2. 4. 11.
සමුදයධම්ම සූත්‍රය
204. සැවැත්නුවරදී:
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ... එකත්පසෙක හුන් ආයුෂ්මත් රාධ භික්ෂුවට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක: රාධය, යම් ඒ හේතුවෙන් හටගන්නා ස්වභාවය ඇති ධර්මයක් වේද? එහි ඔබගේ කැමැත්ත දුරුකළ යුතුය. ඇල්ම දුරුකළ යුතුය. බලවත් ඇල්ම දුරුකළ යුතුය.
2. 4. 12.
නිරොධධම්ම සූත්‍රය
205. සැවැත්නුවරදී:
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ... එකත්පසෙක හුන් ආයුෂ්මත් රාධ භික්ෂුවට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක: රාධය, යම් ඒ නිරුද්ධවන ස්වභාවය ඇති ධර්මයක් වේද, එහි ඔබගේ කැමැත්ත දුරුකළ යුතුය. ඇල්ම දුරුකළ යුතුය. බලවත් ඇල්ම දුරුකළ යුතුය.
රාධය, නිරුද්ධවන ස්වභාවය ඇති ධර්මය නම් කවරේද? රාධය, රූපය නිරෝධ ධර්මයකි... වේදනාව... සඤ්ඤාව... සංස්කාරය... විඤ්ඤාණය නිරෝධ ධර්මයකි... රාධය, යම් ඒ නිරෝධ ධර්මයක් වේද? එහි ඔබගේ කැමැත්ත දුරුකළ යුතුය. ඇල්ම දුරුකළ යුතුය. බලවත් ඇල්ම දුරුකළ යුතුය.
හතරවෙනි උපනිසින්න වර්ගයයි.
සූත්‍ර නාමාවලිය:
මාර සූත්‍රය, මාර ධම්ම සූත්‍රය, අනිච්ච සූත්‍ර දෙක, දුක්ඛ සූත්‍ර දෙක, අනත්ත සූත්‍ර දෙක, ඛය ධම්ම සූත්‍රය, වය ධම්ම සූත්‍රය, සමුදයධම්ම සූත්‍රය සහ නිරෝධ ධම්ම සූත්‍රයදැයි මේ වර්ගයෙහි සූත්‍ර දොළසකි.
(මේ ආකාරයට මාර සූත්‍ර විස්තර කළ යුතුය, මේ ආකාරයට නිරෝධ ධර්මයෙන් වෙය්‍යාකරණ තිස් හයක් විස්තර කළ යුතුය. මෙසේ රාධ සංයුක්තයේ පිණ්ඩිතව වෙය්‍යාකරණ අනූ හතරක් වෙයි.)
රාධසංයුත්තං සමත්තං.
3. දිට්ඨි සංයුත්තය
1. සොයෙව පෙය්‍යාල වර්ගය
3. 1. 1.
1. වාත සූත්‍රය
206. [1] මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
[2] “මහණෙනි, වාතයෝ නොහමත්. ගංගාවෝ ගලා නොබසිත්, ගර්භනීහු නොවදත්. චන්ද්‍ර සූර්යයෝ උදානොවෙත්. නොබසිත්. ඉන්ද්‍ර ඛීලයක් මෙන් නිශ්චලව සිටිත් යන මෙබඳු දෘෂ්ටිය කුමක් ඇති කල්හි කුමක් නිසා කුමක් වැද්දගෙන උපදීද?
“ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල්කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ ප්‍රභවකොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ පිහිටකොට ඇත්තාහ. ස්වාමීනි මේ කීමේ අදහස භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ සේක් නම් මැනවි භාග්‍යවතුන් වහන්සේගෙන් අසා ඒ අර්ථය භික්ෂූහු දැනගන්නාහුය.
[3] “මහණෙනි, එසේ නම් අසව්. මනාකොට මෙනෙහි කරව් කියන්නෙ මැයි” කීය. “ස්වාමීනි, එසේයයි” ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේය, “මහණෙනි, රූපය ඇති කල්හි රූපය නිසා රූපයට පිවිස වාතයෝ නොහමත්. ගංගාවෝ ගලා නොබසිත්. ගර්භනීහු නොවදත්. චන්ද්‍ර සූර්යයෝ උදානොවෙත්. නොබසිත්. ඉන්ද්‍රඛීලය මෙන් නිසලව සිටිත් යන මෙබඳු දෘෂ්ටිය උපදිත්. වේදනාව ඇති කල්හි වේදනාව නිසා වේදනාවට පිවිස වාතයෝ නොහමත්, ගංගාවෝ ගලා නොබසිත්, ගර්භනීහු නොවදත්, චන්ද්‍ර සූර්යයෝ උදානොවෙත්, නොබසිත්, ඉන්ද්‍රඛීලය මෙන් නිසලව සිටිත් යන මෙබඳු දෘෂ්ටිය උපදයි. සංඥාව ඇතිකල්හි සංඥාව නිසා සංඥාවට පිවිස වාතය නොහමත්, ගංගාවෝ ගලා නොබසිත්, ගර්භනීහු නොවදත්, චන්ද්‍ර සූර්යයෝ උදානොවෙත්. නොබසිත්. ඉන්ද්‍රඛීලය මෙන් නිසලව සිටිත් යන මෙබඳු දෘෂ්ටිය උපදියි. සංස්කාරයන් ඇති කල්හි සංස්කාරයන් නිසා සංස්කාරයන්ට පිවිස වාතයෝ නොහමත්. ගංගාවෝ ගලා නොබසිත්. ගර්භනීහු නොවදත්. චන්ද්‍ර සූර්යයෝ උදානොවෙත්. නොබසිත්. ඉන්ද්‍රඛීලය මෙන් නිසලව සිටිත් යන මෙබඳු දෘෂ්ටිය උපදියි. විඥානය ඇති කල්හි විඥානය නිසා විඥානයට පිවිස වාතය නොහමත්, ගංගාවෝ ගලා නොබසිත්, ගර්භනීහු නොවදත්, චන්ද්‍ර සූර්යයෝ උදානොවෙත්. නොබසිත්. ඉන්ද්‍රඛීලය මෙන් නිසලව සිටිත් යන දෘෂ්ටිය උපදියි.
“මහණෙනි, ඒ කුමකැයි හඟිව්ද? රූපය නිත්‍ය හෝ වේද? අනිත්‍ය හෝ වේද?”
“ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක හෝ සැප හෝ වෙයිද?”
“ස්වාමීනි, දුකයි.”
[4] “යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාවද? ඒ රූපය නොගෙන වාතයෝ නොහමත්, ගංගාවෝ ගලා නොබසිත්. ගර්භනීහු නොවදත්, චන්ද්‍ර සූර්යයෝ උදානොවෙත්. නොබසිත්. ඉන්ද්‍රඛීලය මෙන් නිශ්චලව සිටිත් යන මේ දෘෂ්ටිය උපදින්නේද?”
“ස්වාමීනි, එය නොවන්නේමය.”
“වේදනාව නිත්‍ය හෝ වේද? අනිත්‍ය හෝ වේද? ... සංඥාව නිත්‍ය හෝ වේද? අනිත්‍යය හෝ වේද? ... සංස්කාර නිත්‍ය හෝ වේද? අනිත්‍ය හෝ වේද? ... විඥානය නිත්‍යය හෝ වෙයිද, අනිත්‍ය හෝ වෙයිද?”
“ස්වාමීනි, අනිත්‍යය.”