1. 1. 1. 5.
සමාධි භාවනා සූත්රය
5. මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී, භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූ සේක. ඒ භික්ෂූහු ‘ස්වාමීනි’යි කියා භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක:
“මහණෙනි, සමාධිය වඩව්. මහණෙනි, සමාහිතවූ භික්ෂුතෙමේ තත්වූ පරිද්දෙන් දැනගනියි. තත්වූ පරිද්දෙන් කුමක් දනීද? රූපයාගේ හටගැනීමද, අභාවයද, වේදනාවගේ හටගැනීමද, අභාවයද, සංඥාවගේ හටගැනීමද, අභාවයද, සංස්කාරයන්ගේ හටගැනීමද, අභාවයද, විඥානයාගේ හටගැනීමද, අභාවයද දනියි.
මහණෙනි, රූපයාගේ හටගැනීම කුමක්ද, වේදනාවගේ හටගැනීම කුමක්ද, සංඥාවගේ හටගැනීම කුමක්ද, සංස්කාරයන්ගේ හටගැනීම කුමක්ද, විඥානයාගේ හටගැනීම කුමක්ද:
මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ඇලෙයි, ප්රියයයි, මනාපයයි ප්රකාශ කරයි, ගැලී සිටියි. කුමක ඇලෙයිද? කුමක් ප්රියයයි, මනාපයයි කියයිද? කුමක ගැලී සිටියිද: රූපයෙහි ඇලෙයි. රූපය ප්රිය මනාපයයි කියයි. රූපයෙහි ගැලී සිටියි. රූපයෙහි ඇලෙන්නාවූ, රූපය ප්රියයයි මනාපයයි කියමින් රූපයෙහි ගැලීසිටින්නාවූ ඔහුට බලවත් තෘෂ්ණාව (නන්දි) උපදියි. රූපයෙහි යම් බලවත් තෘෂ්ණාවක් වේද, එය උපාදානය වෙයි. ඔහුගේ උපාදානය හේතුකොටගෙන භවය වේ, භවය හේතුකොටගෙන ජාතිය ඇතිවේ, ජාතිය හේතුකොට ඇති ජරාමරණද, ශොක පරිදෙව දුක් දොම්නස් සහ උපායාසයෝ හටගනිත්. මෙසේ මේ කෙවල දුක්ඛස්කන්ධයාගේ හටගැනීම වේ.
වේදනාවෙහි ඇලෙයි, වේදනාව ප්රියයයි මනාපයයි කියයි. වේදනාවෙහි ගැලී සිටියි. වේදනාවෙහි ඇලෙන්නාවූ, වේදනාව ප්රියයයි මනාපයයි කියන්නාවූ, වේදනාවෙහි ගැලී සිටින්නාවූ, ඔහුට බලවත් තෘෂ්ණාව (නන්දි) උපදියි. වේදනාවෙහි යම් බලවත් ඇලීමක් වේද, එය උපාදානයයි. ඒ උපාදානය හේතුකොටගෙන භවය ඇතිවේ, භවය හේතුකොටගෙන ජාතිය ඇතිවේ, ජාතිය හේතුකොටගෙන ජරා මරණ ශොක පරිදෙව දුක් දොම්නස් යන උපායාසයෝද හටගනිත්. මෙසේ මේ කෙවල දුක්ඛස්කන්ධයාගේ හටගැනීම වේ.
සංඥාවෙහි ඇලෙයි -පෙ- සංස්කාරයන්හි ඇලෙයි. සංස්කාරයන් ප්රියයයි මනාපයයි කියයි. සංස්කාරයන්හි ගැලී සිටියි. සංස්කාරයන්හි ඇලෙන, සංස්කාරයන් ප්රියයයි මනාපයයි කියන්නාවූ, සංස්කාරයන්හි ගැලී සිටින්නාවූ, ඔහුට බලවත් තෘෂ්ණාව (නන්දි) උපදියි. සංස්කාරයන්හි යම් බලවත් තෘෂ්ණාවක් වේද? එය උපාදානයයි. උපාදානය හේතුකොටගෙන භවය වේ, භවය හේතුකොටගෙන ජාතිය වේ, ජාතිය හේතුකොටගෙන ජරා මරණ ශෝක පරිදෙව දුක් දොම්නස් සහ උපායාසයෝ හටගනිත්. මෙසේ මේ කෙවල දුක්ඛස්කන්ධයාගේ පහළවීම වේ.
විඤ්ඤාණයෙහි ඇලෙයි. විඤ්ඤාණය ප්රියයයි මනාපයයි කියයි. විඤ්ඤාණයෙහි ගැලීසිටියි. විඤ්ඤාණයෙහි ඇලෙන්නාවූ, විඤ්ඤාණය ප්රියයයි මනාපයයි කියන්නාවූ, විඤ්ඤාණයෙහි ගැලී සිටින්නාවූ, ඔහුට බලවත් තෘෂ්ණාව (නන්දි) උපදියි. විඤ්ඤාණයෙහි යම් බලවත් තෘෂ්ණාවක් වේද? එය උපාදානයයි. ඔහුට උපාදානය හේතුකොටගෙන භවය වේ. භවය හේතුකොටගෙන ජාතිය වේ. ජාතිය හේතුකොටගෙන ජරා මරණ ශෝක පරිදෙව දුක් දොම්නස් සහ උපායාසයෝද හටගනිත්. මෙසේ මේ කෙවල දුක්ඛස්කන්ධයාගේ හටගැනීම වෙයි.
මහණෙනි, මේ වනාහි රූපයාගේ හටගැනීම වෙයි, මේ වේදනාවගේ හටගැනීම වෙයි, මේ සංඥාවගේ හටගැනීම වෙයි, මේ සංස්කාරයන්ගේ හටගැනීම වෙයි, මේ විඥානයාගේ හටගැනීම වෙයි.
මහණෙනි, රූපයාගේ අභාවය කවරේද, වේදනාවගේ අභාවය කවරේද, සංඥාවගේ අභාවය කවරේද, සංස්කාරයන්ගේ අභාවය කවරේද, විඤ්ඤාණයාගේ අභාවය කවරේද:
මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම නොඇලෙයි. ප්රියයයි මනාපයයි නොකියයි. ගැලී නොසිටියි. කුමක නො ඇලෙයිද, කුමක් ප්රියයයි මනාපයයි නොකියයිද, කුමක ගැලී නොසිටීද? රූපයෙහි නොඇලෙයි. රූපය ප්රියයයි මනාපයයි නොකියයි. රූපයෙහි ගැලී නොසිටියි. රූපයෙහි නොඇලෙන්නාවූ, රූපය ප්රියයයි මනාපයයි නොකියන්නාවූ, රූපයෙහි ගැලී නොසිටින්නාවූ, ඔහුට රූපයෙහි යම් බලවත් තෘෂ්ණාවක් (නන්දි) වේද, සා නිරුද්ධ වෙයි. ඔහුගේ බලවත් තණ්හාව නිරුද්ධ වීම හේතුකොටගෙන උපාදානය නිරුද්ධ වෙයි. උපාදානය නිරුද්ධ වීම හේතුකොට ගෙන භවය නිරුද්ධ වේ. භවය නිරුද්ධ වීම හේතුකොටගෙන ජාතිය නිරුද්ධ වේ. ජාතිය නිරුද්ධ වීම හේතුකොටගෙන ජරා මරණ ශෝක පරිදෙව දුක් දොම්නස් සහ උපායාසයෝද නිරුද්ධ වෙති. මෙසේ මේ කෙවල දුක්ඛස්කන්ධයාගේ නිරෝධය වේ.
වේදනාවෙහි නොඇලෙයි. වේදනාව ප්රියයයි මනාපයයි නොකියයි. වේදනාවෙහි ගැලී නොසිටියි. වේදනාවෙහි නො ඇලෙන්නාවූ, වේදනාව ප්රියයයි මනාපයයි නොකියන්නාවූ, වේදනාවෙහි ගැලී නොසිටින්නාවූ, ඔහුගේ වේදනාව කෙරෙහි යම් බලවත් තණ්හාවක් (නන්දි) වේද, සා නිරුද්ධ වෙයි. ඔහුගේ ඒ බලවත් තණ්හාව නිරුද්ධ වීමෙන් උපාදානය නිරුද්ධ වෙයි. උපාදානය නිරුද්ධ වීමෙන් භවය නිරුද්ධ වේ. භවය නිරුද්ධ වීමෙන් -පෙ- මෙසේ මේ කෙවල දුක්ඛස්කන්ධයාගේ නිරෝධය වෙයි.
සංඥාවෙහි නොඇලෙයි -පෙ- සංස්කාරයන්හි නොඇලෙයි. සංස්කාර ප්රියයයි මනාපයයි නොකියයි. සංස්කාරයන්හි ගැලී නොසිටියි. සංස්කාරයෙහි නොඇලෙන්නාවූ, සංස්කාර ප්රියයයි මනාපයයි නොකියන්නාවූ, සංස්කාරයෙහි ගැලී නොසිටින්නාවූ, ඔහුගේ සංස්කාර කෙරෙහි යම් බලවත් තණ්හාවක් (නන්දි) වේද, සා නිරුද්ධ වෙයි. ඔහුගේ ඒ බලවත් තණ්හාව නිරුද්ධ වීමෙන් උපාදානය නිරුද්ධ වෙයි. උපාදානය නිරුද්ධ වීමෙන් -පෙ- මෙසේ මේ කෙවල දුක්ඛස්කන්ධයාගේ නිරෝධය වෙයි.
විඤ්ඤාණයෙහි නොඇලෙයි. විඤ්ඤාණය ප්රියයයි මනාපයයි නොකියයි. විඤ්ඤාණයෙහි ගැලී නොසිටියි. විඤ්ඤාණයෙහි නොඇලෙන්නාවූ, විඤ්ඤාණය ප්රියයයි මනාපයයි නොකියන්නාවූ, විඤ්ඤාණයෙහි ගැලී නොසිටින්නාවූ, ඔහුගේ විඤ්ඤාණය කෙරෙහි යම් බලවත් තෘෂ්ණාවක් (නන්දි) වේද, සා නිරුද්ධ වෙයි. ඔහුගේ ඒ බලවත් තෘෂ්ණාව නිරුද්ධවීමෙන් උපාදානය නිරුද්ධ වේ. උපාදානය නිරුද්ධවීමෙන් භවය නිරුද්ධ වේ. භවය නිරුද්ධ වීමෙන් ජාතිය නිරුද්ධ වේ. ජාතිය නිරුද්ධ වීමෙන් ජරා මරණ ශෝක පරිදෙව දුක් දොම්නස් සහ උපායාසයෝද නිරුද්ධ වෙත්. මෙසේ මේ කෙවල දුක්ඛස්කන්ධයාගේ නිරෝධය වෙයි.
මහණෙනි, මේ රූපයාගේ අභාවය වෙයි. මේ වේදනාවගේ අභාවය වෙයි. මේ සංඥාවගේ අභාවය වෙයි. මේ සංස්කාරයන්ගේ අභාවය වෙයි. මේ විඤ්ඤාණයාගේ අභාවය වෙයි.