1. 2. 3. 9.
9. පාරිලෙය්යක සූත්රය
81. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ කොසඹෑ නුවර ඝොෂිතාරාමයෙහි වැඩ වාසය කරණ සේක. ඉක්බිති භාග්යවතුන් වහන්සේ පෙරවරු සමයෙහි හැඳ පොරවා පාත්ර සිවුරුගෙන කොසඹෑ නුවරට පිඬු පිණිස වැඩිසේක. කොසඹෑ නුවර පිඬු පිණිස හැසිර පසුබත් වේලෙහි පිණ්ඩපාතයෙන් වැළකුනේ තමන් වහන්සේම සෙනාසනය හකුළා තබා පාත්ර සිවුරුගෙන උපස්ථායකයන්ට කථා නොකොට භික්ෂු සංඝයාට නොදන්වා තනිව දෙවැන්නෙක් නැතිව චාරිකාවෙහි වැඩියහ.
ඉක්බිති එක්තරා භික්ෂුවක් භාග්යවතුන් වහන්සේ වැඩි නොබෝ වේලාවකින් ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් යම් තැනකද එහි ගියේය. ගොස් ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ට මෙසේ කීවේය: “ඇවැත්, ආනන්ද ස්ථවිරයන් වහන්ස, භාග්යවතුන් වහන්සේ තමන් වහන්සේම සෙනාසනය හකුලා පාත්ර සිවුරු ගෙන උපස්ථායකයන්ට කථා නොකොට භික්ෂු සංඝයාට නොදන්වා තනිව දෙවැන්නෙක් නැතිව චාරිකාවෙහි වැඩියහ.”
“ඇවැත්නි, යම් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ තමන් වහන්සේම සෙනාසනය හකුලා පාත්ර සිවුරු ගෙන උපස්ථායකයන්ට කථා නොකොට භික්ෂු සංඝයාට නොදන්වා තනිව දෙවැන්නෙක් නැතිව චාරිකාවෙහි වඩිත්ද, එකල්හි භාග්යවතුන් වහන්සේ තනිව වාසයකිරීමට කැමති වෙති. එකල්හි කිසිවෙකු විසිනුත් භාග්යවතුන් වහන්සේ පසුපසින් යායුත්තේ නොවේය.”
ඉක්බිති, භාග්යවතුන් වහන්සේ පිළිවෙලින් චාරිකාවෙහි හැසිරෙන්නේ, පාරිලෙය්යක වනය යම් තැනකද, එතැනට පැමිණිසේක. එකල්හි වනාහි, භාග්යවතුන් වහන්සේ “භද්දසාල” නම් වූ සල්ගසමුල පාරිලෙය්යක වනයෙහි වාසය කරණ සේක. එකල්හි, බොහෝ භික්ෂූහු ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් යම් තැනකද, එතැනට පැමිණියහ. පැමිණ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් සමග සතුටු වූහ. සතුටුවිය යුතු වූද, සිහි කටයුතු වූද, කථා අවසන් කොට එකත්පසක හුන්නාහුය. එකත්පසක හුන්නාවූ භික්ෂූහු ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට මෙසේ කීහ: “ඇවැත් ආනන්දයෙනි, භාග්යවතුන් වහන්සේගේ සමීපයෙන් බොහෝ කාලයකින් ධර්ම කථාවක් නො අසන ලදී. ඇවැත් ආනන්දයෙනි. භාග්යවතුන් වහන්සේගේ සමීපයෙන් ධර්ම කථාවක් අසනු කැමැත්තෙමු” යනුයි.
ඉක්බිති, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ ඒ භික්ෂූන් සමග පාරිලෙය්යක වනයෙහි භද්දසාල නම්වූ සල්ගස් මුල යම් තැනකද, භාග්යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේ වැඳ එක්පසක හුන්නේය. එක්පසක හුන්නාවූ ඒ භික්ෂූන්හට භාග්යවතුන් වහන්සේ ධර්ම කථාවකින් (කරුණු) දැක්වූහ. එහි සමාදන් කරවූහ. සිත් තියුණු කරවූහ. පැහැද වූහ.
එසමයෙහි වනාහි එක්තරා භික්ෂුවක්හට මෙවැනි අදහසක් ඇතිවිය. ‘කෙසේ දන්නාවූ කෙසේ දක්නාවූ පුද්ගලයාට අනතුරුව ආශ්රවයන්ගේ ක්ෂයවීම වේදැයි’ යනුයි.
ඉක්බිති, භාග්යවතුන් වහන්සේ, තමන් වහන්සේගේ සිතින් ඒ භික්ෂුවගේ සිත දැන, භික්ෂූන්ට කථාකළ සේක: “මහණෙනි, මා විසින් ධර්මය පරීක්ෂාකොට දේශනා කරණ ලදී. සතර සති පට්ඨානයෝ පරීක්ෂාකොට දේශනා කරණ ලදහ. සතර සම්යක් ප්රධානයෝ පරීක්ෂාකොට දේශනා කරණ ලදහ. සතර ඍද්ධිපාදයෝ පරීක්ෂාකොට දේශනා කරණ ලදහ. පඤ්ච ඉන්ද්රියයෝ පරීක්ෂාකොට දේශනා කරණ ලදහ. පංච බලයෝ පරීක්ෂාකොට දේශනා කරණ ලදහ. සත් බොධ්යාඩ්ග ධර්මයෝ පරීක්ෂාකොට දේශනා කරණ ලදහ. ආර්ය අෂ්ටාංගික මාර්ගය පරීක්ෂාකොට දේශනා කරණ ලදී. “මහණෙනි, මෙසේ මා විසින් ධර්මය පරීක්ෂාකොට දේශනා කරණ ලදී. “මහණෙනි, මෙසේ මා විසින් ධර්මය පරීක්ෂාකොට දේශනාකොට ඇති කල්හි මේ ශාසනයෙහි එක් භික්ෂුවක්හට “මෙවැනි අදහසක් ඇතිවිය. කෙසේ දන්නාවූ කෙසේ දක්නාවූ පුද්ගලයාහට අනතුරුව ආශ්රවයන්ගේ (කෙලෙසුන්ගේ) ක්ෂයවීම වේද යනුයි.