1. 1. 3. 7.
7. අස්සාද සූත්‍රය
28. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරනසේක. එහිදී, භාග්‍යවතුන්වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, ඉදින් රූපස්කන්ධයේ ආශ්වාදයක් නො වන්නේනම් සත්වයෝ රූපස්කන්ධයෙහි නො ඇලෙන්නාහුය. යම්හෙයකින් රූපස්කන්ධයේ ආශ්වාදය ඇද්ද? එහෙයින් සත්වයෝ රූපස්කන්ධයෙහි ඇලෙත්.
“මහණෙනි, ඉදින් රූපස්කන්ධයේ ආදීනව නොවන්නේ නම් සත්වයෝ රූපයෙහි නොකළකිරෙන්නාහුය. යම්සේ රූපස්කන්ධයේ ආදීනව ඇද්ද? එහෙයින් සත්වයෝ රූපස්කන්ධයෙහි කළකිරෙත්.
“මහණෙනි, ඉදින් රූපස්කන්ධයේ නිස්සරණයක් නො වන්නේ නම් සත්වයෝ රූපස්කන්ධයෙන් නොනික් මෙන්නාහුය. යම් හෙයකින් රූපස්කන්ධයේ නිස්සරණයක් ඇද්ද? එහෙයින් සත්වයෝ රූපස්කන්ධයෙන් නිදහස් වෙති.
“මහණෙනි, ඉදින් වේදනාවේ ආශ්වාදයක් නොවන්නේ නම් සත්වයෝ වේදනාවෙහි නො ඇලෙන්නාහුය. යම් හෙයකින් වේදනාවේ ආශ්වාදයක් ඇද්ද? එහෙයින් සත්වයෝ වේදනාවෙහි ඇලෙත්. ‘මහණෙනි, ඉදින් සඤ්ඤාවෙහි ආශ්වාදයක් නොවන්නේ නම් සත්වයෝ සංඥාවෙහි නො ඇලෙන්නාහුය. යම් හෙයකින් සංඥාවේ ආශ්වාදයක් ඇද්ද? එහෙයින් සත්වයන් සංස්කාරයන්හි ඇලෙත්. “මහණෙනි, ඉදින් සංස්කාරයන්ගේ ආශ්වාදයක් නොවන්නේ නම් සත්වයෝ සංස්කාරයන්හි නො ඇලෙන්නාහුය. යම්හෙයකින් සංස්කාරයන්ගේ ආශ්වාදයක් ඇද්ද? එහෙයින් සත්වයෝ සංස්කාරයන්හි ඇලෙත්. “මහණෙනි, ඉදින් විඤ්ඤාණයේ ආශ්වාදයක් නො වන්නේ නම් සත්වයෝ විඤ්ඤාණයෙහි නො ඇලෙන්නාහුය. යම්හෙයකින් විඤ්ඤාණයාගේ ආශ්වාදයක් ඇද්ද? එහෙයින් සත්වයෝ විඤ්ඤාණයෙහි ඇලෙත්.
“මහණෙනි, ඉදින් වේදනාවේ ආදීනවයක් නොවන්නේ නම් සත්වයෝ වේදනාවෙහි නොකල කිරෙන්නාහුය. යම් හෙයකින් වේදනාවේ ආදීනවයක් ඇද්ද? එහෙයින් සත්වයෝ වේදනාවෙහි කළකිරෙත්. “මහණෙනි, ඉදින් සංඥාවේ ආදීනවයක් නොවන්නේ නම් සත්වයෝ සංඥාවෙහි නොකළකිරෙන්නාහුය. යම් හෙයකින් සංඥාවෙහි ආදීනවයක් ඇද්ද? එහෙයින් සත්වයෝ සංඥාවෙහි කලකිරෙත්. “මහණෙනි, ඉදින් සංස්කාරයන්ගේ ආදීනවයක් නො වන්නේ නම් සත්වයෝ සංස්කාරයෙහි නොකළකිරෙන්නාහුය. යම්හෙයකින් සංස්කාරයන්ගේ ආදීනවයක් ඇද්ද? එහෙයින් සත්වයෝ සංස්කාරයන් කෙරෙහි කළකිරෙත්. “මහණෙනි, ඉදින් විඤ්ඤාණයේ ආදීනවයක් නොවන්නේ නම් සත්වයෝ විඤ්ඤාණයෙහි නොකළකිරෙන්නාහුය. යම්හෙයකින් විඤ්ඤාණයේ ආදීනවයක් ඇද්ද එහෙයින් සත්වයෝ විඤ්ඤාණයෙහි කළකිරෙත්.
“මහණෙනි, ඉදින් වේදනාවේ නිස්සරණයක් නොවන්නේ නම් සත්වයෝ වේදනාවෙන් නොනික්මෙන්නාහුය. යම් හෙයකින් වේදනාවේ නිස්සරණයක් ඇද්ද? එහෙයින් සත්වයෝ වේදනාවෙන් නික්මෙන්නාහුය. “මහණෙනි, ඉදින් සංඥාවෙහි නිස්සරණයක් නොවන්නේ නම් සත්වයෝ සංඥාවෙන් නොනික්මෙන්නාහුය. යම් හෙයකින් සංඥාවේ නිස්සරණයක් ඇද්ද? එහෙයින් සත්වයෝ සංඥාවෙන් නික්මෙන්නාහුය. “මහණෙනි, ඉදින් සංස්කාරයන්ගේ නිස්සරණයක් නො වන්නේ නම් සත්වයෝ සංස්කාරයන් කෙරෙන් නොනික්මෙන්නාහුය. යම්සේ සංස්කාරයන්ගේ නිස්සරණයක් ඇද්ද? එහෙයින් සත්වයෝ සංස්කාරයන් කෙරෙන් නික්මෙන්නාහුය. “මහණෙනි, ඉදින් විඤ්ඤාණයේ නිස්සරණයක් නො වන්නේ නම් සත්වයෝ විඤ්ඤාණය කෙරෙන් නොනික්මෙන්නාහුය. යම්හෙයකින් විඤ්ඤාණයේ නිස්සරණයක් ඇද්ද? එහෙයින් සත්වයෝ විඤ්ඤාණය කෙරෙන් නික්මෙන්නාහුය.
“මහණෙනි, සත්වයෝ යම්තාක් කල් මේ පඤ්ච උපාදාන ස්කන්ධයන්ගේ ආශ්වාදය ආශ්වාදය වශයෙන්ද, ආදීනවය ආදීනවය වශයෙන්ද, නිස්සරණය නිස්සරණය වශයෙන්ද, තත්වාකාරයෙන් නොදක්නාහුද? ‘මහණෙනි, සත්වයෝ ඒතාක්කල් දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, සත්ව ලෝකයෙන්ද, මහණ බමුණන් සහිත, දෙවි මිනිසුන් සහිත ප්‍රජාව කෙරෙන්ද, බැහැරව නොයෙදී මිදී සීමාව ඉක්මවූ සිත් ඇතිව වාසය නොකරන්නාහුය.
“මහණෙනි, යම්කලෙක සත්වයෝ මේ පඤ්ච උපාදාන ස්කන්ධයන්ගේ ආශ්වාදය ආශ්වාදය වශයෙන්ද, ආදීනවය ආදීනවය වශයෙන්ද, නිස්සරණය නිස්සරණය වශයෙන්ද තත්වාකාරයෙන් අවබෝධ කළාහු වෙත්ද, ‘මහණෙනි, එකල්හි සත්වයෝ දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, සත්ව ලෝකයෙන්ද, මහණ බමුණන් සහිත, දෙවි මිනිසුන් සහිත ප්‍රජාව කෙරෙන්ද, බැහැරව නොයෙදී මිදී සීමාව ඉක්මවූ සිත් ඇත්තන්ව වාසය කරන්නාහුය.
1. 1. 3. 8.
8. අභිනන්දන සූත්‍රය
29. මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරනසේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, යමෙක් රූපස්කන්ධයෙහි ඇලෙයි නම් හෙතෙම දුකෙහි ඇලෙන්නේය. යමෙක් දුකෙහි ඇලෙයි නම් ඔහු දුකින් නොමිදුනේයයි කියමි. යමෙක් වේදනාවෙහි ඇලෙයිද හෙතෙම දුකෙහි ඇලෙයි. යමෙක් දුකෙහි ඇලෙයි නම් ඔහු දුකින් නොමිදුනේයයි කියමි. යමෙක් සංඥාවෙහි ඇලෙයි නම් හෙතෙම දුකෙහි ඇලෙයි යමෙක් දුකෙහි ඇලෙයි නම් හෙතෙම දුකින් නොමිදුනේයයි කියමි. යමෙක් සංස්කාරයන්හි ඇලෙයි නම්, හෙතෙම දුකෙහි ඇලෙයි. යමෙක් දුකෙහි ඇලෙයි නම් ඔහු දුකින් නොමිදුනේයයි කියමි. යමෙක් විඤ්ඤාණයෙහි ඇලෙයි නම් හෙතෙම දුකෙහි ඇලෙයි. යමෙක් දුකෙහි ඇලෙයි නම් ඔහු දුකින් නොමිදුනේයයි කියමි.