4. සිව්වන ගමන වර්ගය
3. 4. 1-25.
1. වාත සූත්‍රය
276-300. [1] මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක.‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
[2] “මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් නිසා කුමකට පැමිණ ‘වාතයෝ නොහමත්. ගංගාවෝ ගලා නො බසිත්. ගර්භනීහු නොවදත් චන්ද්‍ර සූර්යයෝ උදානොවෙත්. නොබසිත්, ඉන්ද්‍ර ඛීලයක් මෙන් නිශ්චලව සිටිත්.’ යන මෙබඳු දෘෂ්ටිය උපදීද?
“ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ ප්‍රභවකොට ඇත්තාහ භාග්‍යවතුන් වහන්සේ පිහිටකොට ඇත්තාහ. ස්වාමීනි, මේ කීමේ අදහස භාග්‍යවතුන් වහන්සේ විසින්ම වදාරණසේක් නම් මැනවි.” “මහණෙනි, එසේනම් අසව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමැයි” කීහ. “ස්වාමීනි, එසේයයි,” ඒ භික්ෂූහු, භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
“මහණෙනි, රූපය ඇති කල්හි, රූපය ඇසුරු කොට, රූපයට පිවිස ‘වාතයෝ නොහමත්, ගංගාවෝ ගලා නොබසිත්, ගැබිනියෝ දරුවන් නොවදත්, සඳ හිරු උදා නොවෙත්, බැස නොයෙත්, ඉන්ද්‍රකීලයක් මෙන් නොසැලී සිටිත්’ යන මෙබඳු දෘෂ්ටියක් උපදියි. වේදනාව ඇති කල්හි, වේදනාව ඇසුරු කොට, වේදනාවට පිවිස -පෙ- සංඥාව ඇති කල්හි, සංඥාව ඇසුරු කොට, සංඥාවට පිවිස -පෙ- සංස්කාර ඇති කල්හි, සංස්කාර ඇසුරු කොට, සංස්කාරයන්ට පිවිස -පෙ- විඤ්ඤාණය ඇති කල්හි, විඤ්ඤාණය ඇසුරු කොට, විඤ්ඤාණයට පිවිස ‘වාතයෝ නොහමත් -පෙ- ඉන්ද්‍රකීලයක් මෙන් නොසැලී සිටිත්’ යන මෙබඳු දෘෂ්ටියක් උපදියි.”
[4] “මහණෙනි, කුමක් සිතන්නහුද? රූපය නිත්‍යයද අනිත්‍යද?” - “ස්වාමීනි, අනිත්‍යය.” “යමක් වනාහි අනිත්‍යයද එය දුක හෝ සැප හෝ වෙයිද?” - “ස්වාමීනි, දුකය.” “යමක් වනාහි අනිත්‍යයද, දුකද වෙනස්වන ස්වභාවද, ‘එය මාගේය, ඒ මම වෙමි. ඒ මාගේ ආත්මය’යි දැක්වීමට සුදුසුද”
-“ස්වාමීනි, එය නොවන්නේමය.”
“වේදනාව නිත්‍ය හෝ වේද? අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.” “යමක් වනාහි අනිත්‍යයද, එය දුක හෝ සැප හෝ වෙයිද?” - “ස්වාමීනි, දුකය.” “යමක් වනාහි අනිත්‍යයද, දුකද, වෙනස්වන ස්වභාවද, ‘එය මාගේය. ඒ මම වෙමි. ඒ මාගේ ආත්මයයි’ දැකීමට සුදුසුද?” -“ස්වාමීනි එය නොවන්නේමය” “සංඥාව නිත්‍ය හෝ වේද? අනිත්‍ය හෝ වෙයිද?” - “ස්වාමීනි, අනිත්‍යය.” “යමක් වනාහි අනිත්‍යයද, එය දුක හෝ සැප හෝ වෙයිද?” - “ස්වාමීනි, දුකය.” “යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාවද, ‘එය මාගේය. ඒ මම වෙමි. ඒ මාගේ ආත්මයයි’ දැකීමට සුදුසුද?” -“ස්වාමීනි, එය නොවන්නේමය.” “සංස්කාරය නිත්‍ය හෝ වේද? අනිත්‍ය හෝ වේද?” -“ස්වාමීනි අනිත්‍යය.” “යමක් වනාහි අනිත්‍යද, එය දුක හෝ සැප හෝ වෙයිද?” -“ස්වාමීනි, දුකය.” “යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාවද, ‘එය මාගේය. ඒ මම වෙමි. ඒ මාගේ ආත්මයයි’ දැකීමට සුදුසුද?” -“ස්වාමීනි, එය නොවන්නේමය.” “විඤ්ඤාණය නිත්‍යය හෝ වේද, අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය. “යමක්වනාහි අනිත්‍යයද, එය දුක හෝ වෙයිද? සැප හෝ වෙයිද?” - “ස්වාමීනි, දුකයි.” “යමක් වනාහි අනිත්‍යයද, දුකද, එය වෙනස්වන ස්වභාවද, ‘එය මාගේය. ඒ මම වෙමි. ඒ මාගේ ආත්මයයි’ දැකීමට සුදුසුද?”
- “ස්වාමීනි, එය නොවන්නේමය.”
“මහණෙනි, එහෙයින් මෙහි අතීත වූ හෝ අනාගත වූ හෝ වර්තමාන වූ හෝ, අධ්‍යාත්මික වූ හෝ බාහිර වූ හෝ, ගොරෝසු (ඔළාරික) වූ හෝ සියුම් වූ හෝ, හීන වූ හෝ උතුම් වූ හෝ, දුර වූ හෝ සමීප වූ හෝ යම් කිසි රූපයක් වේ ද, ‘එය මාගේ නොවේ, එය මම නොවෙමි, එය මාගේ ආත්මය නොවේ’ යි මෙසේ මෙය ඇති සැටියෙන් මනා නුවණින් දැක්ක යුතුයි. යම් කිසි වේදනාවක් -පෙ- යම් කිසි සංඥාවක් -පෙ- යම් කිසි සංස්කාර කෙනෙක් -පෙ- අතීත වූ හෝ අනාගත වූ හෝ වර්තමාන වූ හෝ යම් කිසි විඤ්ඤාණයක් වේ ද -පෙ- මනා නුවණින් දැක්ක යුතුයි.”
“මහණෙනි, මෙසේ දක්නා වූ, බොහෝ ඇසූ පිරූ තැන් ඇති ආර්ය ශ්‍රාවක තෙමේ රූපයෙහි ද කලකිරෙයි, වේදනාවෙහි ද කලකිරෙයි, සංඥාවෙහි ද කලකිරෙයි, සංස්කාරයන්හි ද කලකිරෙයි, විඤ්ඤාණයෙහි ද කලකිරෙයි. කලකිරුණේ නොඇලෙයි, නොඇලීමෙන් මිදෙයි. මිදුණු කල්හි මිදුණේය යන දැනීම ඇති වෙයි. ජාතිය ක්ෂය විය, බ්‍රහ්මචර්යාව වැස නිම කරන ලදී, කළ යුත්ත කරන ලදී, මේ බව පිණිස අනෙකක් නැතැයි දැනගනියි.”
(සූත්‍ර විසිපහ විස්තර කළ යුතුය.)
3. 4. 26.
අදුක්ඛමසුඛී අත්තා සූත්‍රය
301. සැවැත් නුවරදීය:
මහණෙනි, කුමක් ඇති කල්හි, කුමක් ඇසුරු කොට, කුමකට පිවිස “ආත්මය දුක් නැති සැප නැති (අදුක්ඛමසුඛී) වූයේ, මරණින් මතු නිරෝගී වෙයි” යන මෙබඳු දෘෂ්ටියක් උපදියි ද?
ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහ -පෙ-
මහණෙනි, රූපය ඇති කල්හි, රූපය ඇසුරු කොට, රූපයට පිවිස “ආත්මය දුක් නැති සැප නැති වූයේ, මරණින් මතු නිරෝගී වෙයි” යන මෙබඳු දෘෂ්ටියක් උපදියි.
වේදනාව ඇති කල්හි -පෙ- සංඥාව ඇති කල්හි -පෙ- සංස්කාර ඇති කල්හි -පෙ- විඤ්ඤාණය ඇති කල්හි, විඤ්ඤාණය ඇසුරු කොට, විඤ්ඤාණයට පිවිස “ආත්මය දුක් නැති සැප නැති වූයේ, මරණින් මතු නිරෝගී වෙයි” යන මෙබඳු දෘෂ්ටියක් උපදියි.
මහණෙනි, ඒ කුමක් යැයි සිතන්නහුද? රූපය නිත්‍ය හෝ වෙයිද අනිත්‍ය හෝ වෙයිද?
ස්වාමීනි, අනිත්‍යය. -පෙ- විපරිණාම ධර්මයකි. එය ‘මෙය මාගේය, මේ මම වෙමි, මේ මාගේ ආත්මය’යි දැකීමට සුදුසුද?
ස්වාමීනි, මෙය නොවේම ය.
වේදනාව -පෙ- සංඥාව -පෙ- සංස්කාර -පෙ- විඤ්ඤාණය නිත්‍ය හෝ වෙයිද අනිත්‍ය හෝ වෙයිද? -පෙ- විපරිණාම ධර්මයකි. එය ‘මෙය මාගේය, මේ මම වෙමි, මේ මාගේ ආත්මය’යි දැකීමට සුදුසුද?
ස්වාමීනි, මෙය නොවේම ය.
මහණෙනි, එහෙයින් මෙහි අතීත වූ හෝ අනාගත වූ හෝ වර්තමාන වූ හෝ යම් කිසි රූපයක් වේ ද -පෙ- එය මනා නුවණින් දැක්ක යුතුයි. යම් කිසි වේදනාවක් -පෙ- යම් කිසි සංඥාවක් -පෙ- යම් කිසි සංස්කාර කෙනෙක් -පෙ- අතීත වූ හෝ අනාගත වූ හෝ වර්තමාන වූ හෝ යම් කිසි විඤ්ඤාණයක් වේ ද -පෙ- එය මනා නුවණින් දැක්ක යුතුයි.
මහණෙනි, මෙසේ දක්නා වූ, බොහෝ ඇසූ පිරූ තැන් ඇති ආර්ය ශ්‍රාවක තෙමේ රූපයෙහි ද කලකිරෙයි, වේදනාවෙහි ද කලකිරෙයි, සංඥාවෙහි ද කලකිරෙයි, සංස්කාරයන්හි ද කලකිරෙයි, විඤ්ඤාණයෙහි ද කලකිරෙයි. කලකිරුණේ නොඇලෙයි, නොඇලීමෙන් මිදෙයි. මිදුණු කල්හි මිදුණේය යන දැනීම ඇති වෙයි. ජාතිය ක්ෂය විය, බ්‍රහ්මචර්යාව වැස නිම කරන ලදී, කළ යුත්ත කරන ලදී, මේ බව පිණිස අනෙකක් නැතැයි දැනගනියි.
සිව්වැනි ගමන වර්ගය සිව්වැනියි.