1. 2. 2. 9.
රාධ සුත්තං
71. මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක.
එකල්හි ආයුෂ්මත් රාධ ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැන්හි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක්පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ආයුෂ්මත් රාධ ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැළකෙළේය.
“ස්වාමීනි, කෙසේ දන්නාවූ කෙසේ දක්නාවූ පුද්ගලයාට මේ සවිඤ්ඤාණක කයෙහිද, බාහිරවූ සියලු ආරම්මණයන්හිද, මමය මාගේය යන හැඟීම් සහිත මානානුසයෝ නොවන්නාහුදැ”යි විචාළේය.
“රාධ, අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ගොරෝසුවූ හෝ සියුම් වූ හෝ හීනවූ හෝ ප්‍රණීතවූ හෝ දුරවූ හෝ සමීපවූ හෝ අතීතානාගත දැන් පවතින්නාවූ යම්කිසි රූපයක් වේද, ඒ සියලු රූප ‘මෙය මාගේ නොවෙයි. මේ මම නොවෙමි. මේ මාගේ ආත්මයද නොවෙයි’, කියන මෙය මෙසේ තත්වූ පරිදි සම්‍යක් ප්‍රඥාවෙන් දකීද, අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ගොරෝසුවූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ ප්‍රණීතවූ හෝ දුරවූ හෝ සමීපවූ හෝ අතීතානාගත දැන් පවතින්නාවූ යම්කිසි වේදනාවක් වේද, ඒ සියලු, වේදනා ‘මෙය මාගේ නොවෙයි. මේ මම නොවෙමි. මේ මාගේ ආත්මයද නොවෙයි’, කියන මෙය මෙසේ තත්වූ පරිදි සම්‍යක් ප්‍රඥාවෙන් දකීද, අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ගොරෝසුවූ හෝ සියුම් වූ හෝ හීනවූ හෝ ප්‍රණීතවූ හෝ දුරවූ හෝ සමීපවූ හෝ අතීතානාගත දැන් පවතින්නාවූ යම්කිසි සංඥාවක් වේද, ඒ සියලු සංඥාවෝ ‘මෙය මාගේ නොවෙයි. මේ මම නොවෙමි. මේ මාගේ ආත්මයද නොවෙයි’, කියන මෙය මෙසේ තත්වූ පරිදි සම්‍යක් ප්‍රඥාවෙන් දකීද, අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ගොරෝසුවූ හෝ සියුම් වූ හෝ හීනවූ හෝ ප්‍රණීතවූ හෝ දුරවූ හෝ සමීපවූ හෝ අතීතානාගත දැන් පවතින්නාවූ යම්කිසි සංස්කාරයෝ වේද, ඒ සියලු සංස්කාරයෝ ‘මෙය මාගේ නොවෙයි. මේ මම නොවෙමි. මේ මාගේ ආත්මයද නොවෙයි’, කියන මෙය මෙසේ තත්වූ පරිදි සම්‍යක් ප්‍රඥාවෙන් දකීද, අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ගොරෝසුවූ හෝ සියුම් වූ හෝ හීනවූ හෝ ප්‍රණීතවූ හෝ දුරවූ හෝ සියුම්වූ හෝ අතීතානාගත දැන් පවතින්නාවූ යම්කිසි විඥානයක් වේද, ඒ සියලු
විඥානය ‘මෙය මාගේ නොවෙයි, මේ මම නොවෙමි, මේ මාගේ ආත්මය නොවෙයි’ කියා මෙසේ මෙය තත්වූ පරිදි සම්‍යක් ප්‍රඥාවෙන් දකියි. රාධ, මෙසේ දන්නා වූ මෙසේ දක්නා වූ පුද්ගලයාට මේ සවිඥානක කයෙහි ද, බාහිර වූ සියලු නිමිති කෙරෙහි ද ‘මම’ යන හැඟීම (අහංකාර දෘෂ්ටිය), ‘මාගේ’ යන හැඟීම (මමංකාර තෘෂ්ණාව) හා මානය යන අනුශයයෝ ඇති නොවෙතියි. -පෙ- ආයුෂ්මත් රාධ ස්ථවිරයන් වහන්සේ ද රහතුන් අතුරෙන් එක් කෙනෙක් වූහ.
1. 2. 2. 10.
සුරාධ සුත්තං
72. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක.
එකල්හි වනාහි ආයුෂ්මත් සුරාධ ස්ථවිර තෙමේ භාග්‍යවතුන්වහන්සේ යම්තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක් පසෙක හුන්නේය. එක්පසෙක හුන්නාවූ ආයුෂ්මත් සුරාධ ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැළ කෙළේය.
“ස්වාමීනි, කෙසේ දන්නාවූ කෙසේ දක්නාවූ පුද්ගලයාට මේ සවිඥානක කයෙහිද, බාහිරවූ සියලු ආරම්මණයන්හිද, ‘මමය මාගේය’ යන හැඟීම් සහිත මානය දුරුවූ ත්‍රිවිධ මානය ඉක්මගියාවූ මනාකොට මිදුනාවූ සිතක් වෙයිද,”
“සුරාධ, අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ගොරෝසුවූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ ප්‍රණීතවූ හෝ දුරවූ හෝ සමීපවූ හෝ යම්කිසි අතීතානාගත දැන් පවත්නා රූපයක් වෙයිද. ඒ සියලු රූප ‘එය මාගේ නොවෙයි. එය මම නොවෙමි. එය මාගේ ආත්මයද නොවෙයි’, කියා මෙසේ එය තත්වූ පරිදි සම්‍යක් ප්‍රඥාවෙන් දැක දැඩිසේ අල්වා නොගෙන මිදුනේ වෙයිද,
යම්කිසි වේදනාවක් -පෙ- යම්කිසි සංඥාවක් -පෙ- යම්කිසි සංස්කාර කෙනෙක් -පෙ- අතීත වූ හෝ අනාගත වූ හෝ වර්තමාන වූ හෝ, අධ්‍යාත්මික වූ හෝ බාහිර වූ හෝ, ගොරෝසු (ඔළාරික) වූ හෝ සියුම් (සුඛුම) වූ හෝ, හීන වූ හෝ ප්‍රණීත වූ හෝ, දුර වූ හෝ ළඟ වූ හෝ යම්කිසි විඥානයක් වේද, ඒ සියලු විඥානය ‘මෙය මාගේ නොවෙයි, මේ මම නොවෙමි, මේ මාගේ ආත්මය නොවෙයි’ කියා මෙසේ මෙය තත්වූ පරිදි සම්‍යක් ප්‍රඥාවෙන් දැක දැඩිව අල්වා නොගෙන (කෙලෙසුන්ගෙන්) මිදුණේ වෙයි.
සුරාධ, මෙසේ දන්නා වූ මෙසේ දක්නා වූ පුද්ගලයාගේ සිත මේ සවිඥානක කයෙහි ද, බාහිර වූ සියලු නිමිති කෙරෙහි ද ‘මම’ යන හැඟීමෙන් (අහංකාරයෙන්), ‘මාගේ’ යන හැඟීමෙන් (මමංකාරයෙන්) හා මානයෙන් පහ වූයේ, මාන කොටස් මනාකොට ඉක්මවූයේ, ශාන්ත වූයේ, මනාකොට මිදුණේ වේයයි. -පෙ- ආයුෂ්මත් සුරාධ ස්ථවිරයන් වහන්සේ ද රහතුන් අතුරෙන් එක් කෙනෙක් වූහ.
දෙවෙනි අරහන්ත වර්ගයයි.
එහි උද්දානය:
උපාදි සූත්‍රයද මඤ්ඤමාන සූත්‍රයද, අභිනන්දන සූත්‍රයද, අනිත්‍යය සූත්‍රයද, දුක්ඛ සූත්‍රයද, අනාත්ම සූත්‍රයද, අනත්තනීය සූත්‍රයද, රජනීය සණ්ඨිත සූත්‍රයද, රාධ සූත්‍රයද, සුරාධ සූත්‍රයද, වෙත්.