1. 3. 1. 7.
සෝතාපන්න සූත්‍රය
109. සැවැත් නුවරදී:
මහණෙනි, උපාදානස්කන්ධ පසකි. කවර පසක්ද? රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඤ්ඤාණ උපාදානස්කන්ධය යනුයි.
මහණෙනි, යම් හෙයකින් ආර්ය ශ්‍රාවකතෙමේ මේ පස් වැදෑරුම් උපාදානස්කන්ධයන්ගේ හටගැනීමද, විනාශයද, ආශ්වාදයද, ආදීනවයද, නිශ්ශරණයද, තත්වූ පරිදි දනීද, මහණෙනි, ඒ ආර්ය ශ්‍රාවකතෙමේ අපායෙහි නොවැටෙන ස්වභාවය ඇත්තාවූ, නියතවූ, අර්හත් බොධිය පිහිටකොට ඇත්තාවූ සෝවාන් පුද්ගලයායයි කියනු ලැබේ.
1. 3. 1. 8.
අරහන්ත සූත්‍රය
110. සැවැත් නුවරදී:
“මහණෙනි, උපාදානස්කන්ධ පසකි. කවර පසක්ද? එනම්: රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඤ්ඤාණ උපාදානස්කන්ධය යනුයි.
මහණෙනි, යම් හෙයකින් මහණ තෙමේ මේ පස් වැදෑරුම් උපාදානස්කන්ධයන්ගේ හටගැනීමද, විනාශයද, ආශ්වාදයද, ආදීනවයද, නිශ්ශරණයද තත්වූ පරිදි දැන උපාදානයන් කෙරෙන් මිදුණේ වෙයිද, මහණෙනි, මේ භික්ෂුව ආශ්‍රවයන් ක්ෂය කළාවූ, වැස නිමවනලද බ්‍රහ්මචර්යාව ඇත්තාවූ, කටයුතු කරන ලද්දාවූ, බහා තබනලද බර ඇත්තාවූ, තමාගේ අර්ථයට පැමිණියාවූ, ක්ෂය කළ භවසංයෝජන ඇත්තාවූ, මනාව දැන මිදුණාවූ අර්හත් පුද්ගලයායයි කියනු ලැබේ.
1. 3. 1. 9.
පඨම ඡන්දරාග සූත්‍රය
111. සැවැත් නුවරදී:
“මහණෙනි, රූපය කෙරෙහි යම් (ඡන්දරාගයක්) ඇල්මක් ඇද්ද යම් නන්දිරාගයක් ඇද්ද, යම් තෘෂ්ණාවක් ඇද්ද, එය දුරු කරව්. මෙසේ ඒ රූපය ප්‍රහීනකරන ලද්දේ, සිඳිනලද මුල් ඇත්තේ, සිඳිනලද තල්ගසක් මෙන් කරන ලද්දේ, නැතිකරන ලද්දේ, නැවත නොඉපදීම ස්වභාවකොට ඇත්තේ වන්නේය.
“වේදනාවෙහි යම් ඡන්දරාගයක් ඇද්ද, ඇල්මක් ඇද්ද, යම් නන්දිරාගයක් ඇද්ද, යම් තෘෂ්ණාවක් ඇද්ද, එය දුරු කරව්. මෙසේ ඒ වේදනාව ප්‍රහීන කරන ලද්දේ, සිඳින ලද මුල් ඇත්තේ, සිඳිනලද තල්ගසක් මෙන් කරන ලද්දේ, නැති කරන ලද්දේ, නැවත නොඉපදීම ස්වභාවකොට ඇත්තේ වන්නේය.
“සංඥාවෙහි යම් ඡන්දරාගයක් ඇද්ද, ඇල්මක් ඇද්ද, යම් නන්දිරාගයක් ඇද්ද, යම් තෘෂ්ණාවක් ඇද්ද, එය දුරු කරව්. මෙසේ ඒ සංඥාව ප්‍රහීන කරන ලද්දේ, සිඳින ලද මුල් ඇත්තේ, සිඳිනලද තල්ගසක් මෙන් කරන ලද්දේ, නැති කරන ලද්දේ, නැවත නොඉපදීම ස්වභාවකොට ඇත්තේ වන්නේය. “සංස්කාරයෙහි යම් ඡන්දරාගයක් ඇද්ද, ඇල්මක් ඇද්ද, යම් නන්දිරාගයක් ඇද්ද, යම් තෘෂ්ණාවක් ඇද්ද, එය දුරු කරව්. මෙසේ ඒ සංස්කාරය ප්‍රහීන කරන ලද්දේ, සිඳිනලද මුල් ඇත්තේ, සිඳිනලද තල්ගසක් මෙන් කරන ලද්දේ, නැති කරන ලද්දේ, නැවත නොඉපදීම ස්වභාවකොට ඇත්තේ වන්නේය.
“විඤ්ඤාණයෙහි යම් ඡන්දරාගයක් ඇද්ද, ඇල්මක් ඇද්ද, යම් නන්දිරාගයක් ඇද්ද, යම් තෘෂ්ණාවක් ඇද්ද, එය දුරු කරව්. මෙසේ ඒ විඤ්ඤාණය ප්‍රහීන කරන ලද්දේ, සිඳිනලද මුල් ඇත්තේ, සිඳිනලද තල්ගසක් මෙන් කරන ලද්දේ, නැති කරන ලද්දේ, නැවත නොඉපදීම ස්වභාවකොට ඇත්තේ වන්නේය.
1. 3. 1. 10.
දුතිය ඡන්දරාග සූත්‍රය
112. සැවැත් නුවරදී:
“මහණෙනි, රූපයෙහි යම් ඇල්මක්, යම් රාගයක්, යම් ආශාවක්, යම් තෘෂ්ණාවක්, යම් තෘෂ්ණා දෘෂ්ටි මානයන්ගේ වශයෙන් ගැනීමක්, සිත පිහිටීමක්, වැළඳගැනීමක්, අනුසයයක් වේද, ඔවුන් පහකරව්. මෙසේ ඒ රූපය පහකරන ලද්දේ වන්නේය. මුල් සිඳින ලද්දේ වන්නේය. සිඳිනලද තල්ගසක් මෙන් කරන ලද්දේ, විනාශ කරන ලද්දේ, නැවත නූපදින ස්වභාවයට පමුණුවන ලද්දේ වන්නේය.