1. 3. 3. 3.
3. සමුදය ධම්ම සූත්‍රය
128. බාරාණසියං:
128. මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයක ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝද, ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝද බරණැස මිගදාය නම් ලත් ඉසිපතනාරාමයෙහි වාසය කෙරෙත්. එකල්හි වනාහි ආයුෂ්මත් මහාකොට්ඨිත ස්ථවිරයන් වහන්සේ සවස් කාලයෙහි විවේක සැපයෙන් නැඟී සිටියේ ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ යම් තැනෙකද, එතැන්හි පැමිණියහ. පැමිණ, ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් හා සමග සතුටු විය. සතුටු විය යුතුවූත් සිහි කටයුතු වූත් කථාවකොට නිමවා එක්පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවූ ආයුෂ්මත් මහාකොට්ඨිත ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් සැරියුත් තෙරුන්ට මේ කාරණය කීහ: “ඇවැත් සැරියුත් තෙරණුවනි, විද්‍යාවය විද්‍යාවයයි කියනු ලැබේ. ඇවැත්නි, විද්‍යාව කවරේද? කොපමණකින් විද්‍යාවට පැමිණියේ වේද?”යනුයි.
“ඇවැත්නි, මේ සාසනයෙහි (බොහෝ ඇසූ පිරූ තැන් ඇති) ශ්‍රැතවත් ආර්යශ්‍රාවක තෙමේ හටගැනීම ස්වභාවකොට ඇති රූපය හටගැනීම ස්වභාවකොට ඇති රූපයයයි ඇති සැටි දනියිද, නැතිවීම ස්වභාවකොට ඇති රූපය නැතිවීම ස්වභාවකොට ඇති රූපයයි ඇතිසැටි දනියිද, හටගැනීම හා නැතිවීම ස්වභාවකොට ඇති රූපය හටගැනීම හා නැතිවීම ස්වභාවකොට ඇති රූපයයි ඇතිසැටි දනියිද, “හටගැනීම ස්වභාවකොට ඇති වේදනාව හටගැනීම ස්වභාවකොට ඇති වේදනාවයයි ඇතිසැටි දනියිද, නැතිවීම ස්වභාවකොට ඇති වේදනාව නැතිවීම ස්වභාවකොට ඇති වේදනාවයයි ඇතිසැටි දනියිද, හටගැනීම හා නැතිවීම ස්වභාවකොට ඇති වේදනාව හටගැනීම හා නැතිවීම ස්වභාව කොට ඇති වේදනාවයයි ඇතිසැටි දනියිද, “හටගැනීම ස්වභාවකොට ඇති සංඥාව හටගැනීම ස්වභාවකොට ඇති සංඥාවයයි ඇතිසැටි දනියිද, නැතිවීම ස්වභාවකොට ඇති සංඥාව නැතිවීම ස්වභාවකොට ඇති සංඥාවයයි ඇතිසැටි දනියිද, හටගැනීම හා නැතිවීම ස්වභාව කොට ඇති සංඥාව හටගැනීම හා නැතිවීම ස්වභාවකොට ඇති සංඥාවයයි ඇතිසැටි දනියිද, “හටගැනීම ස්වභාවකොට ඇති සංස්කාරයන් හටගැනීම ස්වභාවකොට ඇති සංස්කාරයන්යයි ඇතිසැටි දනියිද, නැති වීම ස්වභාවකොට ඇති සංස්කාරයන් නැතිවීම ස්වභාවකොට ඇති සංස්කාරයන්යයි ඇතිසැටි දනියිද, හටගැනීම හා නැති වීම ස්වභාවකොට ඇති සංස්කාරයන් හටගැනීම හා නැතිවීම ස්වභාවකොට ඇති සංස්කාරයන්යයි ඇතිසැටි දනියිද, ‘හටගැනීම ස්වභාවකොට ඇති විඤ්ඤාණය හටගැනීම ස්වභාවකොට ඇති විඤ්ඤාණයයි ඇතිසැටි දනියිද, නැතිවීම ස්වභාවකොට ඇති විඤ්ඤාණය නැතිවීම ස්වභාවකොට ඇති විඤ්ඤාණයයි ඇතිසැටි දනියිද, හටගැනීම හා නැතිවීම ස්වභාවකොට ඇති විඤ්ඤාණය හටගැනීම හා නැතිවීම ස්වභාවකොට ඇති විඤ්ඤාණයයි ඇතිසැටි දනියිද, ඇවැත්නි, මේ විද්‍යාවයයි කියනු ලැබේ. මෙපමණකින් විද්‍යාවට පැමිණියේද වෙයි.
1. 3. 3. 4.
4. අස්සාද සූත්‍රය
129. බාරාණසියං:
129. මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයක ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝද, ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝද, බරණැස මිගදාය නම් ලත් ඉසිපතනාරාමයෙහි වාසය කෙරෙත්. එකල්හි වනාහි ආයුෂ්මත් මහාකොට්ඨිත ස්ථවිරයන් වහන්සේ සවස් කාලයෙහි විවේක සැපයෙන් නැගී සිටියේ ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ යම් තැනෙකද, එතැන්හි පැමිණියහ. පැමිණ, ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් හා සමග සතුටු විය. සතුටු විය යුතුවූත් සිහි කටයුතු වූත් කථාවකොට නිමවා එක්පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවූ ආයුෂ්මත් මහාකොට්ඨිත ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් සැරියුත් තෙරුන්ට මේ කාරණය කීහ: “ඇවැත් සැරියුත් තෙරණුවනි, අවිද්‍යාව අවිද්‍යාවයයි කියනු ලැබේ. ඇවැත්නි, අවිද්‍යාව කවරේද? කොපමණකින් අවිද්‍යාවට පැමිණියේ වේද?”යනුයි.
“ඇවැත්නි, මේ සස්නෙහි ඇසූ පිරූ තැන් නැති, පෘථග්ජනතෙමේ රූපයාගේ ඇතිවීමද, නැතිවීමද, (ආශ්වාදයද) රසවිඳීමද, දොස්ද, නික්මීමද, ඇතිසැටි නොදනියිද ‘වේදනාවගේ ඇතිවීමද, නැතිවීමද, (ආශ්වාදයද) රසවිඳීමද, දොස්ද, නික්මීමද ඇතිසැටි නොදනියිද,’ ‘සංඥාවගේ ඇතිවීමද, නැතිවීමද, (ආශ්වාදයද) රසවිඳීමද, දොස්ද, නික්මීමද ඇති සැටි නොදනියිද,’ ‘සංස්කාරයන්ගේ ඇතිවීමද, නැතිවීමද, (ආශ්වාදයද) රසවිඳීමද, දොස්ද, නික්මීමද ඇතිසැටි නොදනියිද,’ ‘විඤ්ඤාණයාගේ ඇතිවීමද, නැතිවීමද, (ආශ්වාදයද) රසවිඳීමද, දොස්ද, නික්මීමද ඇතිසැටි නොදනියිද, මහණෙනි, මේ අවිද්‍යාවයයි කියනු ලැබේ. මෙපමණකින්ම අවිද්‍යාවට පැමිණියේයයි කියනු ලැබේ.”
1. 3. 3. 5.
5. අස්සාද සූත්‍රය
130. බාරාණසියං:
130. මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයක ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝද, ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝද බරණැස මිගදාය නම් ලත් ඉසිපතනාරාමයෙහි වාසය කෙරෙත්. එකල්හි වනාහි ආයුෂ්මත් මහාකොට්ඨිත ස්ථවිරයන් වහන්සේ සවස් කාලයෙහි විවේක සැපයෙන් නැගී සිටියේ ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ යම් තැනෙකද, එතැන්හි පැමිණියහ. පැමිණ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් හා සමග සතුටු විය. සතුටු වියයුතුවූත් සිහි කටයුතු වූත් කථාවකොට නිමවා එක්පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවූ ආයුෂ්මත් මහාකොට්ඨිත ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් සැරියුත් තෙරුන්ට මේ කාරණය කීහ: ‘ඇවැත් සැරියුත් තෙරණුවනි, විද්‍යාව විද්‍යාවයයි කියනු ලැබේ. ඇවැත්නි, විද්‍යාව කවරේද? කොපමණකින් විද්‍යාවට පැමිණියේ වේද?” යනුයි.
“ඇවැත්නි, මේ ශාසනයෙහි ශ්‍රැතවත් ආර්යශ්‍රාවක තෙමේ රූපයාගේ ඇතිවීමද, නැතිවීමද, රසවිඳීමද, දොස්ද, නික්මීමද ඇතිසැටි දනියිද,’ ‘වේදනාවගේ ඇතිවීමද, නැති වීමද, රසවිඳීමද, දොස්ද, නික්මීමද ඇතිසැටි දනියිද, ‘සංඥාවගේ ඇතිවීමද, නැතිවීමද, රසවිඳීමද, දොස්ද, නික්මීමද ඇතිසැටි දනියිද,’ ‘සංස්කාරයන්ගේ ඇතිවීමද, නැතිවීමද රසවිඳීමද, දොස්ද, නික්මීමද, ඇතිසැටි දනියිද,’ ‘විඤ්ඤාණයාගේ ඇතිවීමද, නැතිවීමද, රසවිඳීමද, දොස්ද, නික්මීමද, ඇතිසැටි දැනගනියිද ඇවැත්නි, මේ විද්‍යාවයයි කියනු ලැබේ. මෙපමණකින් විද්‍යාවට පැමිණියේද වෙයි,’ යනුයි.
1. 3. 3. 6.
6. සමුදය සූත්‍රය
131. බාරාණසියං:
131. මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයෙක ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝද, ආයුෂ්මත් මහා කොට්ඨිත තෙරණුවෝද බරණැස මිගදාය නම් ලත් ඉසිපතනාරාමයෙහි වාසය කෙරෙත්. එකල්හි වනාහි ආයුෂ්මත් මහා කොට්ඨිත ස්ථවිරයන් වහන්සේ සවස් කාලයෙහි විවේක සැපයෙන් නැගී සිටියේ ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ යම්තැනකද එතැන්හි පැමිණියහ. පැමිණ, ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් හා සමග සතුටුවිය. සතුටුවිය යුතුවූත් සිහිකටයුතු වූත් කථාව කොට නිමවා එක්පැත්තක හුන්නේය. එක්පැත්තක හුන්නාවූ ආයුෂ්මත් මහා කොට්ඨිත තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරුන්ට මේ කාරණය කීහ. ආයුෂ්මත් ශාරිපුත්‍රය, අවිද්‍යාවය, අවිද්‍යාවයයි කියනු ලැබේ. “ඇවැත්නි, අවිද්‍යාව කවරේද? කොපමණකින් අවිද්‍යාවට පැමිණියේ වේද?”යනුයි.
“ඇවැත්නි, මේ සස්නෙහි අශ්‍රැතවත් පෘථග්ජනතෙමේ රූපයාගේ හටගැනීමද, දුරු කිරීමද, රසවිඳීමද, දොස්ද, නික්මීමද ඇති සැටි නොදනියි, වේදනාවගේ හටගැනීමද, දුරු කිරීමද, රස විඳීමද, දොස්ද, නික්මීමද, ඇති සැටි නොදනියි. සංඥාවගේ හට ගැනීමද, දුරු කිරීමද, රස විඳීමද, දොස්ද, නික්මීමද ඇති සැටි නොදනියි. සංස්කාරයන්ගේ හටගැනීමද, දුරු කිරීමද, රස විඳීමද, දොස්ද, නික්මීමද ඇතිසැටි නොදනියි. විඥානයාගේ හට ගැනීමද, දුරු කිරීමද, රස විඳීමද, දොස්ද, නික්මීමද, ඇති සැටි නොදනියි. “ඇවැත්නි, මේ අවිද්‍යාවයයි කියනු ලැබේ. මෙපමණකින් අවිද්‍යාවට පැමිණියේද වෙයි.”