11. යොගක්ඛෙමි වර්‍ගය
1. 11. 1.
යොගක්ඛෙමි සූත්‍රය
104. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ‘ස්වාමිනි’යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, සතර යෝගයන්ගෙන් පැමිණෙන භය දුරුවීමට කරුණුවූ ධර්‍මකාරණය තොපට දේශනා කරන්නෙමි. එය අසව්. මහණෙනි, සතර යෝගයන්ගෙන් පැමිණෙන භය දුරුවීමට කරුණුවූ ධර්‍මකාරණය කවරේද?
“මහණෙනි, චක්ඛු විඤ්ඤාණයෙන් දතයුතුවූ ඉෂ්ටවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සුව එලවන්නාවූ ඇලුම් කරන්නාවූ රූපයෝ ඇත්තාහ. ඒ රූපයෝ තථාගතයන් වහන්සේට ප්‍රහීණවූවාහු, සිඳිනලද මුල් ඇත්තාවූ, මස්තකය සිඳින ලද තල් ගසක් මෙන් කරන ලද්දාහු, විනාශ කරන ලද්දාහු, මත්තෙහි නූපදනා ස්වභාව ඇත්තාහු වෙත්. ඔවුන්ගේ පහකිරීම පිණිස යෙදීම වදාළේය. එහෙයින් තථාගතතෙම ‘යොගක්ඛෙමී’යයි කියනු ලැබේ.
“මහණෙනි, සෝත විඤ්ඤාණයෙන් දතයුතුවූ ඉෂ්ටවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සුව එලවන්නාවූ ඇලුම් කරන්නාවූ ශබ්දයෝ ඇත්තාහ. ඒ ශබ්දයෝ තථාගතයන් වහන්සේට ප්‍රහීණවූවාහු, සිඳිනලද මුල් ඇත්තාවූ, මස්තකය සිඳින ලද තල් ගසක් මෙන් කරන ලද්දාහු, විනාශ කරන ලද්දාහු, මත්තෙහි නූපදනා ස්වභාව ඇත්තාහු වෙත්. ඔවුන්ගේ පහකිරීම පිණිස යෙදීම වදාළේය. එහෙයින් තථාගතතෙම ‘යොගක්ඛෙමී’යයි කියනු ලැබේ. “මහණෙනි, ඝාණ විඤ්ඤාණයෙන් දතයුතුවූ ඉෂ්ටවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සුව එලවන්නාවූ ඇලුම් කරන්නාවූ ගන්‍ධයෝ ඇත්තාහ. ඒ ගන්‍ධයෝ තථාගතයන් වහන්සේට ප්‍රහීණවූවාහු, සිඳිනලද මුල් ඇත්තාවූ, මස්තකය සිඳින ලද තල් ගසක් මෙන් කරන ලද්දාහු, විනාශ කරන ලද්දාහු, මත්තෙහි නූපදනා ස්වභාව ඇත්තාහු වෙත්. ඔවුන්ගේ පහකිරීම පිණිස යෙදීම වදාළේය. එහෙයින් තථාගතතෙම ‘යොගක්ඛෙමී’යයි කියනු ලැබේ. “මහණෙනි, ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතුවූ ඉෂ්ටවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සුව එලවන්නාවූ ඇලුම් කරන්නාවූ රසයෝ ඇත්තාහ. ඒ රසයෝ තථාගතයන් වහන්සේට ප්‍රහීණවූවාහු, සිඳිනලද මුල් ඇත්තාවූ, මස්තකය සිඳින ලද තල් ගසක් මෙන් කරන ලද්දාහු, විනාශ කරන ලද්දාහු, මත්තෙහි නූපදනා ස්වභාව ඇත්තාහු වෙත්. ඔවුන්ගේ පහකිරීම පිණිස යෙදීම වදාළේය. එහෙයින් තථාගතතෙම ‘යොගක්ඛෙමී’ යයි කියනු ලැබේ. “මහණෙනි, කාය විඤ්ඤාණයෙන් දතයුතුවූ ඉෂ්ටවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සුව එලවන්නාවූ ඇලුම් කරන්නාවූ ස්පර්‍ශයෝ ඇත්තාහ. ඒ ස්පර්‍ශයෝ තථාගතයන් වහන්සේට ප්‍රහීණවූවාහු, සිඳිනලද මුල් ඇත්තාවූ, මස්තකය සිඳින ලද තල් ගසක් මෙන් කරන ලද්දාහු, විනාශ කරන ලද්දාහු, මත්තෙහි නූපදනා ස්වභාව ඇත්තාහු වෙත්. ඔවුන්ගේ පහකිරීම පිණිස යෙදීම වදාළේය. එහෙයින් තථාගතතෙම ‘යොගක්ඛෙමී’ යයි කියනු ලැබේ. “මහණෙනි, මනෝ විඤ්ඤාණයෙන් දතයුතුවූ ඉෂ්ටවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සුව එලවන්නාවූ ඇලුම් කරන්නාවූ ධර්‍මයෝ ඇත්තාහ. ඒ ධර්‍මයෝ තථාගතයන් වහන්සේට ප්‍රහීණවූවාහු, සිඳිනලද මුල් ඇත්තාවූ, මස්තකය සිඳින ලද තල් ගසක් මෙන් කරන ලද්දාහු, විනාශ කරන ලද්දාහු, මත්තෙහි නූපදනා ස්වභාව ඇත්තාහු වෙත්. ඔවුන්ගේ පහකිරීම පිණිස යෙදීම වදාළේය. එහෙයින් තථාගතතෙම ‘යොගක්ඛෙමී’ යයි කියනු ලැබේ. “මහණෙනි, මේ වනාහි සතර යෝගයන්ගෙන් පැමිණෙන භය දුරුකිරීම පිණිස පවත්නාවූ ධර්‍මකාරණය වේයයි වදාළ සේක.
1. 11. 2.
උපාදාය සූත්‍රය
105. “මහණෙනි, කුමක් ඇති කල්හි වනාහි කුමක් නිසා තමාතුළ සැප දුක් දෙක උපදීද?”
“ස්වාමීනි, අපගේ ධර්‍මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල්කොට ඇත්තාහු වෙත්. භාග්‍යවතුන් වහන්සේ අප ධර්‍මයන්ට පමුණුවන සේක. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණකොට ඇත්තේය. මේ අදහස භාග්‍යවතුන් වහන්සේටම වැටහෙන සේක්නම් ඉතා හොඳය. භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගෙන් අසා (එහි) අර්ථය දැනගන්නාහුයයි (කීහ.) මහණෙනි, එසේ වී නම් අසව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමි’යි වදාළ සේක. ‘එසේය ස්වාමීනි’යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, ඇස ඇති කල්හි, ඇස නිසා තමා තුළ සුවදුක් දෙක උපදියි. කන ඇති කල්හි, කන නිසා තමා තුළ සුවදුක් දෙක උපදියි. නාසය ඇති කල්හි, නාසය නිසා තමා තුළ සුවදුක් දෙක උපදියි. දිව ඇති කල්හි, දිව නිසා තමා තුළ සුවදුක් දෙක උපදියි. කය ඇති කල්හි, කය නිසා තමා තුළ සුවදුක් දෙක උපදියි. සිත ඇති කල්හි, සිත නිසා තමා තුළ සුවදුක් දෙක උපදියි.
“මහණෙනි, ඒ කුමකැයි හඟින්නෙහිද? ඇස නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය. “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුකය. “යමක් අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘ මමය මාගේයයි, නොගෙන තමාතුළ සුවදුක් දෙක උපදින්නේද?” - “ස්වාමීනි, එය නොවේමැයි.
“කන නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍ය වේ. “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුකය. “යමක් අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාව ඇත්තේද, එය ‘ මමය මාගේයයි, නොගෙන තමාතුළ සුවදුක් දෙක උපදින්නේද?” - “ස්වාමීනි, එය නොවේමැයි. “නාසය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය. “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුකය. “යමක් අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාව ඇත්තේද, එය ‘ මමය මාගේයයි, නොගෙන තමාතුළ සුවදුක් දෙක උපදින්නේද?” - “ස්වාමිනි, එය නොවේමැයි. “දිව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍ය වේ. “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුකය. “යමක් අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාව ඇත්තේද, එය ‘ මමය මාගේයයි, නොගෙන තමාතුළ සුවදුක් දෙක උපදින්නේද?” - “ස්වාමීනි, එය නොවේමැයි. “කය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍ය වේ. “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුකය. “යමක් අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාව ඇත්තේද, එය ‘ මමය මාගේයයි, නොගෙන තමාතුළ සුවදුක් දෙක උපදින්නේද?” - “ස්වාමීනි, එය නොවේමැයි. “සිත නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය., “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය. “යමක් අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාව ඇත්තේද, එය ‘ මමය මාගේයයි, නොගෙන තමාතුළ සුවදුක් දෙක උපදින්නේද?” - “ස්වාමීනි, එය නොවේමැයි.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම ඇස කෙරෙහිද කලකිරෙයි, කන කෙරෙහිද කලකිරෙයි, නාසය කෙරෙහිද කලකිරෙයි, දිව කෙරෙහිද කලකිරෙයි, කය කෙරෙහිද කලකිරෙයි, සිත කෙරෙහිද කලකිරෙයි, කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේය යන දැනීම වේ. ජාතිය ක්‍ෂය විය. බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි වැස නිමවන ලද්දේය. සතරමගින් කළයුත්ත කරනලදී. මේ ආත්මභාවය පිණිස කළ යුතු අනිකක් නැතැයි දැනගනීයයි, (වදාළ සේක.)
1. 11. 3.
දුක්‌ඛසමුදය සූත්‍රය
106. “මහණෙනි, දුක්ඛයාගේ හටගැනීමද, විනාශයද දේශනා කරන්නෙමි. එය අසව්. මහණෙනි, දුක්ඛයාගේ හටගැනීම කවරේද:
ඇසද රූපයද නිසා චක්ඛු විඤ්ඤාණය උපදියි. (ඒ) තිදෙනාගේ එක්වීම ඵස්සය වේ. ඵස්සය නිසා වේදනාව උපදියි. වේදනාව නිසා තණ්හාව උපදියි. මේ දුක්ඛයාගේ හටගැනීම වේ. කනද ශබ්දයද නිසා සෝත විඤ්ඤාණය උපදියි. (ඒ) තිදෙනාගේ එක්වීම ඵස්සය වේ. ඵස්සය නිසා වේදනාව උපදියි. වේදනාව නිසා තණ්හාව උපදියි. මේ දුක්ඛයාගේ හටගැනීම වේ. නාසයද ගන්‍ධයද නිසා ඝාණ විඤ්ඤාණය උපදියි. (ඒ) තිදෙනාගේ එක්වීම ඵස්සය වේ. ඵස්සය නිසා වේදනාව උපදියි. වේදනාව නිසා තණ්හාව උපදියි. මේ දුක්ඛයාගේ හටගැනීම වේ. දිවද රසයද නිසා ජිව්හා විඤ්ඤාණය උපදියි. (ඒ) තිදෙනාගේ එක්වීම ඵස්සය වේ. ඵස්සය නිසා වේදනාව උපදියි. වේදනාව නිසා තණ්හාව උපදියි. මේ දුක්ඛයාගේ හටගැනීම වේ. කයද ස්පර්‍ශයද නිසා කාය විඤ්ඤාණය උපදියි. (ඒ) තිදෙනාගේ එක්වීම ඵස්සය වේ. ඵස්සය නිසා වේදනාව උපදියි. වේදනාව නිසා තණ්හාව උපදියි. මේ දුක්ඛයාගේ හටගැනීම වේ. සිතනිසාද ධර්‍මයන් නිසාද මනෝ විඤ්ඤාණය උපදියි. (ඒ) තුන්දෙනාගේ එක්වීම ඵස්සය වේ. ඵස්සය නිසා වේදනාව වේ. වේදනාව නිසා තණ්හාව වේ. මහණෙනි, මේ වනාහි දුක්ඛයාගේ හටගැනීම වේ.