3. 3. 26.
අදුක්ඛමසුඛී අත්තා සූත්‍රය
275. සැවැත් නුවරදීය:
මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් උපාදානය කොට කුමක් වෙත එළඹ මෙසේ දෘෂ්ටි උපදීද: “මරණින් මතු ආත්මය නිදුක් වූයේ අදුක්ඛමසුඛී (දුක් නැත්තේද සැප නැත්තේද) වෙයි” කියායි.
ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහ -පෙ- .
මහණෙනි, රූපය ඇති කල්හි රූපය උපාදානය කොට, රූපය වෙත එළඹ මෙසේ දෘෂ්ටි උපදී: “මරණින් මතු ආත්මය නිදුක් වූයේ අදුක්ඛමසුඛී වෙයි” කියායි. වේදනාව ඇති කල්හි -පෙ- සංඥාව ඇති කල්හි -පෙ- සංස්කාර ඇති කල්හි -පෙ- විඤ්ඤාණය ඇති කල්හි විඤ්ඤාණය උපාදානය කොට විඤ්ඤාණය වෙත එළඹ මෙසේ දෘෂ්ටි උපදී: “මරණින් මතු ආත්මය නිදුක් වූයේ අදුක්ඛමසුඛී වෙයි” කියායි.
මහණෙනි, ඒ කුමක් යැයි සිතන්නහුද? රූපය නිත්‍ය හෝ වෙයිද අනිත්‍ය හෝ වෙයිද? -පෙ- විපරිණාම ධර්මයකි. එය උපාදානය නොකොට මෙසේ දෘෂ්ටි උපදින්නේද: “මරණින් මතු ආත්මය නිදුක් වූයේ අදුක්ඛමසුඛී වෙයි” කියායි.
ස්වාමීනි, මෙය නොවේම ය.
වේදනාව -පෙ- සංඥාව -පෙ- සංස්කාර -පෙ- විඤ්ඤාණය නිත්‍ය හෝ වෙයිද අනිත්‍ය හෝ වෙයිද? -පෙ- විපරිණාම ධර්මයකි. එය උපාදානය නොකොට මෙසේ දෘෂ්ටි උපදින්නේද: “මරණින් මතු ආත්මය නිදුක් වූයේ අදුක්ඛමසුඛී වෙයි” කියායි.
ස්වාමීනි, මෙය නොවේම ය.
[5] “මහණෙනි, යමක් අනිත්‍යද එය දුකකි. එය ඇති කල්හි එය නිසා, ‘මරණින් පසු නිරෝගීවූ දුක නුවූ සැපද නුවූ වෙයි’ යන මෙවැනි දෘෂ්ටියක් උපදියි.”
තුන්වෙනි පෙය්‍යාලය නිමි.
එහි උද්දානය:
වාත, එතං මම, සො අත්තා, නො ච මෙ සියා, නත්ථි, කරතො, හෙතු සහ මහාදිට්ඨ යන සූත්‍රයෙන් අටවැනිය වේ.
සස්සත, අසස්සත, අන්ත, අනන්ත, තං ජීවං තං සරීරං, අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරං සහ තථාගත සූත්‍ර සතරක් ද වේ.
රූපී අත්තා, අරූපී අත්තා, රූපී ච අරූපී ච අත්තා, නේව රූපී නාරූපී අත්තා යැයි ද,
ඒකාන්ත සුඛී අත්තා, ඒකාන්ත දුක්ඛී අත්තා, සුඛදුක්ඛී අත්තා, අදුක්ඛමසුඛී අත්තා යැයි තුන්වන වාරයෙහි මේ සූත්‍ර විසිහයක් මැනවින් දේශනා කරන ලදී.