1. 2. 1. 9.
9. ආදිත්ත සූත්‍රය
61. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී, භාග්‍යවතුන්වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
“මහණෙනි, රූපය දැවෙන්නේය. වේදනාව දැවෙන්නේය. සංඥාව දැවෙන්නේය. සංස්කාරයෝ දැවෙන්නාහුය. විඤ්ඤාණය දැවෙන්නේය.
මහණෙනි, මෙසේ දක්නාවූ ආර්‍ය්‍ය ශ්‍රාවකතෙමේ වනාහි රූපයෙහි කලකිරෙයි. වේදනාවෙහි කලකිරෙයි. සංඥාවෙහි කලකිරෙයි. සංස්කාරයන්හි කලකිරෙයි. කලකිරුණේ නොඇලෙයි. නොඇලුනේ මිදෙයි. මිදුනු කල්හි මිදුනේයයි නුවණ පහළ වෙයි. ජාතිය ක්ෂය විය. බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිර නිමවන ලද්දේය. කළයුත්ත කරන ලද්දේය. මේ ආත්මභාවයෙහි කළයුතු අනිකක් නැත්තේයයි දනියි.”
1. 2. 1. 10.
10. නිරුත්තිපථ සූත්‍රය
62. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසයකරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, (අතීතයෙහිවූ) ශ්‍රමණයන්, බ්‍රාහ්මණයන් සහ ඤාණවන්තයන් විසින් නොවළක්වනු ලැබුවාවූ, අහක නොදමනු ලැබුවාවූ, බැහැර නොකරනු ලැබුවාවූ, මේ ව්‍යවහාර, සංඥා හෙවත් නාම තුන, (දැනුත්) බැහැර නොකෙරෙත්. (මත්තෙහිත්) බැහැර නොකරන්නාහුය.
ඒ නාම තුන කවරේද?
“මහණෙනි, යම් රූපයක් නොපෙනීගියේ, නැතිවූයේ, විනාශවූයේ වේද, (එවිට) ඒ රූපයාගේ ව්‍යවහාරය වූයේයයි කියාද, ඒ රූපයාගේ සංඥාව වූයේයයි කියාද, ඒ රූපයාගේ නාමය වූයේයයි කියාද, කියනු ලැබේ. (එහෙත්) ඒ රූපයාගේ ව්‍යවහාරය (දැන්) ඇත්තේයයි කියාද, ඒ රූපයාගේ ව්‍යවහාරය (මතු) වන්නේයයි කියාද, නොකියනු ලැබේ.
“යම් වේදනාවක් නොපෙනීගියේ, නැති වූයේ, විනාශ වූයේ වේද, (එවිට) ඒ වේදනාවේ ව්‍යවහාරය වූයේ යයි කියාද, ඒ වේදනාවේ සංඥාව වූයේයයි කියාද, ඒ වේදනාවේ නාමය වූයේයයි කියාද, කියනු ලැබේ. (එහෙත්) ඒ වේදනාවේ ව්‍යවහාරය (දැන්) ඇත්තේයයි කියාද, ඒ වේදනාවේ ව්‍යවහාරය (මතු) වන්නේයයි කියාද, නොකියනු ලැබේ.
“යම් සංඥාවක් නොපෙනීගියේ, නැති වූයේ, විනාශ වූයේ වේද, (එවිට) ඒ සංඥාවේ ව්‍යවහාරය වූයේයයි කියාද, ඒ සංඥාවේ සංඥාව (හැඳිනීම) වූයේයයි කියාද, ඒ සංඥාවේ නාමය වූයේයයි කියාද, කියනු ලැබේ. (එහෙත්) ඒ සංඥාවේ ව්‍යවහාරය (දැන්) ඇත්තේයයි කියාද, ඒ සංඥාවේ ව්‍යවහාරය (මතු) වන්නේයයි කියාද නොකියනු ලැබේ. “යම් සංස්කාරයක් නොපෙනීගියේ, නැති වූයේ විනාශවූයේ වේද, (එවිට) ඒ සංස්කාරයාගේ ව්‍යවහාරය වූයේයයි කියාද, ඒ සංස්කාරයාගේ සංඥාව වූයේයයි කියාද, ඒ සංස්කාරයාගේ නාමය වූයේයයි කියාද, කියනු ලැබේ. (එහෙත්) ඒ සංස්කාරයාගේ ව්‍යවහාරය (දැන්) ඇත්තේයයි කියාද, ඒ සංස්කාරයාගේ ව්‍යවහාරය (මතු) වන්නේයයි කියාද නොකියනු ලැබේ.
“යම් විඤ්ඤාණයක් නොපෙනී ගියේ නැති වූයේ විනාශ වූයේ වේද, (එවිට) ඒ විඤ්ඤාණයාගේ ව්‍යවහාරවූයේයයි කියාද, ඒ විඤ්ඤාණයාගේ සංඥාව වූයේයයි කියාද, ඒ විඤ්ඤාණයාගේ නාමය වූයේයයි කියාද, කියනු ලැබේ. එහෙත් ඒ විඤ්ඤාණයාගේ ව්‍යවහාරය (දැන්) ඇත්තේයයි කියාද, ඒ විඤ්ඤාණයාගේ ව්‍යවහාරය (මතු) වන්නේයයි කියාද නොකියනු ලැබේ.
“මහණෙනි, යම් රූපයක් නූපන්නේ, පහළ නොවූයේ වේද, (එවිට) ඒ රූපයාගේ ව්‍යවහාරය වන්නේයයි කියාද, ඒ රූපයාගේ සංඥාව වන්නේයයි කියාද, ඒ රූපයාගේ නාමය වන්නේයයි කියාද කියනු ලැබේ. (එහෙත්) ඒ රූපයාගේ ව්‍යවහාරය (දැන්) ඇත්තේයයි කියාද, ඒ රූපයාගේ ව්‍යවහාරය (අතීතයෙහි) වූයේයයි කියාද නොකියනු ලැබේ. “යම් වේදනාවක් නූපන්නේ, පහළ නොවූයේ වේද, (එවිට) ඒ වේදනාවේ ව්‍යවහාරය වන්නේයයි කියාද, ඒ වේදනාවේ සංඥාව වන්නේයයි කියාද, ඒ වේදනාවේ නාමය වන්නේයයි කියාද, කියනු ලැබේ. (එහෙත්) ඒ වේදනාවේ ව්‍යවහාරය (දැන්) ඇත්තේයයි කියාද, ඒ වේදනාවේ ව්‍යවහාරය (අතීතයෙහි) වූයේයයි කියාද නොකියනු ලැබේ. “යම් සංඥාවක් නූපන්නේ, පහළ නොවූයේවේද, (එවිට) ඒ සංඥාවේ ව්‍යවහාරය වන්නේයයි කියාද, ඒ සංඥාවේ සංඥාව (හැඳිනීම) වන්නේයයි කියාද, ඒ සංඥාවේ නාමය වන්නේයයි කියාද කියනු ලැබේ. (එහෙත්) ඒ සංඥාවේ ව්‍යවහාරය (දැන්) ඇත්තේයයි කියාද, ඒ සංඥාවේ ව්‍යවහාරය (අතීතයෙහි) වූයේයයි කියාද, නොකියනු ලැබේ. “යම් සංස්කාරයක් නූපන්නේ, පහළ නොවූයේ වේද, (එවිට) ඒ සංස්කාරයාගේ ව්‍යවහාරය වන්නේයයි කියාද, ඒ සංස්කාරයේ සංඥාව වන්නේයයි කියාද, ඒ සංස්කාරයේ නාමය වන්නේයයි කියාද, කියනු ලැබේ. (එහෙත්) ඒ සංඥාවේ ව්‍යවහාරය (දැන්) ඇත්තේයයි කියාද, ඒ සංඥාවේ ව්‍යවහාරය (අතීතයෙහි) වූයේයයි කියාද නොකියනු ලැබේ. යම් විඥානයක් නූපන්නේ, පහළ නොවූයේ වේද, (එවිට) ඒ විඥානයාගේ ව්‍යවහාරය වන්නේයයි කියාද, ඒ විඥානයාගේ සංඥාව වන්නේයයි කියාද, ඒ විඥානයාගේ නාමය වන්නේයයි කියාද, කියනු ලැබේ. (එහෙත්) ඒ විඥානයාගේ ව්‍යවහාරය (දැන්) ඇත්තේයයි කියාද, ඒ විඥානයාගේ ව්‍යවහාරය (අතීතයෙහි) වූයේයයි කියාද නොකියනු ලැබේ.