7. ශාරීපුත්ත සංයුත්තය
1. ශාරිපුත්ත වර්ගය
7. 1. 1.
විවේකජ සූත්රය
332. සැවැත්නුවරදීය:
එක් කලෙක ආයුෂ්මත් ශාරිපුත්ර ස්ථවිරයන් වහන්සේ සැවැත්නුවරට නුදුරෙහිවූ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වාසය කරන සේක. එකල්හි ආයුෂ්මත් ශාරිපුත්ර ස්ථවිරයන් වහන්සේ උදය කාලයෙහි හැඳපොරවා පාත්ර සිවුරුගෙන සැවැත්නුවරට පිඬු පිණිස පැමිණියහ. සැවැත්නුවර පිඬු පිණිස හැසිර බතින් පසු පිණ්ඩපාතයෙන් හැරී එන්නේ අන්ධවනය යම් තැනකද එතැන්හි දවල් කාලය ගෙවීම පිණිස පැමිණියහ. අන්ධවනයට පැමිණ එක්තරා ගසක් මුල හුන්නේය. එකල්හි වනාහි ආයුෂ්මත් ශාරීපුත්ර ස්ථවිරයන් වහන්සේ සවස් කාලයෙහි විවේකයෙන් නැගී සිටියේ ජේතවන නම්වූ අනේපිඬු සිටුහුගේ ආරාමය යම් තැනකද එතැන්හි පැමිණියහ.
ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙමේ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් දුරදීම දැක්කේය. දැක, ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට මෙසේ කීය. “ඇවැත් ශාරිපුත්ර ස්ථවිරයෙනි, ඔබවහන්සේගේ ඉන්ද්රියයෝ ප්රසන්නයහ. මුහුණු වර්ණය පිරිසිදුය. අතිශයින්ම පිරිසිදුය. ආයුෂ්මත් ශාරිපුත්ර ස්ථවිරයන් වහන්සේ අද කවර විහරණයකින් වාසය කළ සේක්ද?” යනුයි.
ඇවැත්නි, මම මෙහි කාමයන්ගෙන් වෙන්ව අකුසල ධර්මයන්ගෙන් වෙන්ව විතර්ක සහිත විචාර සහිත විවේකයෙන් හටගත් ප්රීතිය හා සැපය ඇති ප්රථම ධ්යානයට පැමිණ වාසය කරමි. ඇවැත්නි, ඒ මට ‘මම ප්රථම ධ්යානයට සමවදිමියි, කියා හෝ, මම ප්රථම ධ්යානයට පැමිණියෙමි කියා හෝ, මම ප්රථම ධ්යානයෙන් නැගී සිටියෙමි කියා හෝ’ මෙබඳු සිතක් නොවේ”යයි කීහ.
“ඒ එසේමය, ආයුෂ්මත් ශාරිපුත්ර ස්ථවිරයන් විසින් බොහෝ කාලයක් මුළුල්ලෙහි ‘මම යන හැඟීම. මගේය යන හැඟීම’ මානය, හා අනුසය ධර්ම මැනවින් නසනලදහ. එබැවින් ආයුෂ්මත් ශාරිපුත්ර ස්ථවිරයන් වහන්සේට ‘මම ප්රථමධ්යානයට සමවදිමියි කියා, හෝ මම ප්රථම ධ්යානයට සමවැදුණේය කියා හෝ ‘මම ප්රථමධ්යානයෙන් නැඟීසිටියෙමියි’ කියා හෝ මෙබඳු සිතක් නොවේ”යයි (ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම කීය.)
7. 1. 2.
අවිතක්ක සූත්රය
333. සැවැත්නුවරදීය:
ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙමේ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් දුරදීම දැක්කේය. දැක, ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට මෙසේ කීය. “ඇවැත් ශාරිපුත්ර ස්ථවිරයෙනි, ඔබවහන්සේගේ ඉන්ද්රියයෝ ප්රසන්නයහ. මුහුණු වර්ණය පිරිසිදුය. අතිශයින්ම පිරිසිදුය. ආයුෂ්මත් ශාරිපුත්ර ස්ථවිරයන් වහන්සේ අද කවර විහරණයකින් වාසය කළ සේක්ද?” යනුයි.
“ඇවැත්නි, මෙහි මම විතර්ක විචාරයන් සන්සිඳීමෙන් ඇතුළත පැහැදීම ඇති සිතේ එකඟබව ඇති විතර්ක රහිත විචාර රහිත සමාධියෙන් හටගත් ප්රීතිය හා සැපය ඇති ද්විතීයධ්යානයට පැමිණ වාසය කරමි.
“ඇවැත්නි, ඒ මට මම ද්විතීයධ්යානයට සම වදිමියි කියා හෝ මම ද්විතීයධ්යානයට සමවැදුනෙමි කියා හෝ මම ද්විතීයධ්යානයෙන් නැගීසිටියෙමියි කියා හෝ’ මෙබඳු සිතක් නොවේයයි කීහ.
“ඒ එසේමය. ආයුෂ්මත් ශාරිපුත්ර ස්ථවිරයන් විසින් බොහෝ කාලයක් මුළුල්ලේ “මම යන හැඟීම, මගේ යන හැඟීම,’ මානය හා අනුසය ධර්ම සම්පූර්ණ වශයෙන් නසන ලදහ. එම නිසා ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට ‘මම ද්විතීය ධ්යානයට සමවදිමියි’ කියා හෝ ‘මම ද්විතීයධ්යානයට සමවැදුනෙමි’ කියා හෝ ‘මම ද්විතීයධ්යානයෙන් නැඟීසිටියෙමි’ කියා හෝ මෙබඳු සිතක් නොවේයයි” (ආනන්ද ස්ථවිරතෙම කීය.)
7. 1. 3.
පීති සූත්රය
334. සැවැත්නුවරදීය:
ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙමේ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් දුරදීම දැක්කේය... (පෙ)... ආයුෂ්මත් ශාරිපුත්ර ස්ථවිරයන් වහන්සේ අද කවර විහරණයකින් වාසය කළ සේක්ද?” යනුයි.
“ඇවැත්නි, මම මෙහි ප්රීතියේද නොඇල්මෙන් සිහි ඇත්තේ, මනා නුවණැත්තේව උපෙක්ෂාවෙන් යුක්තව වාසය කරමි. කයින් සැපයද විඳිමි. ආර්යයෝ යමෙකුට උපෙක්ෂා ඇත්තේ සිහි ඇත්තේ සැපවිහරණ ඇත්තේයයි කියත්ද ඒ තෘතීයධ්යානයට’ පැමිණ වාසය කරමි. ‘ඇවැත්නි, ඒ මට මම තෘතීයධ්යානයට සමවදිමියි කියා හෝ මම තෘතීයධ්යානයට සම වැදුනෙමි කියා හෝ මම තෘතීය ධ්යානයෙන් නැගීසිටියෙමි කියා හෝ’ මෙබඳු සිතක් නොවේ යයි කීහ. “ඒ එසේමය. ආයුෂ්මත් ශාරිපුත්ර ස්ථවිරයන් විසින් බොහෝ කාලයක් මුළුල්ලෙහි මම යන හැඟීම, මගේ යන හැඟීම,’ මානය හා අනුසය ධර්ම සම්පූර්ණ වශයෙන් නසන ලදහ. එම නිසා ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට ‘මම තෘතීය ධ්යානයට සමවදිමියි’ කියා හෝ ‘මම තෘතීයධ්යානයට සමවැදුණෙමි’ කියා හෝ ‘මම තෘතීයධ්යානයෙන් නැගීසිටියෙමි’ කියා හෝ මෙබඳු සිතක් නොවේයයි” (ආනන්ද ස්ථවිරතෙම කීය.)
7. 1. 4.
උපෙක්ඛා සූත්රය
335. සැවැත්නුවරදීය:
ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙමේ... (පෙ)... “ඇවැත් ශාරිපුත්ර ස්ථවිරයෙනි, ඔබවහන්සේගේ ඉන්ද්රියයෝ ප්රසන්නයහ. මුහුණු වර්ණය පිරිසිදුය. අතිශයින්ම පිරිසිදුය. ආයුෂ්මත් ශාරිපුත්ර ස්ථවිරයන් වහන්සේ අද කවර විහරණයකින් වාසය කළ සේක්ද?” යනුයි.