1. 2. 3. 10.
පුණ්ණමානි සූත්රය
82. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ පූර්වාරාමයෙහි මිගාරමාතු නම් ප්රාසාදයෙහි මහත් භික්ෂු සංඝයා සමග වාසය කළසේක. එසමයෙහි වනාහි භාග්යවතුන් වහන්සේ පිරුණු සඳ ඇති එදවස පුණු පොහොය ඇති රාත්රියෙහි භික්ෂු සංඝයා පිරිවරා එලිමහනෙහි වැඩසිටියහ.
ඉක්බිති එක්තරා භික්ෂුවක් ආසනයෙන් නැගිට සිව්ර ඒකාංශකොට පොරවා භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැන්හි ඇඳිලිබැඳ වැඳ භාග්යවතුන් වහන්සේට මෙය කීය: “ස්වාමීනි, භාග්යවතුන් වහන්ස, ඉදින් මට ප්රශ්නයක් ඇසීම පිණිස අවකාස දෙයිද? භාග්යවතුන් වහන්සේගෙන් මම ප්රශ්නයක් අසමි” කියායි. “මහණ, එසේනම් නුඹ ස්වකීය ආසනයෙහි හිඳ යමක් ඇසීමට කැමැත්තෙහිද, එය අසව.”
ඒ භික්ෂුව “එසේය. ස්වාමීනි!”යි භාග්යවතුන් වහන්සේට උත්තර දී තම ආසනයෙහි ඉඳ, භාග්යවතුන් වහන්සේට මෙය කීය: “ස්වාමීනි, මොව්හු පඤ්චොපාදානස්කන්ධයෝ නොවෙත්ද? කවරහුදයත්? රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සඤ්ඤා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඤ්ඤාණ උපාදානස්කන්ධය” යනුයි. “මහණ, මොවුහු වනාහි පඤ්චොපාදානස්කන්ධයෝයි කෙසේදයත්? රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සඤ්ඤා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඤ්ඤාණ උපාදානස්කන්ධය” යනුයි.
ඒ භික්ෂුව “යහපත. ස්වාමීනි’යි භාග්යවතුන් වහන්සේගේ වචනයට සතුටුව, අනුමෝදන්ව, භාග්යවතුන් වහන්සේගෙන් මතු ප්රශ්නයක් ඇසීය. “ස්වාමීනි මේ පඤ්චොපාදානස්කන්ධයෝ වනාහි කුමක් මුල්කොට පවත්නාහුද?” “මහණ, මේ පඤ්චොපාදානස්කන්ධයෝ ආශාව මුල්කොට පවත්නාහ.” “ස්වාමීනි, යහපතැ”යි ඒ භික්ෂුව
භාග්යවතුන් වහන්සේගේ වචනයට සතුටුව, අනුමෝදන්ව, භාග්යවතුන් වහන්සේගෙන් මතු ප්රශ්නයක් ඇසීය. “ස්වාමීනි, ඒ පඤ්චොපාදානස්කන්ධයෝම උපාදානය වෙයිද, නොහොත් පඤ්ච උපාදානස්කන්ධයන් කෙරෙන් අන්ය වූවක් උපාදානය වෙයිද?” “මහණ, ඒ පඤ්චොපාදානස්කන්ධයෝ උපාදානය නොවේ. පඤ්චොපාදානස්කන්ධයෙන් අන් තැනෙක්හිද උපාදාන නොවේ. එසේ වුවද, ඒ පඤ්ච උපාදානස්කන්ධයන් කෙරෙහි යම් ඇලීමක් වෙයිද, ඒ ඇලීම එහි උපාදානය වේ.”
ඒ භික්ෂුව “යහපත, ස්වාමීනි”යි භාග්යවතුන් වහන්සේගේ වචනයට සතුටුව, අනුමෝදනාව, භාග්යවතුන් වහන්සේගෙන් මතුද ප්රශ්නයක් ඇසීය. “ස්වාමීනි, පඤ්ච උපාදානස්කන්ධයන් කෙරෙහි පවත්නා ආශාවේ වෙනසක් ඇත්තේද?” යනුයි. “මහණ, ඇතැයි” භාග්යවතුන් වහන්සේ වදාළසේක. “මහණ මේ ලෝකයෙහි ඇතැමෙකුට මෙසේ අදහස් වෙයි. ‘අනාගත කාලයෙහි මෙබඳු රූපය ඇත්තෙක් වන්නෙම්වා අනාගත කාලයෙහි මෙබඳු වේදනා ඇත්තෙක් වන්නෙම්වා. අනාගත කාලයෙහි මෙබඳු සඤ්ඤා ඇත්තෙක් වන්නෙම්වා. අනාගත කාලයෙහි මෙබඳු සංස්කාර ඇත්තෙක් වන්නෙම්වා. අනාගත කාලයෙහි මෙබඳු විඤ්ඤාණ ඇත්තෙක් වන්නෙම්වා. මහණ, පඤ්ච උපාදානස්කන්ධයන් පවත්නා ආශාවේ මෙසේ වෙනස් බව වන්නේය” යනුයි.
“යහපත ස්වාමීනි”යි ඒ භික්ෂුව භාග්යවතුන් වහන්සේගේ වචනයට සතුටුව, අනුමෝදන්ව භාග්යවතුන් වහන්සේගෙන් මතු ප්රශ්නයක් ඇසීය. “ස්වාමීනි, කිනම් අර්ථයකින් ස්කන්ධයන්ට ස්කන්ධ යන ව්යවහාරය වන්නේද?” “මහණ, යම්කිසි අතීතවූ හෝ අනාගතවූ හෝ වර්තමානවූ හෝ අධ්යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ගොරෝසුවූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උතුම්වූ හෝ දුරවූ හෝ සමීපවූ හෝ යම්කිසි රූපයක් වේද, මේ රූපස්කන්ධයයි කියනු ලැබේ. අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, අධ්යාත්මිකවූද, බාහිරවූද, ගොරෝසුවූද, සියුම්වූද, හීනවූද, උතුම්වූද, දුරවූද, සමීපවූද, යම්කිසි වේදනාවක් වෙයිද මෙය වේදනා ස්කන්ධයයි කියනු ලැබේ. අතීතවූද... යම්කිසි සංඥාවක් වෙයිද මෙය සංඥා ස්කන්ධයයි කියනු ලැබේ. අතීතවූද... යම්කිසි සංස්කාරයෝ වෙත්ද, මෙය සංස්කාර ස්කන්ධයයි කියනු ලැබේ. අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, අධ්යාත්මිකවූද, බාහිරවූද, ගොරෝසුවූද, සියුම්වූද, හීනවූද, උතුම්වූද දුරවූද, සමීපවූද යම්කිසි විඤ්ඤාණයක් වේද මේ විඤ්ඤාණස්කන්ධයයි කියනු ලැබේ. මහණ, මෙතෙකින් ස්කන්ධයන්ගේ ස්කන්ධ යන ව්යවහාරය වේ.”
ඒ භික්ෂුව “යහපත, ස්වාමීනි”යි භාග්යවතුන් වහන්සේගේ වචනයට සතුටුව, අනුමෝදන්ව භාග්යවතුන් වහන්සේගෙන් මතු ප්රශ්නයක් ඇසීය. “ස්වාමීනි, රූපස්කන්ධයාගේ පැනවීම පිණිස, හේතුව කවරේද? ප්රත්යය කවරේද? වේදනා ස්කන්ධයාගේ පැනවීම පිණිස හේතුව කවරේද? ප්රත්යය කවරේද? සංඥාස්කන්ධයාගේ පැනවීම පිණිස හේතුව කවරේද? ප්රත්යය කවරේද? සංස්කාර ස්කන්ධයාගේ පැනවීම පිණිස හේතුව කවරේද? ප්රත්යය කවරේද? විඤ්ඤාණ ස්කන්ධයාගේ පැනවීම පිණිස හේතුව කවරේද? ප්රත්යය කවරේද?” “මහණ, රූපස්කන්ධයාගේ පැනවීම පිණිස, සතර මහා භූතයෝ හේතුවය. සතර මහාභූතයෝ ප්රත්යය. වේදනා ස්කන්ධයාගේ පැනවීම පිණිස ස්පර්ශය හේතුවය. ස්පර්ශය ප්රත්යයයි. සංඥාස්කන්ධයාගේ පැනවීම පිණිස ස්පර්ශය හේතුවය. ස්පර්ශය ප්රත්යයයි. සංස්කාර ස්කන්ධයාගේ පැනවීම පිණිස ස්පර්ශය හේතුවයි. ස්පර්ශය ප්රත්යයයි. විඤ්ඤාණස්කන්ධයාගේ පැනවීම පිණිස නාමරූප හේතුවයි. නාමරූප ප්රත්යයයි.”
ඒ භික්ෂුව “යහපත, ස්වාමීනි”යි භාග්යවතුන් වහන්සේගේ වචනයට සතුටුව, අනුමෝදනාව භාග්යවතුන් වහන්සේගෙන් මතු ප්රශ්නයක් ඇසීය. “ස්වාමීනි, සක්කායදිට්ඨිය කෙසේ නම් වන්නේද?” “මහණ, මේ ලෝකයෙහි ආර්යයන් නුදුටු ආර්යධර්මයෙහි අදක්ෂ, ආර්ය ධර්මයෙහි නොහික්මුණු, සත්පුරුෂයන් නුදුටු, සත්පුරුෂ ධර්මයෙහි අදක්ෂ, සත්පුරුෂ ධර්මයෙහි නොහික්මුණු පෘථග්ජන අශ්රැතවත් භික්ෂුව රූපය තමා වශයෙන් දකියි. රූපය ඇතියකු හෝ තමා වශයෙන් දකියි.