1. 2. 1. 10.
10. නිරුත්තිපථ සූත්‍රය
62. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසයකරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, (අතීතයෙහිවූ) ශ්‍රමණයන්, බ්‍රාහ්මණයන් සහ ඤාණවන්තයන් විසින් නොවළක්වනු ලැබුවාවූ, අහක නොදමනු ලැබුවාවූ, බැහැර නොකරනු ලැබුවාවූ, මේ ව්‍යවහාර, සංඥා හෙවත් නාම තුන, (දැනුත්) බැහැර නොකෙරෙත්. (මත්තෙහිත්) බැහැර නොකරන්නාහුය.
ඒ නාම තුන කවරේද?
“මහණෙනි, යම් රූපයක් නොපෙනීගියේ, නැතිවූයේ, විනාශවූයේ වේද, (එවිට) ඒ රූපයාගේ ව්‍යවහාරය වූයේයයි කියාද, ඒ රූපයාගේ සංඥාව වූයේයයි කියාද, ඒ රූපයාගේ නාමය වූයේයයි කියාද, කියනු ලැබේ. (එහෙත්) ඒ රූපයාගේ ව්‍යවහාරය (දැන්) ඇත්තේයයි කියාද, ඒ රූපයාගේ ව්‍යවහාරය (මතු) වන්නේයයි කියාද, නොකියනු ලැබේ.
“යම් වේදනාවක් නොපෙනීගියේ, නැති වූයේ, විනාශ වූයේ වේද, (එවිට) ඒ වේදනාවේ ව්‍යවහාරය වූයේ යයි කියාද, ඒ වේදනාවේ සංඥාව වූයේයයි කියාද, ඒ වේදනාවේ නාමය වූයේයයි කියාද, කියනු ලැබේ. (එහෙත්) ඒ වේදනාවේ ව්‍යවහාරය (දැන්) ඇත්තේයයි කියාද, ඒ වේදනාවේ ව්‍යවහාරය (මතු) වන්නේයයි කියාද, නොකියනු ලැබේ.
යම් සංඥාවක් -පෙ- යම් සංස්කාර කෙනෙක් අතීත වූවාහු (ඉක්ම ගියාහු), නිරුද්ධ වූවාහු, වෙනස් වී නැසුණාහු වෙත් ද, ඔවුන්ට ‘වූහ’ යන්න ව්‍යවහාරය (සංඛ්‍යාව) වේ, ‘වූහ’ යන්න නාමය වේ, ‘වූහ’ යන්න පැනවීම (ප්‍රඥප්තිය) වේ. ‘ඇත’ යන්න ඔවුන්ගේ ව්‍යවහාරය නොවේ, ‘මතු වන්නාහ’ යන්න ඔවුන්ගේ ව්‍යවහාරය නොවේ.
යම් විඥානයක් අතීත වූයේ, නිරුද්ධ වූයේ, වෙනස් වී නැසුණේ වේ ද, එයට ‘වූයේය’ යන්න ව්‍යවහාරය වේ, ‘වූයේය’ යන්න නාමය වේ, ‘වූයේය’ යන්න පැනවීම වේ. ‘ඇත’ යන්න එහි ව්‍යවහාරය නොවේ, ‘මතු වන්නේය’ යන්න එහි ව්‍යවහාරය නොවේ.
මහණෙනි, යම් රූපයක් නූපන්නේ, පහළ නොවූයේ වේ ද, එයට ‘වන්නේය’ යන්න ව්‍යවහාරය වේ, ‘වන්නේය’ යන්න නාමය වේ, ‘වන්නේය’ යන්න පැනවීම වේ. ‘ඇත’ යන්න එහි ව්‍යවහාරය නොවේ, ‘වූයේය’ යන්න එහි ව්‍යවහාරය නොවේ. යම් වේදනාවක් -පෙ- යම් සංඥාවක් -පෙ- යම් සංස්කාර කෙනෙක් -පෙ- යම් විඥානයක් නූපන්නේ, පහළ නොවූයේ වේ ද, එයට ‘වන්නේය’ යන්න ව්‍යවහාරය වේ, ‘වන්නේය’ යන්න නාමය වේ, ‘වන්නේය’ යන්න පැනවීම වේ. ‘ඇත’ යන්න එහි ව්‍යවහාරය නොවේ, ‘වූයේය’ යන්න එහි ව්‍යවහාරය නොවේ.
මහණෙනි, යම් රූපයක් උපන්නේ, පහළ වූයේ වේ ද, එයට ‘ඇත’ යන්න ව්‍යවහාරය වේ, ‘ඇත’ යන්න නාමය වේ, ‘ඇත’ යන්න පැනවීම වේ. ‘වූයේය’ යන්න එහි ව්‍යවහාරය නොවේ, ‘වන්නේය’ යන්න එහි ව්‍යවහාරය නොවේ. යම් වේදනාවක් -පෙ- යම් සංඥාවක් -පෙ- යම් සංස්කාර කෙනෙක් -පෙ- යම් විඥානයක් උපන්නේ, පහළ වූයේ වේ ද, එයට ‘ඇත’ යන්න ව්‍යවහාරය වේ, ‘ඇත’ යන්න නාමය වේ, ‘ඇත’ යන්න පැනවීම වේ. ‘වූයේය’ යන්න එහි ව්‍යවහාරය නොවේ, ‘වන්නේය’ යන්න එහි ව්‍යවහාරය නොවේ.
“මහණෙනි, (අතීතයෙහිවූ) ශ්‍රමණයන්, බ්‍රාහ්මණයන් සහ ඤාණවන්තයන් විසින් නොවළක්වනු ලැබුවාවූ, අහක නොදමනු ලැබුවාවූ, බැහැර නොකරනු ලැබුවාවූ මේ ව්‍යවහාර, සංඥා හෙවත් නාම තුන (දැනුත්) බැහැර නොකෙරෙත්. (මත්තෙහිත්) බැහැර නොකරන්නාහුය.
“මහණෙනි, උක්කලා ජනපද වාසීවූ අහේතුකවාදී, අකිරියවාදී, (උච්ඡෙද) නාස්තිකවාදී වූ යම් ඒ ‘වස්සභඤ්ඤ’ දෘෂ්ටි ගතිකයෝ දෙදෙනෙක් වෙත්ද, ඔව්හුද මේ ව්‍යවහාර සංඥා සහ නාම තුන බැහැර කළ යුතුයි. ඉවත් කළ යුතුයයි නොසිතූහ. ඊට හේතුව කවරේද? නින්දා අපහාස සහ දෝෂාරෝපණය කිරීමේ භය නිසාය.”
හයවෙනි උපාය වර්ගය නිමි.
උද්දානය:
උපාය සූත්‍රයද, බීජ සූත්‍රයද, උදාන සූත්‍රයද, උපාදාන සූත්‍රයද, සත්තට්ඨාන සූත්‍රයද, සම්බුද්ධ සූත්‍රයද, පඤ්චවග්ග සූත්‍රයද, මහාලි සූත්‍රයද, ආදිත්ත සූත්‍රය සහ නිරුත්තිපථ සූත්‍රය දැයි, මේ වර්ගයෙහි සූත්‍ර දසයකි.