1. 2. 4. 10.
දුතිය රාහුල සූත්රය
92. මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක.
එකල්හි වනාහි ආයුෂ්මත් රාහුල භික්ෂුව භාග්යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේ වැඳ, එක්පැත්තක හුන්නේය. එක්පැත්තෙක හුන්නාවූ ආයුෂ්මත් රාහුල භික්ෂුව භාග්යවතුන් වහන්සේට මෙය කීය:
“ස්වාමීනි, කෙසේ දන්නහුට, කෙසේ දක්නහුට විඤ්ඤාණය සහිත මේ කයෙහිද, පිටත සියලු ආරම්මණයන්හිද, පහවූ අහංකාර මමංකාර මානානුසය ඇති මානය ඉක්මවූ සංසිඳුනාවූ, මනාකොට මිදුණාවූ සිත වෙයිද?”
“රාහුලය, අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, අධ්යාත්මිකවූද, බාහිරවූද, ගොරෝසුවූද, සියුම්වූද, හීනවූද, උතුම්වූද, දුරවූද, ලඟවූද, යම්කිසි රූපයක් වේද, ඒ සියලු රූපය ‘මෙය මාගේ නොවෙයි. එය මම නොවෙමි. එය මාගේ ආත්මය නොවේයයි’ මෙය මෙසේ තත්වූ පරිද්දෙන් මනා නුවණින් දැක (උපාදාන වශයෙන්) දැඩිව අල්වානොගෙන (කෙලෙසුන් කෙරෙන්) මනාව මිදුනේවේද. යම් කිසි වේදනාවක් වේද...පෙ... යම්කිසි සංඥාවක් වේද...පෙ... යම්කිසි සංස්කාරයක් වේද...පෙ... යම්කිසි විඤ්ඤාණයක් වේද—අතීතවූද අනාගතවූද, වර්තමානවූද, අධ්යාත්මිකවූද, බාහිරවූද ගොරෝසුවූද, සියුම්වූද, හීනවූද, උතුම්වූද, දුරවූද, ලඟවූද යම්කිසි විඤ්ඤාණයක් වේද—ඒ සියලු විඤ්ඤාණය ‘මෙය මගේ නොවෙයි. එය මම නොවෙමි. එය මාගේ ආත්මය නොවේයයි’ මෙය මෙසේ තත්වූ පරිද්දෙන් මනා නුවණින් දැක (තෘෂ්ණා දෘෂ්ටි වශයෙන්) දැඩිව අල්වා නොගෙන කෙලෙසුන්ගෙන්) මනාව මිදුණේවේද.
“රාහුලය, මෙසේම දන්නාහට, දක්නාහට මේ විඤ්ඤාණය සහිත ශරීරයෙහිද, බාහිර සියලු ආරම්මණයන්හිද, පහවූ අහංකාර මමංකාර මානානුසයන් ඇති, මානය දුරුවූ, සංසිඳුනාවූ, මනාකොට මිදුණාවූ, සිත ඇතිවන්නේයයි”.
සතරවෙනි ථෙරවර්ගයයි.
එහි උද්දානය:
ආනන්ද සූත්රය, තිස්ස සූත්රය, යමක සූත්රය, අනුරාධ සූත්රය, වක්කලි සූත්රය, අස්සජි සූත්රය, ඛෙමක සූත්රය, ඡන්න සූත්රය සහ අන්යවූ රාහුල සූත්ර දෙකදැයි මේ වර්ගයෙහි සූත්ර දසයෙකි.
5. පුප්ඵ වර්ගය
1. 2. 5. 1.
නදී සූත්රය
93. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසයකරන සේක. එහිදී භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, යම්සේ වනාහි පර්වතයෙක ගලාබස්නාවූ ගෙනයන්නාවූ, දුර යන්නාවූ, වහා බස්නා සැඩපහර ඇති ගංගාවක් වේද, ඒ ගඟේ දෙතෙර හටගත්තාවූ වැලුක්තණද වෙත්. ඒ වැලුක් ඒ ගඟට (නැමී) වැඩියක් මත්තෙහි එල්බෙත්. හටගත්තාවූ කුසතණද වෙත්. ඒ කුසතණද ඒ ගඟට එල්බී පවතිත්. හටගත්තාවූ බබුස්තණද වෙත්. ඒ බබුස්තණද ඒ ගඟට එල්බෙති. (එහි) හටගත් බෙරුතණද වෙත්. ඒ බෙරුතණද ඒ ගඟට (නැමී) එල්බෙන්නාහුය. හටගත් ගස්ද වෙත්. ඒ ගස්ද ඒ ගඟට (නැමී) එල්බෙන්නාහුය.
“ඒ ගඟේ සැඩපහරින් පුරුෂයෙක් ගෙනයනු ලබන්නේ වැලුක්තණද අල්ලා ගන්නේය. ඒ වැලුක්තණද සහමුලින් මැටි සමග හිසෙහි වැටෙන්නාහුය. හෙතෙම ඒ හේතුකොට ගෙන මහා විනාශයට පැමිණෙන්නේය. කුසතණද අල්වා ගන්නේය. ඒ කුසතණයෝද සහමුලින් මැටි සමග ඉගිල වැටෙන්නාහුය. හෙතෙම ඒ හේතුකොටගෙන මහාවිනාශයට පැමිණෙන්නේය. බබුස්තණද අල්වාගන්නේය. ඒ බබුස්තණ පඳුරුද ඉදිරී වැටෙන්නාහුය. හෙතෙම ඒ හේතුකොටගෙන මහාවිනාශයට පැමිණෙන්නේය. බෙරුතණද අල්ලා ගන්නේය. ඒ බෙරුතණ පඳුරු ද ඉදිරී වැටෙන්නාහුය. හෙතෙම ඒ හේතුකොට ගෙන මහාවිනාශයට පැමිණෙන්නේය. ගස්ද අල්වාගන්නේය. ඒ ගස්ද සහමුලින් මැටි සමග ඉගිලී වැටෙන්නාහුය. හෙතෙම ඒ හේතුකොටගෙන මහාවිනාශයට පැමිණෙන්නේය.
“මහණෙනි; එපරිද්දෙන්ම ආර්යයන් නොදක්නාවූ ආර්යධර්මයෙහි දක්ෂ නොවූ ආර්යධර්මයෙහි නොහික්මුණාවූ සත්පුරුෂයන් නොදක්නාවූ සත්පුරුෂ ධර්මයෙහි අදක්ෂවූ සත්පුරුෂයන්ගේ ධර්මයෙහි නොහික්මුණාවූ ඇසූ පිරූ තැන් නැත්තාවූ පෘථග්ජනතෙම රූපය ආත්මය වශයෙන් හෝ දක්නේය. තමා රූපය ඇත්තෙකුකොට හෝ දක්නේය. තමා කෙරෙහි හෝ රූපය දක්නේය. රූපයෙහි හෝ තමා දක්නේය. ඔහුගේ ඒ රූපය වැනසෙයි. හෙතෙම ඒ හේතුකොට ගෙන මහාවිනාශයට පැමිණෙන්නේය.
“වේදනාව ආත්ම වශයෙන් හෝ දක්නේය. තමා වේදනාව ඇත්තෙකුකොට හෝ දක්නේය. තමා කෙරෙහි හෝ වේදනාව දක්නේය. වේදනාවෙහි හෝ තමා දක්නේය. ඔහුගේ ඒ වේදනාව වැනසෙයි. හෙතෙම ඒ හේතුකොට ගෙන මහා විනාශයට පැමිණෙන්නේය. “සංඥාව ආත්මය වශයෙන් හෝ දක්නේය. තමා සංඥාව ඇත්තෙකුකොට හෝ දක්නේය. තමා කෙරෙහි හෝ සංඥාව දක්නේය. සංඥාවෙහි හෝ තමා දක්නේය. ඔහුගේ ඒ සංඥා තොමෝ වැනසෙයි. හෙතෙම ඒ හේතුකොට ගෙන මහා විනාශයට පැමිණෙන්නේය. සංස්කාරයන් ආත්මය වශයෙන් හෝ දක්නේය. තමා සංස්කාරයන් ඇත්තෙකු කොට හෝ දක්නේය. තමා කෙරෙහි හෝ සංස්කාරයන් දක්නේය. සංස්කාරයන්හි හෝ තමා දක්නේය. ඔහුගේ ඒ සංස්කාරයෝ වැනසෙත්. හෙතෙම ඒ හේතුකොටගෙන මහා විනාශයට පැමිණෙන්නේය. “විඤ්ඤාණය ආත්මය වශයෙන් හෝ දක්නේය. තමා විඤ්ඤාණය ඇත්තෙකුකොට හෝ දක්නේය. තමා කෙරෙහි හෝ විඤ්ඤාණය දක්නේය. විඤ්ඤාණයෙහි හෝ තමා දක්නේය. ඔහුගේ ඒ විඥානය වැනසෙන්නේය. හෙතෙම ඒ හේතුකොටගෙන මහා විනාශයට පැමිණෙන්නේය.
“මහණෙනි, ඒ කුමැයි සිතන්නෙහිද? රූපය නිත්යද? අනිත්යද?”
“ස්වාමීනි, අනිත්යය.”