7. 1. 4.
උපෙක්ඛා සූත්‍රය
335. සැවැත්නුවරදීය:
ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙමේ... (පෙ)... “ඇවැත් ශාරිපුත්‍ර ස්ථවිරයෙනි, ඔබවහන්සේගේ ඉන්ද්‍රියයෝ ප්‍රසන්නයහ. මුහුණු වර්ණය පිරිසිදුය. අතිශයින්ම පිරිසිදුය. ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ අද කවර විහරණයකින් වාසය කළ සේක්ද?” යනුයි.
“ඇවැත්නි, මම මෙහි සැපයද දුරු කිරීමෙන්, දුකද දුරු කිරීමෙන්, පළමු කොටම සොම්නස් දොම්නස් දෙක නැති වීමෙන්, දුක් නැති සැප නැති, උපේක්ෂාවෙන් හා සිහියෙන් පිරිසිදු වූ සතරවන ධ්‍යානයට පැමිණ වාසය කරමි. ඇවැත්නි, ඒ මට ‘මම සතරවන ධ්‍යානයට සමවදිමි’ කියා හෝ ‘මම සතරවන ධ්‍යානයට සමවැදුණෙමි’ කියා හෝ ‘මම සතරවන ධ්‍යානයෙන් නැගී සිටියෙමි’ කියා හෝ මෙබඳු සිතක් නොවෙයි.”
7. 1. 5.
ආකාසානඤ්චායතන සූත්‍රය
336. සැවැත්නුවරදීය:
ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ ආයුෂ්මත් සාරිපුත්ත තෙරණුවන් දුර සිටම වඩිනු දුටුවාහුය. දැක, ආයුෂ්මත් සාරිපුත්ත තෙරණුවන්ට මෙසේ කීහ: “ඇවැත් සාරිපුත්තයෙනි, ඔබවහන්සේගේ ඉඳුරන් ඉතා පැහැදී ඇත. මුහුණේ පැහැය පිරිසිදුය, බබළයි. ආයුෂ්මත් සාරිපුත්තයන් අද කවර විහරණයකින් වාසය කළෝද?” “ඇවැත්නි, මෙහි මම සියලු ආකාරයෙන් රූප සංඥාවන් ඉක්මවීමෙන්, ගැටීම් ඇති (පටිඝ) සංඥාවන් නැති වීමෙන්, නා නා (නානත්ත) සංඥාවන් මෙනෙහි නොකිරීමෙන් ‘ආකාශය අනන්තයි’ කියා ආකාසානඤ්චායතනයට පැමිණ වාසය කරමි. ඇවැත්නි, ඒ මට ‘මම ආකාසානඤ්චායතනයට සමවදිමි’ කියා හෝ ‘මම ආකාසානඤ්චායතනයට සමවැදුණෙමි’ කියා හෝ ‘මම ආකාසානඤ්චායතනයෙන් නැගී සිටියෙමි’ කියා හෝ මෙබඳු සිතක් නොවෙයි.”
7. 1. 6.
විඤ්ඤාණඤ්චායතන සූත්‍රය
337. සැවැත්නුවරදීය:
ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ ආයුෂ්මත් සාරිපුත්ත තෙරණුවන් දුර සිටම වඩිනු දුටුවාහුය. දැක, ආයුෂ්මත් සාරිපුත්ත තෙරණුවන්ට මෙසේ කීහ: “ඇවැත් සාරිපුත්තයෙනි, ඔබවහන්සේගේ ඉඳුරන් ඉතා පැහැදී ඇත. මුහුණේ පැහැය පිරිසිදුය, බබළයි. ආයුෂ්මත් සාරිපුත්තයන් අද කවර විහරණයකින් වාසය කළෝද?” “ඇවැත්නි, මෙහි මම සියලු ආකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා ‘විඤ්ඤාණය අනන්තයි’ කියා විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වාසය කරමි. ඇවැත්නි, ඒ මට ‘මම විඤ්ඤාණඤ්චායතනයට සමවදිමි’ කියා හෝ ‘මම විඤ්ඤාණඤ්චායතනයට සමවැදුණෙමි’ කියා හෝ ‘මම විඤ්ඤාණඤ්චායතනයෙන් නැගී සිටියෙමි’ කියා හෝ මෙබඳු සිතක් නොවෙයි.”
7. 1. 7.
ආකිඤ්චඤ්ඤායතන සූත්‍රය
338. සැවැත්නුවරදීය:
එකල්හි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ (පෙ)... [3] “ඇවැත්නි, මම මෙහි සියලු ආකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වාසය කරමියි.” “ඇවැත්නි, ඒ මට ‘මම ආකිඤ්චඤ්ඤායතනයට සමවදිමියි කියා හෝ මම ආකිඤ්චඤ්ඤායතනයට සමවැදුනෙමි කියා හෝ, මම අකිඤ්චාඤ්ඤායතනයයෙන් නැගී සිටියෙමියි කියා හෝ, මෙබඳු සිතක්නොවේයයි’ කීහ. [4] “ඒ එසේමය, ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් විසින් බොහෝ කාලයක් මුළුල්ලෙහි ‘මම යන හැඟීම, මගේ යන හැඟීම’ මානය හා අනුශය ධර්ම සම්පූර්ණ වශයෙන් නසන ලදහ. එමනිසා ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට ‘මම ආකිඤ්චඤ්ඤායතනයට සම වදිමියි’ කියා හෝ “මම ආකිඤ්චඤ්ඤායතනයට සමවැදුණෙමියි’ කියා හෝ ‘මම ආකිඤ්චඤ්ඤායතනයෙන් නැඟී සිටියෙමි, කියා හෝ මෙබඳු සිතක් නොවේයයි” (ආනන්ද ස්ථවිරතෙමකීය.)
7. 1. 8.
නෙවසඤ්ඤා නාසඤ්ඤායතන සූත්‍රය
339. සැවැත්නුවරදීය:
එකල්හි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ (පෙ).
[3] “ඇවැත්නි, මම මෙහි ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වාසය කරමි. ඇවැත්නි, ඒ මට ‘මම නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවදිමියි කියා හෝ මම නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට සම වැදුනෙමි කියා හෝ, මම නෙවසඤ්ඤා නාසඤ්ඤායතනයෙන් නැඟී සිටියෙමියි කියා හෝ, මෙබඳුසිතක් නොවේයයි’ කීහ. [4] “ඒ එසේමය, ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් විසින් බොහෝ කාලයක් මුළුල්ලෙහි ‘මම යන හැඟීම, මගේ යන හැඟීම’ මානය හා අනුසය ධර්මයෝ සම්පූර්ණ වශයෙන් නසන ලදහ. එම නිසා ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට ‘මම නෙවසඤ්ඤා නාසඤ්ඤායතනයට සමවදිමියි’ කියා හෝ, ‘මම නෙවසඤ්ඤා නාසඤ්ඤායතනයට සම වැදුනෙමි’ කියා හෝ, ‘මම නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙන් නැඟී සිටියෙමි’ කියා හෝ මෙබඳු සිතක් නොවේයයි” (ආනන්ද ස්ථවිරතෙමකීය.)