1. 3. 3. 2.
2. සමුදය ධම්ම සූත්‍රය
127. බාරාණසියං:
මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයක ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝද, ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝද බරණැස මිගදාය නම් ලත් ඉසිපතනාරාමයෙහි වාසය කෙරෙත්. එකල්හි වනාහි ආයුෂ්මත් මහාකොට්ඨිත ස්ථවිරයන් වහන්සේ සවස් කාලයෙහි විවේක සැපයෙන් නැගී සිටියේ ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ යම් තැනකද, එතැන්හි පැමිණියහ. පැමිණ, ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් හා සමග සතුටු විය. සතුටු විය යුතුවූත් සිහි කටයුතු වූත් කථාවකොට නිමවා එක්පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවූ ආයුෂ්මත් මහාකොට්ඨිත ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් සැරියුත් තෙරුන්ට මේ කාරණය කීහ: “ඇවැත් ශාරිපුත්‍රයෙනි, අවිද්‍යාවය අවිද්‍යාවයයි කියනු ලැබේ. ඇවැත්නි, අවිද්‍යාව කවරේද? කොපමණකින් අවිද්‍යාවට පැමිණියේ වේද?” යනුයි.
ඇවැත්නි, මේ ශාසනයෙහි අශ්‍රැතවත් පෘථග්ජනයා හටගැනීම ස්වභාව කොට ඇති රූපය ‘හටගැනීම ස්වභාව කොට ඇති රූපය’යි ඇති සැටියෙන් නොදනියි. නැතිවීම ස්වභාව කොට ඇති රූපය -පෙ- හටගැනීම හා නැතිවීම ස්වභාව කොට ඇති රූපය ‘හටගැනීම හා නැතිවීම ස්වභාව කොට ඇති රූපය’යි ඇති සැටියෙන් නොදනියි. හටගැනීම ස්වභාව කොට ඇති වේදනාව -පෙ- හටගැනීම ස්වභාව කොට ඇති සංඥාව -පෙ- හටගැනීම ස්වභාව කොට ඇති සංස්කාර -පෙ- හටගැනීම ස්වභාව කොට ඇති විඤ්ඤාණය ‘හටගැනීම ස්වභාව කොට ඇති විඤ්ඤාණය’යි ඇති සැටියෙන් නොදනියි. නැතිවීම ස්වභාව කොට ඇති විඤ්ඤාණය -පෙ- හටගැනීම හා නැතිවීම ස්වභාව කොට ඇති විඤ්ඤාණය ‘හටගැනීම හා නැතිවීම ස්වභාව කොට ඇති විඤ්ඤාණය’යි ඇති සැටියෙන් නොදනියි. ඇවැත්නි, මේ අවිද්‍යාව යයි කියනු ලැබේ. මෙපමණකින් අවිද්‍යාවට පැමිණියේ (අවිද්‍යාගත) වෙයි.
1. 3. 3. 3.
3. සමුදය ධම්ම සූත්‍රය
128. බාරාණසියං:
එකත්පසෙක හුන් ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරුන් වහන්සේ ආයුෂ්මත් සාරිපුත්ත තෙරුන් වහන්සේට මෙය කීහ: “ඇවැත් සාරිපුත්තයෙනි, ‘විද්‍යාව, විද්‍යාව’යි කියනු ලැබේ. ඇවැත්නි, විද්‍යාව කවරේ ද? කොපමණකින් විද්‍යාවට පැමිණියේ (විද්‍යාගත) වේ ද?”
ඇවැත්නි, මේ ශාසනයෙහි ශ්‍රැතවත් (ධර්මය ඇසූ) ආර්ය ශ්‍රාවකයා හටගැනීම ස්වභාව කොට ඇති රූපය ‘හටගැනීම ස්වභාව කොට ඇති රූපය’යි ඇති සැටියෙන් දනියි. නැතිවීම ස්වභාව කොට ඇති රූපය -පෙ- හටගැනීම හා නැතිවීම ස්වභාව කොට ඇති රූපය ‘හටගැනීම හා නැතිවීම ස්වභාව කොට ඇති රූපය’යි ඇති සැටියෙන් දනියි. හටගැනීම ස්වභාව කොට ඇති වේදනාව -පෙ- හටගැනීම ස්වභාව කොට ඇති සංඥාව -පෙ- හටගැනීම ස්වභාව කොට ඇති සංස්කාර -පෙ- හටගැනීම ස්වභාව කොට ඇති විඤ්ඤාණය ‘හටගැනීම ස්වභාව කොට ඇති විඤ්ඤාණය’යි ඇති සැටියෙන් දනියි. නැතිවීම ස්වභාව කොට ඇති විඤ්ඤාණය -පෙ- හටගැනීම හා නැතිවීම ස්වභාව කොට ඇති විඤ්ඤාණය ‘හටගැනීම හා නැතිවීම ස්වභාව කොට ඇති විඤ්ඤාණය’යි ඇති සැටියෙන් දනියි. ඇවැත්නි, මේ විද්‍යාව යයි කියනු ලැබේ. මෙපමණකින් විද්‍යාවට පැමිණියේ (විද්‍යාගත) වෙයි.”
1. 3. 3. 4.
4. අස්සාද සූත්‍රය
129. බාරාණසියං:
එකත්පසෙක හුන් ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරුන් වහන්සේ ආයුෂ්මත් සාරිපුත්ත තෙරුන් වහන්සේට මෙය කීහ: “ඇවැත් සාරිපුත්තයෙනි, ‘අවිද්‍යාව, අවිද්‍යාව’යි කියනු ලැබේ. ඇවැත්නි, අවිද්‍යාව කවරේ ද? කොපමණකින් අවිද්‍යාවට පැමිණියේ (අවිද්‍යාගත) වේ ද?”
“ඇවැත්නි, මේ සස්නෙහි ඇසූ පිරූ තැන් නැති, පෘථග්ජනතෙමේ රූපයාගේ ඇතිවීමද, නැතිවීමද, (ආශ්වාදයද) රසවිඳීමද, දොස්ද, නික්මීමද, ඇතිසැටි නොදනියිද ‘වේදනාවගේ ඇතිවීමද, නැතිවීමද, (ආශ්වාදයද) රසවිඳීමද, දොස්ද, නික්මීමද ඇතිසැටි නොදනියිද,’ ‘සංඥාවගේ ඇතිවීමද, නැතිවීමද, (ආශ්වාදයද) රසවිඳීමද, දොස්ද, නික්මීමද ඇති සැටි නොදනියිද,’ ‘සංස්කාරයන්ගේ ඇතිවීමද, නැතිවීමද, (ආශ්වාදයද) රසවිඳීමද, දොස්ද, නික්මීමද ඇතිසැටි නොදනියිද,’ ‘විඤ්ඤාණයාගේ ඇතිවීමද, නැතිවීමද, (ආශ්වාදයද) රසවිඳීමද, දොස්ද, නික්මීමද ඇතිසැටි නොදනියිද, මහණෙනි, මේ අවිද්‍යාවයයි කියනු ලැබේ. මෙපමණකින්ම අවිද්‍යාවට පැමිණියේයයි කියනු ලැබේ.”
1. 3. 3. 5.
5. අස්සාද සූත්‍රය
130. බාරාණසියං:
එකත්පසෙක හුන් ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරුන් වහන්සේ ආයුෂ්මත් සාරිපුත්ත තෙරුන් වහන්සේට මෙය කීහ: “ඇවැත් සාරිපුත්තයෙනි, ‘විද්‍යාව, විද්‍යාව’යි කියනු ලැබේ. ඇවැත්නි, විද්‍යාව කවරේ ද? කොපමණකින් විද්‍යාවට පැමිණියේ (විද්‍යාගත) වේ ද?”
“ඇවැත්නි, මේ ශාසනයෙහි ශ්‍රැතවත් ආර්යශ්‍රාවක තෙමේ රූපයාගේ ඇතිවීමද, නැතිවීමද, රසවිඳීමද, දොස්ද, නික්මීමද ඇතිසැටි දනියිද,’ ‘වේදනාවගේ ඇතිවීමද, නැති වීමද, රසවිඳීමද, දොස්ද, නික්මීමද ඇතිසැටි දනියිද, ‘සංඥාවගේ ඇතිවීමද, නැතිවීමද, රසවිඳීමද, දොස්ද, නික්මීමද ඇතිසැටි දනියිද,’ ‘සංස්කාරයන්ගේ ඇතිවීමද, නැතිවීමද රසවිඳීමද, දොස්ද, නික්මීමද, ඇතිසැටි දනියිද,’ ‘විඤ්ඤාණයාගේ ඇතිවීමද, නැතිවීමද, රසවිඳීමද, දොස්ද, නික්මීමද, ඇතිසැටි දැනගනියිද ඇවැත්නි, මේ විද්‍යාවයයි කියනු ලැබේ. මෙපමණකින් විද්‍යාවට පැමිණියේද වෙයි,’ යනුයි.
1. 3. 3. 6.
6. සමුදය සූත්‍රය
131. බාරාණසියං:
එකත්පසෙක වැඩ හුන් ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරුන් වහන්සේ ආයුෂ්මත් සැරියුත් තෙරුන් වහන්සේට මෙය කීහ: “ඇවැත් ශාරිපුත්‍රයෙනි, ‘අවිද්‍යාව, අවිද්‍යාව’ යැයි කියනු ලැබේ. ඇවැත්නි, අවිද්‍යාව කවරේ ද? කොපමණකින් අවිද්‍යාවට පැමිණියේ වේ ද?”
“ඇවැත්නි, මේ සස්නෙහි අශ්‍රැතවත් පෘථග්ජනතෙමේ රූපයාගේ හටගැනීමද, දුරු කිරීමද, රසවිඳීමද, දොස්ද, නික්මීමද ඇති සැටි නොදනියි, වේදනාවගේ හටගැනීමද, දුරු කිරීමද, රස විඳීමද, දොස්ද, නික්මීමද, ඇති සැටි නොදනියි. සංඥාවගේ හට ගැනීමද, දුරු කිරීමද, රස විඳීමද, දොස්ද, නික්මීමද ඇති සැටි නොදනියි. සංස්කාරයන්ගේ හටගැනීමද, දුරු කිරීමද, රස විඳීමද, දොස්ද, නික්මීමද ඇතිසැටි නොදනියි. විඥානයාගේ හට ගැනීමද, දුරු කිරීමද, රස විඳීමද, දොස්ද, නික්මීමද, ඇති සැටි නොදනියි. “ඇවැත්නි, මේ අවිද්‍යාවයයි කියනු ලැබේ. මෙපමණකින් අවිද්‍යාවට පැමිණියේද වෙයි.”