නෙමි. එය අසව්. ‘මහණෙනි, ලෝකයාගේ හටගැනීම කවරේද යත්? ඇසද රූපයද නිසා චක්ඛු විඤ්ඤාණය උපදියි. ඒ තුන්දෙනාගේ එක්වීම ඵස්සය වේ. ඵස්සය නිසා වේදනාව වේ. වේදනාව නිසා තණ්හාව වේ. තණ්හාව නිසා උපාදානය (තදින් අල්වා ගැනීම) වේ. උපාදානය නිසා භවය වේ. භවය නිසා ජාතිය වේ. ජාතිය නිසා ජරා මරණ සෝක පරිදේව දුක් දොම්නස් උපායාස යන මොහු හටගනිත්. මහණෙනි, මේ වනාහි ලෝකයාගේ හටගැනීම වේ.
“කනද ශබ්දයද නිසා සෝත විඤ්ඤාණය උපදියි. ඒ තුන්දෙනාගේ එක්වීම ඵස්සය වේ. ඵස්සය නිසා වේදනාව වේ. වේදනාව නිසා තණ්හාව වේ. තණ්හාව නිසා උපාදානය (තදින් අල්වා ගැනීම) වේ. උපාදානය නිසා භවය වේ. භවය නිසා ජාතිය වේ. ජාතිය නිසා ජරා මරණ සෝක පරිදේව දුක් දොම්නස් උපායාස යන මොහු හටගනිත්. මහණෙනි, මේ වනාහි ලෝකයාගේ හටගැනීම වේ. “නාසයද ගන්‍ධයද නිසා ඝාණ විඤ්ඤාණය උපදියි. ඒ තුන්දෙනාගේ එක්වීම ඵස්සය වේ. ඵස්සය නිසා වේදනාව වේ. වේදනාව නිසා තණ්හාව වේ. තණ්හාව නිසා උපාදානය (තදින් අල්වා ගැනීම) වේ. උපාදානය නිසා භවය වේ. භවය නිසා ජාතිය වේ. ජාතිය නිසා ජරා මරණ සෝක පරිදේව දුක් දොම්නස් උපායාස යන මොහු හටගනිත්. මහණෙනි, මේ වනාහි ලෝකයාගේ හටගැනීම වේ. “දිවද රසද නිසා ජිව්හා විඤ්ඤාණය උපදියි. ඒ තුන්දෙනාගේ එක්වීම ඵස්සය වේ. ඵස්සය නිසා වේදනාව වේ. වේදනාව නිසා තණ්හාව වේ. තණ්හාව නිසා උපාදානය (තදින් අල්වා ගැනීම) වේ. උපාදානය නිසා භවය වේ. භවය නිසා ජාතිය වේ. ජාතිය නිසා ජරා මරණ සෝක පරිදේව දුක් දොම්නස් උපායාස යන මොහු හටගනිත්. මහණෙනි, මේ වනාහි ලෝකයාගේ හටගැනීම වේ. “කයද ස්පර්‍ශයද නිසා කාය විඤ්ඤාණය උපදියි. ඒ තුන්දෙනාගේ එක්වීම ඵස්සය වේ. ඵස්සය නිසා වේදනාව වේ. වේදනාව නිසා තණ්හාව වේ. තණ්හාව නිසා උපාදානය (තදින් අල්වා ගැනීම) වේ. උපාදානය නිසා භවය වේ. භවය නිසා ජාතිය වේ. ජාතිය නිසා ජරා මරණ සෝක පරිදේව දුක් දොම්නස් උපායාස යන මොහු හටගනිත්. මහණෙනි, මේ වනාහි ලෝකයාගේ හටගැනීම වේ. “සිතද ධර්‍මයන්ද නිසා මනෝ විඤ්ඤාණය උපදියි. ඒ තුන්දෙනාගේ එක්වීම ඵස්සය වේ. ඵස්සය නිසා වේදනාව වේ. වේදනාව නිසා තණ්හාව වේ. තණ්හාව නිසා උපාදානය (තදින් අල්වා ගැනීම) වේ. උපාදානය නිසා භවය වේ. භවය නිසා ජාතිය වේ. ජාතිය නිසා ජරා මරණ සෝක පරිදේව දුක් දොම්නස් උපායාස යන මොහු හටගනිත්. මහණෙනි, මේ වනාහි ලෝකයාගේ හටගැනීම වේ.
“මහණෙනි, ලෝකයාගේ විනාශය කෙසේදයත්? ඇසද රූපයන්ද නිසා චක්ඛු විඤ්ඤාණය හටගනී. ඒ තුන්දෙනාගේ එක්වීම ඵස්සය වේ. ඵස්සය නිසා වේදනාව වේ. වේදනාව නිසා තණ්හාව වේ. ඒ තණ්හාව ඉතිරි නොකොට මාර්‍ගයෙන් නිරුද්ධ කිරීමෙන් උපාදාන නිරෝධය වේ. මෙසේ මේ සියළු දුක් සමූහයාගේ නිරුද්ධ කිරීම වේ. මහණෙනි, මේ වනාහි ලෝකයාගේ විනාශය වේ.