2. 1. 2.
සත්ත සූත්‍රය
161. මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක.
එකල්හි ආයුෂ්මත් රාධ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හිඳගත්තේය. එකත්පසෙක හිඳගත් ආයුෂ්මත් රාධ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙය කීය. “ස්වාමීනි, සත්ත්වයා සත්ත්වයායයි කියනු ලැබේ. ස්වාමීනි, කෙතෙක් කරුණකින් සත්ත්වයායයි කියනු ලැබේද?”
“රාධය, රූපයෙහි යම් කැමැත්තක් යම් ඇල්මක් යම් සතුටක් යම් තෘෂ්ණාවක් වෙයිද එහි ඇළුනේ, විශේෂයෙන් ඇළුනේ වෙයිද එහෙයින් සත්ත්වයායයි කියනු ලැබේ. “වේදනාවෙහි යම් කැමැත්තක් යම් ඇල්මක් යම් සතුටක් යම් තෘෂ්ණාවක් වෙයිද එහි ඇළුනේ විශේෂයෙන් ඇළුනේ වෙයිද, එහෙයින් සත්ත්වයායයි කියනු ලැබේ. “සඤ්ඤාවෙහි යම් කැමැත්තක් යම් ඇල්මක් යම් සතුටක් යම් තෘෂ්ණාවක් වෙයිද එහි ඇළුනේ, විශේෂයෙන් ඇළුනේ වෙයිද එහෙයින් සත්ත්වයායයි කියනු ලැබේ. “සංස්කාරයන්හි යම් කැමැත්තක් යම් ඇල්මක් යම් සතුටක් යම් තෘෂ්ණාවක් වෙයිද එහි ඇළුනේ, විශේෂයෙන් ඇළුනේ වෙයිද එහෙයින් සත්ත්වයායයි කියනු ලැබේ. “විඤ්ඤාණයෙහි යම් කැමැත්තක්, යම් ඇල්මක්, යම් සතුටක්, යම් තෘෂ්ණාවක් වෙයිද, එහෙයින් සත්වයායයි කියනු ලැබේ.
“රාධය; යම්සේ මැටිවලින් කුඩා ගෙවල් සාදාගෙන සෙල්ලම් කරන කුඩා දරුවෝ හෝ දැරියෝ හෝ යම්තාක් ඒ මැටි ගෙවල්වලට පහනොවූ ආශාව ඇත්තෝ වෙත්ද, පහනොවූ කැමැත්ත ඇත්තාහු වෙත්ද, පහනොවූ ප්‍රේමය ඇත්තාහු වෙත්ද, පහනොවූ තෘෂ්ණා පිපාසය ඇත්තාහු වෙත්ද, පහනොවූ තෘෂ්ණා දාහය ඇත්තාහු වෙත්ද, පහනොවූ තෘෂ්ණා ඇත්තාහු වෙත්ද, ඒ තාක් ඒ මැටි ගෙවල් කෙරෙහි ඇලෙත්, ක්‍රීඩා කරත්, ධනයක් යයි සිතත්, මගේ මගේ යයි සිතත්.
“රාධය, යම් හෙයකින් ඒ දරුවෝ හෝ දැරියෝ හෝ මැටි ගෙවල්හි පහවූ රාග ඇත්තාහු වෙත්ද, පහවූ කැමැත්ත ඇත්තාහු වෙත්ද පහවූ ප්‍රේමය ඇත්තාහු වෙත්ද, පහවූ තෘෂ්ණා පිපාසය ඇත්තාහු වෙත්ද, පහවූ දාහය ඇත්තාහු වෙත්ද, පහවූ තෘෂ්ණා ඇත්තාහු වෙත්ද, එකල්හි ඒ මැටි ගෙවල් අත්වලින්ද, පාවලින්ද විසුරුවා දමත්. විනාශ කරත්, කඩා බිඳ දමත්. ක්‍රීඩාවට නුසුදුසුවූවක් කරත්.
“රාධය, එසේම තොපිද රූපය විසුරුවව්, විනාශ කරව්, කඩා බිඳ දමව්, ක්‍රීඩාවට නුසුදුසු වූවක් කරව්, තෘෂ්ණාවගේ විනාශය පිණිස පිළිපදිව්. “වේදනාව විසුරුවව්, විනාශ කරව්, කඩා බිඳ දමව්, ක්‍රීඩාවට නුසුදුසුවූවක් කරව්, තෘෂ්ණාවගේ විනාශය පිණිස පිළිපදිව්. “සඤ්ඤාව විසුරුවව්, විනාශ කරව්, කඩා බිඳ දමව්, ක්‍රීඩාවට නුසුදුසුවූවක් කරව්, තෘෂ්ණාවගේ විනාශය පිණිස පිළිපදිව්. “සංස්කාරයන් විසුරුවව්, විනාශ කරව්, කඩා බිඳ දමව්, ක්‍රීඩාවට නුසුදුසුවූවක් කරව්, තෘෂ්ණාවගේ විනාශය පිණිස පිළිපදිව්. “විඤ්ඤාණය විසුරුවව්, විනාශ කරව්, කඩා බිඳ දමව්, ක්‍රීඩාවට නුසුදුසුවූවක් කරව්, තෘෂ්ණාවගේ විනාශය පිණිස පිළිපදිව්.” රාධය, තෘෂ්ණාවගේ විනාශය නිර්වාණයයි වදාළේය.
2. 1. 3.
භවනෙත්ති සූත්‍රය
162. මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක.
එකල්හි ආයුෂ්මත් රාධ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හිඳගත්තේය. එකත්පසෙක හිඳගත් ආයුෂ්මත් රාධ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙය කීය. “ස්වාමීනි, භව රැහැන භව රැහැනයයි කියනු ලැබේ. ස්වාමීනි, භව රැහැන නම් කවරේද? භව රැහැන නැතිවීම නම් කවරේද?
“රාධය, රූපයෙහි වනාහි යම් කැමැත්තක් යම් ඇල්මක් යම් සතුටක් යම් තෘෂ්ණාවක් යම් පඤ්චස්කන්ධය පිළිබඳ දැඩි ගැන්මක් හෝ යම් දෙවැදෑරුම් උපාය සතර වැදෑරුම් උපාදාන අකුසල චිත්තයාගේ අධිෂ්ඨාන ඇලීම් අනුසයයෝ (රාග ද්වේෂ සිත්) වෙත්ද, මේ වනාහි භව රැහැන් යයි කියනු ලැබේ. ඔවුන්ගේ නිරුද්ධවීම භව රැහැන් නිරුද්ධවීම නම් වේ. “වේදනාවෙහි යම් කැමැත්තක් යම් ඇල්මක් යම් සතුටක් යම් තෘෂ්ණාවක් යම් පඤ්චස්කන්ධය පිළිබඳ දැඩි ගැන්මක් හෝ යම් දෙවැදෑරුම් උපාය සතර වැදෑරුම් උපාදාන අකුසල චිත්තයාගේ අධිෂ්ඨාන ඇලීම් අනුසයයෝ වෙත්ද, මේ වනාහි භවරැහැන්යයි කියනු ලැබේ. ඔවුන්ගේ නිරුද්ධවීම භව රැහැන් නිරුද්ධවීම නම් වේ. “සඤ්ඤාවෙහි යම් කැමැත්තක් යම් ඇල්මක් යම් සතුටක් යම් තෘෂ්ණාවක් යම් පඤ්චස්කන්ධය පිළිබඳ දැඩි ගැන්මක් හෝ යම් දෙවැදෑරුම් උපාය සතර වැදෑරුම් උපාදාන අකුසල චිත්තයාගේ අධිෂ්ඨාන ඇලීම් අනුසයයෝ වෙත්ද, මේ වනාහි භව රැහැන්යයි කියනු ලැබේ. ඔවුන්ගේ නිරුද්ධවීම භව රැහැන් නිරුද්ධවීම නම් වේ. “සංස්කාරයන්හි යම් කැමැත්තක් යම් ඇල්මක් යම් සතුටක් යම් තෘෂ්ණාවක් යම් පඤ්චස්කන්ධය පිළිබඳ දැඩි ගැන්මක් හෝ යම් දෙවැදෑරුම් උපාය සතර වැදෑරුම් උපාදාන අකුසල චිත්තයාගේ අධිෂ්ඨාන ඇලීම් අනුසයයෝ වෙත්ද, මේ වනාහි භවරැහැන්යයි කියනු ලැබේ. ඔවුන්ගේ නිරුද්ධවීම භව රැහැන් නිරුද්ධවීම නම් වේ. “විඤ්ඤාණයෙහි යම් කැමැත්තක්, යම් ඇල්මක්, යම් සතුටක්, යම් තෘෂ්ණාවක්, යම් පඤ්චස්කන්ධය පිළිබඳ දැඩි ගැන්මක් හෝ යම් දෙවැදෑරුම් උපාය සතර වැදෑරුම් උපාදාන අකුසල චිත්තයාගේ අධිෂ්ඨාන ඇලීම් අනුසයයෝ වෙත්ද, මේ වනාහි භවරැහැන්යයි කියනු ලැබේ. ඔවුන්ගේ නිරුද්ධවීම භව රැහැන් නිරුද්ධවීම නම් වේ.
2. 1. 4.
පරිඤ්ඤෙය්ය සුත්තං
163. මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක.
එකල්හි ආයුෂ්මත් රාධ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හිඳගත්තේය. එකත්පසෙක හුන් රාධ භික්ෂුවට භාග්‍යවතුන් වහන්සේට මෙසේ වදාළසේක. “රාධය, පිරිසිඳ දැනගත යුතුවූ පිරිසිඳ දැන ගැනීමද, පිරිසිඳ දැනගත් පුද්ගලයාද දේශනා කරන්නෙමි. “මහණෙනි, එසේ නම් අසව්, මනාකොට මෙනෙහි කරව්, කියන්නෙමැයි කීය. ස්වාමීනි, එසේයයි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක;
“රාධය, පිරිසිඳ දැනගත යුතුවූ ධර්මයෝ කවරහුද? රාධය රූපය පිරිසිඳ දැනගත යුතුවූ ධර්මයෙකි. වේදනාව පිරිසිඳ දැනගත යුතුවූ ධර්මයකි. සඤ්ඤාව පිරිසිඳ දැනගත යුතුවූ ධර්මයකි. සංස්කාරයෝ පිරිසිඳ දැනගත යුතුවූ ධර්මයකි. විඤ්ඤාණය පිරිසිඳ දැනගත යුතුවූ ධර්මයකි. රාධය, මේ පිරිසිඳ දැනගත යුතුවූ ධර්මයෝ යයි කියනු ලැබෙත්.
“රාධය, පිරිසිඳ දැනගැනීම කවරේද? රාධය, යම් රාගය ක්ෂය කිරීමක් යම් ද්වේෂය ක්ෂය කිරීමක් යම් මෝහය ක්ෂය කිරීමක් වෙයිද රාධය, මේ පිරිසිඳ දැනගැනීම යයි කියනු ලැබේ.
“පිරිසිඳ දැනගත් පුද්ගලයා කවරේද?
ඔහුට අර්හත් පුද්ගලයායයි කියයුතු වන්නේය. යම් ආයුෂ්මතෙක් මෙවැනි නම් ඇත්තේ මෙවැනි ගෝත්‍ර ඇත්තේ වේද, රාධය, මේ තෙම පිරිසිඳ දැනගත් පුද්ගලයායයි කියනු ලැබේ.”