1. 1. 3. 8.
8. අභිනන්දන සූත්රය
29. මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරනසේක. එහිදී භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, යමෙක් රූපස්කන්ධයෙහි ඇලෙයි නම් හෙතෙම දුකෙහි ඇලෙන්නේය. යමෙක් දුකෙහි ඇලෙයි නම් ඔහු දුකින් නොමිදුනේයයි කියමි. යමෙක් වේදනාවෙහි ඇලෙයිද හෙතෙම දුකෙහි ඇලෙයි. යමෙක් දුකෙහි ඇලෙයි නම් ඔහු දුකින් නොමිදුනේයයි කියමි. යමෙක් සංඥාවෙහි ඇලෙයි නම් හෙතෙම දුකෙහි ඇලෙයි යමෙක් දුකෙහි ඇලෙයි නම් හෙතෙම දුකින් නොමිදුනේයයි කියමි. යමෙක් සංස්කාරයන්හි ඇලෙයි නම්, හෙතෙම දුකෙහි ඇලෙයි. යමෙක් දුකෙහි ඇලෙයි නම් ඔහු දුකින් නොමිදුනේයයි කියමි. යමෙක් විඤ්ඤාණයෙහි ඇලෙයි නම් හෙතෙම දුකෙහි ඇලෙයි. යමෙක් දුකෙහි ඇලෙයි නම් ඔහු දුකින් නොමිදුනේයයි කියමි.
“මහණෙනි, යමෙක් රූපයෙහි නොඇලෙයි නම්, හෙතෙම දුකෙහි නොඇලෙයි. යමෙක් දුකෙහි නොඇලෙයි නම් ඔහු දුකින් මිදුනේයයි කියමි. යමෙක් වේදනාවෙහි නොඇලෙයි නම් හෙතෙම දුකෙහි නොඇලෙයි. යමෙක් දුකෙහි නොඇලෙයි නම් ඔහු දුකින් මිදුනේයයි කියමි. යමෙක් සංඥාවෙහි නොඇලෙයි නම් හෙතෙම දුකෙහි නොඇලෙයි. යමෙක් දුකෙහි නොඇලෙයි නම් හෙතෙම දුකින් මිදුනේයයි කියමි. යමෙක් සංස්කාරයන්හි නොඇලෙයි නම් හෙතෙම දුකෙහි නොඇලෙයි. යමෙක් දුකෙහි නොඇලෙයි නම් ඔහු දුකින් මිදුනේයයි කියමි. යමෙක් විඤ්ඤාණයෙහි නොඇලෙයි නම් හෙතෙම දුකෙහි නොඇලෙයි යමෙක් දුකෙහි නොඇලෙයි නම් ඔහු දුකින් මිදුනේයයි කියමි, යනුයි.”
1. 1. 3. 9.
9. උප්පාද සූත්රය
30. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී, භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, රූපයේ ඉපදීම පැවැත්ම හටගැන්ම පහළවීම යමක්ද, එය දුකේ ඉපදීමය. රෝගයන්ගේ පැවැත්මය. ජරා මරණයේ පහළවීමය. වේදනාවේ ඉපදීම, පැවැත්ම, හටගැන්ම, පහළවීම යමක්ද, එය දුකේ ඉපදීමය. රෝගයන්ගේ පැවැත්මය. ජරා මරණයේ පහළවීමය. සංඥාවේ ඉපදීම, පැවැත්ම, හටගැන්ම සහ පහළවීම යමක්ද, එය දුකේ ඉපදීමය. රෝගයන්ගේ පැවැත්මය. ජරා මරණයේ පහළවීමය. සංස්කාරයන්ගේ ඉපදීම, පැවැත්ම, හටගැන්ම, පහළවීම යමක්ද, එය දුකේ ඉපදීමය, රෝගයන්ගේ පැවැත්මය. ජරා මරණයේ පහළවීමය. විඤ්ඤාණයේ ඉපදීම, පැවැත්ම, හටගැන්ම, පහළවීම යමක්ද, එය දුකේ ඉපදීමය. රෝගයන්ගේ පැවැත්මය. ජරා මරණයේ පහළවීමය.
“මහණෙනි, රූපයේ නිරෝධය, සංසිඳීම, විනාශය, යමක්ද, එය දුකේ නිරෝධය, රෝගයන්ගේ සංසිඳීමය, ජරා මරණයේ විනාශය වෙයි. “වේදනාවේ නිරෝධය, සංසිඳීම, විනාශය යමක්ද, එය දුකේ නිරෝධය, රෝගයන්ගේ සංසිඳීමය සහ ජරා මරණයේ විනාශය වෙයි. “සංඥාවේ නිරෝධය, සංසිඳීම, විනාශය යමක්ද, එය දුකේ නිරෝධය, රෝගයන්ගේ සංසිඳීමය සහ ජරා මරණයේ විනාශය වෙයි. “සංස්කාරයන්ගේ නිරෝධය, සංසිඳීම, විනාශය යමක්ද, එය දුකේ නිරෝධය, රෝගයන්ගේ සංසිඳීමය සහ ජරා මරණයේ විනාශය වෙයි. “විඤ්ඤාණයේ නිරෝධය, සංසිඳීම, විනාශය යමක්ද, එය දුක්ඛයාගේ නිරෝධය, රෝගයන්ගේ සංසිඳීම, ජරා මරණයන්ගේ විනාශය වන්නේය.
1. 1. 3. 10.
10. අඝමූල සූත්රය
31. මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, තොපට දුකද, දුකට මුලද දේශනා කරන්නෙමි. එය අසව්.
මහණෙනි, දුක කවරේද?
මහණෙනි, රූපය දුකකි. වේදනාව දුකකි. සංඥාව දුකකි. සංස්කාර දුකකි. විඤ්ඤාණය දුකකි. මහණෙනි, මේ දුකයයි කියනු ලැබේ.
“මහණෙනි, දුකට මුල කවරේද?
යම් ඒ නැවත නැවත ඉපදීම ඇති කරන්නාවූ, නන්දිරාගය සහිතවූ ඒ ඒ භවයෙහි ඇලෙන්නාවූ යම් ඒ තෘෂ්ණාවක් වේද, එනම්:- කාම තණ්හාවය, භව තණ්හාවය, විභව තණ්හාවය යන මොහුයි. මහණෙනි, මේ දුකට මුලයි.