4. උපනිසින්න වර්ගය
2. 4. 1.
මාර සූත්‍රය
194. සැවැත්නුවරදී:
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරනසේක. එකල්හි ආයුෂ්මත් රාධ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද, එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන් ආයුෂ්මත් රාධ භික්ෂුවට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක: රාධය, යම් ඒ මාරයෙක් වේද, එහි ඔබගේ කැමැත්ත (ඡන්දය) දුරුකළ යුතුයි. රාගය දුරුකළ යුතුයි. ඡන්දරාගය දුරුකළ යුතුයි.
රාධය, මාරයා නම් කවරේද: රාධය, රූපය මාරයෙකි. එහි ඔබගේ කැමැත්ත දුරු කළ යුතුය. රාගය දුරු කළ යුතුය. ඡන්දරාගය දුරු කළ යුතුය. වේදනාව... සංඥාව... සංස්කාර... විඤ්ඤාණය මාරයෙකි. එහි ඔබගේ කැමැත්ත දුරු කළ යුතුයි. රාගය දුරුකළ යුතුයි. ඡන්දරාගය දුරුකළ යුතුයි. රාධය, යම් ඒ මාරයෙක් වේද, එහි ඔබගේ කැමැත්ත දුරුකළ යුතුයි. රාගය දුරුකළ යුතුයි. ඡන්දරාගය දුරුකළ යුතුයි.
2. 4. 2.
මාරධම්ම සූත්‍රය
195. සැවැත්නුවරදී:
මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ... එකත්පසෙක හුන් ආයුෂ්මත් රාධ භික්ෂුවට භාග්‍යවතුන් වහන්සේ මෙසේ කීය: රාධය, යම් ඒ මාර ධර්මයෙක් වෙයිද, එහි ඔබගේ කැමැත්ත දුරුකළ යුතුය. ඇල්ම දුරු කළ යුතුය. බලවත් ඇල්ම දුරුකළ යුතුය.
රාධය, මාර ධර්මය නම් කවරේද? රාධය, රූපය මාරධර්මයකි. එහි ඔබගේ කැමැත්ත දුරු කළ යුතුය. ඇල්ම දුරු කළ යුතුය. බලවත් ඇල්ම දුරු කළ යුතුය. වේදනාව... සංඥාව... සංස්කාර... විඤ්ඤාණය මාරධර්මයකි. එහි ඔබගේ කැමැත්ත දුරු කළ යුතුය. ඇල්ම දුරු කළ යුතුය. බලවත් ඇල්ම දුරුකළ යුතුය. රාධය, යම් ඒ මාර ධර්මයෙක් වෙයිද, එහි ඔබගේ කැමැත්ත දුරුකළ යුතුය. ඇල්ම දුරු කළ යුතුය. බලවත් ඇල්ම දුරුකළ යුතුය.
2. 4. 3.
අනිච්ච සූත්‍රය
196. සැවැත්නුවරදී:
මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ... එකත්පසෙක හුන් ආයුෂ්මත් රාධ භික්ෂුවට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක: රාධය, යමක් අනිත්‍යද? එහි ඔබගේ කැමැත්ත දුරු කළයුතුය. ඇල්ම දුරුකළ යුතුය. බලවත් ඇල්ම දුරු කළ යුතුය.
2. 4. 4.
අනිච්චධම්ම සූත්‍රය
197. සැවැත්නුවරදී:
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ... එක්පසෙක හිඳගත් රාධ භික්ෂුවට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක: රාධය, යම් ඒ අනිත්‍ය ධර්මයක් වේද, එහි ඔබගේ කැමැත්ත දුරුකළ යුතුයි. ඇල්ම දුරු කළ යුතුයි. බලවත් ඇල්ම දුරුකළ යුතුයි. රාධය, අනිත්‍ය ධර්මය නම් කවරේද? රූපය... විඤ්ඤාණය අනිත්‍ය ධර්මයකි. එහි ඔබගේ කැමැත්ත දුරු කළ යුතුය. ඇල්ම දුරු කළ යුතුය. බලවත් ඇල්ම දුරු කළ යුතුය.
2. 4. 5.
දුක්ඛ සූත්‍රය
198. සැවැත්නුවරදී:
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ... එකත්පසෙක හුන් ආයුෂ්මත් රාධ භික්ෂුවට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක: රාධය, යම් ඒ දුකක් වෙයිද, එහි ඔබගේ කැමැත්ත දුරුකළ යුතුය. ඇල්ම දුරුකළ යුතුය. බලවත් ඇල්ම දුරු කළ යුතුය.
2. 4. 6.
දුක්ඛධම්ම සූත්‍රය
199. සැවැත්නුවරදී:
මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ... එකත්පසෙක හුන් රාධ භික්ෂුවට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක: රාධය, යම් ඒ දුක්ඛ ධර්මයක් වෙයිද, එහි ඔබගේ කැමැත්ත දුරුකළ යුතුය. ඇල්ම දුරුකළ යුතුය. බලවත් ඇල්ම දුරුකළ යුතුය.
2. 4. 7.
අනත්ත සූත්‍රය
200. සැවැත්නුවරදී:
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ... එකත්පසෙක හුන් ආයුෂ්මත් රාධ භික්ෂුවට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක: රාධය, යම් ඒ අනාත්මයක් වෙයිද, එහි ඔබගේ කැමැත්ත දුරුකළ යුතුය. ඇල්ම දුරුකළ යුතුය. බලවත් ඇල්ම දුරුකළ යුතුය.
2. 4. 8.
අනත්තධම්ම සූත්‍රය
201. සැවැත්නුවරදී:
මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ... එකත්පසෙක හුන් ආයුෂ්මත් රාධ භික්ෂුවට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක: රාධය, යම් ඒ අනාත්ම ධර්මයක් වේද, එහි ඔබගේ කැමැත්ත දුරුකළ යුතුය. ඇල්ම දුරුකළ යුතුය. බලවත් ඇල්ම දුරුකළ යුතුය.
2. 4. 9.
ඛයධම්ම සූත්‍රය
202. සැවැත්නුවරදී:
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ... එකත්පසෙක හුන් ආයුෂ්මත් රාධ භික්ෂුවට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක: රාධය, යම් ඒ විනාශවන ස්වභාවය ඇත්තක් වේද? එහි ඔබගේ කැමැත්ත දුරුකළ යුතුය. ඇල්ම දුරුකළ යුතුය. බලවත් ඇල්ම දුරුකළ යුතුය.