1. 3. 1. 8.
අරහන්ත සූත්‍රය
110. සැවැත් නුවරදී:
“මහණෙනි, උපාදානස්කන්ධ පසකි. කවර පසක්ද? එනම්: රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඤ්ඤාණ උපාදානස්කන්ධය යනුයි.
මහණෙනි, යම් හෙයකින් මහණ තෙමේ මේ පස් වැදෑරුම් උපාදානස්කන්ධයන්ගේ හටගැනීමද, විනාශයද, ආශ්වාදයද, ආදීනවයද, නිශ්ශරණයද තත්වූ පරිදි දැන උපාදානයන් කෙරෙන් මිදුණේ වෙයිද, මහණෙනි, මේ භික්ෂුව ආශ්‍රවයන් ක්ෂය කළාවූ, වැස නිමවනලද බ්‍රහ්මචර්යාව ඇත්තාවූ, කටයුතු කරන ලද්දාවූ, බහා තබනලද බර ඇත්තාවූ, තමාගේ අර්ථයට පැමිණියාවූ, ක්ෂය කළ භවසංයෝජන ඇත්තාවූ, මනාව දැන මිදුණාවූ අර්හත් පුද්ගලයායයි කියනු ලැබේ.
1. 3. 1. 9.
පඨම ඡන්දරාග සූත්‍රය
111. සැවැත් නුවරදී:
“මහණෙනි, රූපය කෙරෙහි යම් (ඡන්දරාගයක්) ඇල්මක් ඇද්ද යම් නන්දිරාගයක් ඇද්ද, යම් තෘෂ්ණාවක් ඇද්ද, එය දුරු කරව්. මෙසේ ඒ රූපය ප්‍රහීනකරන ලද්දේ, සිඳිනලද මුල් ඇත්තේ, සිඳිනලද තල්ගසක් මෙන් කරන ලද්දේ, නැතිකරන ලද්දේ, නැවත නොඉපදීම ස්වභාවකොට ඇත්තේ වන්නේය.
“වේදනාවෙහි යම් ඡන්දරාගයක් ඇද්ද, ඇල්මක් ඇද්ද, යම් නන්දිරාගයක් ඇද්ද, යම් තෘෂ්ණාවක් ඇද්ද, එය දුරු කරව්. මෙසේ ඒ වේදනාව ප්‍රහීන කරන ලද්දේ, සිඳින ලද මුල් ඇත්තේ, සිඳිනලද තල්ගසක් මෙන් කරන ලද්දේ, නැති කරන ලද්දේ, නැවත නොඉපදීම ස්වභාවකොට ඇත්තේ වන්නේය.
“සංඥාවෙහි යම් ඡන්දරාගයක් ඇද්ද, ඇල්මක් ඇද්ද, යම් නන්දිරාගයක් ඇද්ද, යම් තෘෂ්ණාවක් ඇද්ද, එය දුරු කරව්. මෙසේ ඒ සංඥාව ප්‍රහීන කරන ලද්දේ, සිඳින ලද මුල් ඇත්තේ, සිඳිනලද තල්ගසක් මෙන් කරන ලද්දේ, නැති කරන ලද්දේ, නැවත නොඉපදීම ස්වභාවකොට ඇත්තේ වන්නේය. “සංස්කාරයෙහි යම් ඡන්දරාගයක් ඇද්ද, ඇල්මක් ඇද්ද, යම් නන්දිරාගයක් ඇද්ද, යම් තෘෂ්ණාවක් ඇද්ද, එය දුරු කරව්. මෙසේ ඒ සංස්කාරය ප්‍රහීන කරන ලද්දේ, සිඳිනලද මුල් ඇත්තේ, සිඳිනලද තල්ගසක් මෙන් කරන ලද්දේ, නැති කරන ලද්දේ, නැවත නොඉපදීම ස්වභාවකොට ඇත්තේ වන්නේය.
“විඤ්ඤාණයෙහි යම් ඡන්දරාගයක් ඇද්ද, ඇල්මක් ඇද්ද, යම් නන්දිරාගයක් ඇද්ද, යම් තෘෂ්ණාවක් ඇද්ද, එය දුරු කරව්. මෙසේ ඒ විඤ්ඤාණය ප්‍රහීන කරන ලද්දේ, සිඳිනලද මුල් ඇත්තේ, සිඳිනලද තල්ගසක් මෙන් කරන ලද්දේ, නැති කරන ලද්දේ, නැවත නොඉපදීම ස්වභාවකොට ඇත්තේ වන්නේය.
1. 3. 1. 10.
දුතිය ඡන්දරාග සූත්‍රය
112. සැවැත් නුවරදී:
“මහණෙනි, රූපයෙහි යම් ඇල්මක්, යම් රාගයක්, යම් ආශාවක්, යම් තෘෂ්ණාවක්, යම් තෘෂ්ණා දෘෂ්ටි මානයන්ගේ වශයෙන් ගැනීමක්, සිත පිහිටීමක්, වැළඳගැනීමක්, අනුසයයක් වේද, ඔවුන් පහකරව්. මෙසේ ඒ රූපය පහකරන ලද්දේ වන්නේය. මුල් සිඳින ලද්දේ වන්නේය. සිඳිනලද තල්ගසක් මෙන් කරන ලද්දේ, විනාශ කරන ලද්දේ, නැවත නූපදින ස්වභාවයට පමුණුවන ලද්දේ වන්නේය.
වේදනායෙහි යම් ඇල්මක්, යම් රාගයක්, යම් ආශාවක් යම් තෘෂ්ණාවක්, යම් තෘෂ්ණා දෘෂ්ටි මානයන්ගේ වශයෙන් ගැනීමක් සිත පිහිටීමක්, වැළඳගැනීමක්, අනුසයක් වේද, ඔවුන් පහකරව්. මෙසේ ඒ වේදනාව පහකරන ලද්දේ, වන්නේය. මුල් සිඳින ලද්දේ වන්නේය. සිඳිනලද තල්ගසක් මෙන් කරන ලද්දේ, විනාශ කරන ලද්දේ, නැවත නූපදින ස්වභාවයට පමුණුවන ලද්දේ වන්නේය.
සංඥාවෙහි -පෙ- සංස්කාරයන්හි -පෙ- විඤ්ඤාණයෙහි යම් ඡන්දයක් (කැමැත්තක්), යම් රාගයක්, යම් නන්දියක් (සතුටින් ඇලීමක්), යම් තෘෂ්ණාවක් ඇද්ද, (තෘෂ්ණා දෘෂ්ටි වශයෙන්) යම් එළඹ ගැනීම් හා දැඩිව ගැනීම් (උපය උපාදාන) ද, සිතේ පිහිටීම් ද, බැසගැනීම් ද, අනුසය ද ඇද්ද, ඒවා දුරු කරව්. මෙසේ ඒ විඤ්ඤාණය ප්‍රහීණ වූයේ, මුල් සිඳුණේ, මුදුන සිඳි තල් ගසක් මෙන් කරන ලද්දේ, නැවත නොපවතින බවට පමුණුවන ලද්දේ, මතු නූපදින ස්වභාව ඇත්තේ වන්නේ ය.
පළමුවන අන්ත වර්ගයයි.
එහි උද්දානය:
අන්ත සූත්‍රය, දුක්ඛ සූත්‍රය, සක්කාය සූත්‍රය, පරිඤ්ඤෙය්‍ය සූත්‍රය, ශ්‍රමණ සූත්‍ර දෙක, සෝතාපන්න සූත්‍රය, අරහා සූත්‍රය සහ ඡන්ද රාග සූත්‍ර දෙකදැයි මේ වර්ගයෙහි සූත්‍ර දසයක් වෙති.