2. 1. 3.
භවනෙත්ති සූත්රය
162. මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක.
එකල්හි ආයුෂ්මත් රාධ භික්ෂුව භාග්යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හිඳගත්තේය. එකත්පසෙක හිඳගත් ආයුෂ්මත් රාධ භික්ෂුව භාග්යවතුන් වහන්සේට මෙය කීය. “ස්වාමීනි, භව රැහැන භව රැහැනයයි කියනු ලැබේ. ස්වාමීනි, භව රැහැන නම් කවරේද? භව රැහැන නැතිවීම නම් කවරේද?
“රාධය, රූපයෙහි වනාහි යම් කැමැත්තක් යම් ඇල්මක් යම් සතුටක් යම් තෘෂ්ණාවක් යම් පඤ්චස්කන්ධය පිළිබඳ දැඩි ගැන්මක් හෝ යම් දෙවැදෑරුම් උපාය සතර වැදෑරුම් උපාදාන අකුසල චිත්තයාගේ අධිෂ්ඨාන ඇලීම් අනුසයයෝ (රාග ද්වේෂ සිත්) වෙත්ද, මේ වනාහි භව රැහැන් යයි කියනු ලැබේ. ඔවුන්ගේ නිරුද්ධවීම භව රැහැන් නිරුද්ධවීම නම් වේ. “වේදනාවෙහි යම් කැමැත්තක් යම් ඇල්මක් යම් සතුටක් යම් තෘෂ්ණාවක් යම් පඤ්චස්කන්ධය පිළිබඳ දැඩි ගැන්මක් හෝ යම් දෙවැදෑරුම් උපාය සතර වැදෑරුම් උපාදාන අකුසල චිත්තයාගේ අධිෂ්ඨාන ඇලීම් අනුසයයෝ වෙත්ද, මේ වනාහි භවරැහැන්යයි කියනු ලැබේ. ඔවුන්ගේ නිරුද්ධවීම භව රැහැන් නිරුද්ධවීම නම් වේ. “සඤ්ඤාවෙහි යම් කැමැත්තක් යම් ඇල්මක් යම් සතුටක් යම් තෘෂ්ණාවක් යම් පඤ්චස්කන්ධය පිළිබඳ දැඩි ගැන්මක් හෝ යම් දෙවැදෑරුම් උපාය සතර වැදෑරුම් උපාදාන අකුසල චිත්තයාගේ අධිෂ්ඨාන ඇලීම් අනුසයයෝ වෙත්ද, මේ වනාහි භව රැහැන්යයි කියනු ලැබේ. ඔවුන්ගේ නිරුද්ධවීම භව රැහැන් නිරුද්ධවීම නම් වේ. “සංස්කාරයන්හි යම් කැමැත්තක් යම් ඇල්මක් යම් සතුටක් යම් තෘෂ්ණාවක් යම් පඤ්චස්කන්ධය පිළිබඳ දැඩි ගැන්මක් හෝ යම් දෙවැදෑරුම් උපාය සතර වැදෑරුම් උපාදාන අකුසල චිත්තයාගේ අධිෂ්ඨාන ඇලීම් අනුසයයෝ වෙත්ද, මේ වනාහි භවරැහැන්යයි කියනු ලැබේ. ඔවුන්ගේ නිරුද්ධවීම භව රැහැන් නිරුද්ධවීම නම් වේ. “විඤ්ඤාණයෙහි යම් කැමැත්තක්, යම් ඇල්මක්, යම් සතුටක්, යම් තෘෂ්ණාවක්, යම් පඤ්චස්කන්ධය පිළිබඳ දැඩි ගැන්මක් හෝ යම් දෙවැදෑරුම් උපාය සතර වැදෑරුම් උපාදාන අකුසල චිත්තයාගේ අධිෂ්ඨාන ඇලීම් අනුසයයෝ වෙත්ද, මේ වනාහි භවරැහැන්යයි කියනු ලැබේ. ඔවුන්ගේ නිරුද්ධවීම භව රැහැන් නිරුද්ධවීම නම් වේ.
2. 1. 4.
පරිඤ්ඤෙය්ය සුත්තං
163. මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක.
එකල්හි ආයුෂ්මත් රාධ භික්ෂුව භාග්යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හිඳගත්තේය. එකත්පසෙක හුන් රාධ භික්ෂුවට භාග්යවතුන් වහන්සේට මෙසේ වදාළසේක. “රාධය, පිරිසිඳ දැනගත යුතුවූ පිරිසිඳ දැන ගැනීමද, පිරිසිඳ දැනගත් පුද්ගලයාද දේශනා කරන්නෙමි. “මහණෙනි, එසේ නම් අසව්, මනාකොට මෙනෙහි කරව්, කියන්නෙමැයි කීය. ස්වාමීනි, එසේයයි ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක;
“රාධය, පිරිසිඳ දැනගත යුතුවූ ධර්මයෝ කවරහුද? රාධය රූපය පිරිසිඳ දැනගත යුතුවූ ධර්මයෙකි. වේදනාව පිරිසිඳ දැනගත යුතුවූ ධර්මයකි. සඤ්ඤාව පිරිසිඳ දැනගත යුතුවූ ධර්මයකි. සංස්කාරයෝ පිරිසිඳ දැනගත යුතුවූ ධර්මයකි. විඤ්ඤාණය පිරිසිඳ දැනගත යුතුවූ ධර්මයකි. රාධය, මේ පිරිසිඳ දැනගත යුතුවූ ධර්මයෝ යයි කියනු ලැබෙත්.
“රාධය, පිරිසිඳ දැනගැනීම කවරේද? රාධය, යම් රාගය ක්ෂය කිරීමක් යම් ද්වේෂය ක්ෂය කිරීමක් යම් මෝහය ක්ෂය කිරීමක් වෙයිද රාධය, මේ පිරිසිඳ දැනගැනීම යයි කියනු ලැබේ.
“පිරිසිඳ දැනගත් පුද්ගලයා කවරේද?
ඔහුට අර්හත් පුද්ගලයායයි කියයුතු වන්නේය. යම් ආයුෂ්මතෙක් මෙවැනි නම් ඇත්තේ මෙවැනි ගෝත්ර ඇත්තේ වේද, රාධය, මේ තෙම පිරිසිඳ දැනගත් පුද්ගලයායයි කියනු ලැබේ.”
2. 1. 5.
සමණ සුත්තං
164. මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක.
එකල්හි ආයුෂ්මත් රාධ භික්ෂුව භාග්යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හිඳගත්තේය. එකත්පසෙක හිඳගත් රාධ භික්ෂුවට භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළසේක. “රාධය, උපාදානස්කන්ධයෝ පස්දෙනෙක් වෙති. ඒ පස කවරේද? එනම්, රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය සංස්කාර උපාදානස්කන්ධය, විඤ්ඤාණ උපාදානස්කන්ධය යනුයි. “රාධය, යම්කිසි ශ්රමණකෙනෙක් හෝ බ්රාහ්මණ කෙනෙක් හෝ මේ පංච උපාදානස්කන්ධයන්ගේ ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද තත්වූ පරිදි නොදනිත්ද, රාධය, ඒ ශ්රමණයෝ හෝ බ්රාහ්මණයෝ මාගේ ශ්රමණයන් අතරෙහි හෝ ශ්රමණයයි සම්මත නොවූවාහුය. බ්රාහ්මණයන් අතරෙහි හෝ බ්රාහ්මණ යයි සම්මත නොවූවාහුය. “ඒ ආයුෂ්මත්හු ශ්රමණ භාවයේ අර්ථය හෝ බ්රාහ්මණභාවයේ අර්ථය හෝ මෙලොවදීම තෙමේ විශේෂ නුවණින් ප්රත්යක්ෂකොට ඊට පැමිණ වාසය නොකරත්.
“රාධය, යම් ශ්රමණකෙනෙක් හෝ බ්රාහ්මණකෙනෙක් හෝ මේ පංච උපාදානස්කන්ධයන්ගේ ආශ්වාදයද, ආදීනවයද නිස්සරණයද තත්වූ පරිදි දනිත්ද, රාධය, ඒ ශ්රමණයෝ හෝ බ්රාහ්මණයෝ මාගේ ශ්රමණයන් අතුරෙහි හෝ ශ්රමණයයි සම්මත වූවාහුය. බ්රාහ්මණයන් අතුරෙහි හෝ බ්රාහ්මණයයි සම්මත වූවාහුය. “ඒ ආයුෂ්මත්හු ශ්රමණ භාවයේ අර්ථය හෝ බ්රාහ්මණභාවයේ අර්ථය හෝ මෙලොවදීම තෙමේ විශේෂ නුවණින් ප්රත්යක්ෂකොට ඊට පැමිණ වාසය කරත්යයි” වදාළේය.
2. 1. 6.
දුතිය සමණ සුත්තං
165. මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක.
එකල්හි ආයුෂ්මත් රාධ භික්ෂුව භාග්යවතුන් වහන්සේ යම් තැනකද එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හිඳගත්තේය. එකත්පසෙක හුන් රාධ භික්ෂුවට භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළසේක. “රාධය, උපාදානස්කන්ධයෝ පස්දෙනෙක් වෙති. ඒ පස කවරේද? එනම්, රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය සංස්කාර උපාදානස්කන්ධය, විඤ්ඤාණ උපාදානස්කන්ධය,” යනුයි.” “රාධය, යම් ශ්රමණ කෙනෙක් හෝ බ්රාහ්මණ කෙනෙක් හෝ මේ පංච උපාදානස්කන්ධයන්ගේ හටගැනීමද, විනාශවීමද, ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද තත්වූ පරිදි නො දනිත්ද, රාධය, ඒ ශ්රමණයෝ හෝ බ්රාහ්මණයෝ මාගේ ශ්රමණයන් අතුරෙහි හෝ ශ්රමණයයි සම්මත නොවූවාහුය. බ්රාහ්මණයන් අතුරෙහි හෝ බ්රාහ්මණයයි සම්මත නොවූවාහුය. “ඒ ආයුෂ්මත්හු ශ්රමණ භාවයේ අර්ථය හෝ බ්රාහ්මණභාවයේ අර්ථය හෝ හෙතෙම යහපත් නුවණින් දැන ප්රත්යක්ෂකොට වාසය නොකරත්යයි” වදාළේය.
2. 1. 7.
සොතාපන්න සුත්තං
166. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක.
එකල්හි ආයුෂ්මත් රාධ භික්ෂුව භාග්යවතුන් වහන්සේ යම් තැනකද එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හිඳගත්තේය. එකත්පසෙක හුන් ආයුෂ්මත් රාධ භික්ෂුවට භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළසේක. “රාධය, උපාදානස්කන්ධයෝ පස් දෙනෙක් වෙති. ඒ කවරේද? එනම්, රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඤ්ඤාණ උපාදානස්කන්ධය යනුයි.
“රාධය, යම් හෙයකින් ආර්ය ශ්රාවකතෙමේ මේ පංච උපාදානස්කන්ධයන්ගේ හටගැනීමද, විනාශවීමද, ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද, තත්වූ පරිදි දනීද, රාධය, මේ ආර්ය ශ්රාවකතෙමේ සෝවාන්වූයේ දුගතියට නොපැමිණීම ස්වාභාව කොට ඇති අර්හත් ඵලයට නියතවූ අර්හත් ඵලය පිහිට කොට ඇති පුද්ගලයායි කියනු ලැබේ.”