1. 1. 1. 6.
පටිසල්ලාන සූත්‍රය
6. සැවැත්නුවර–
මහණෙනි, විවේකව සිටීමට උත්සාහ කරව්. මහණෙනි, විවේකව සිටින භික්ෂුතෙමේ තත්වූ පරිද්දෙන් දැනගනියි. තත්වූ පරිද්දෙන් කුමක් දනීද? රූපයාගේ හටගැනීමද, විනාශයද, වේදනාවගේ හටගැනීමද, විනාශයද, සංඥාවගේ හටගැනීමද, විනාශයද, සංස්කාරයන්ගේ හටගැනීමද, විනාශයද, විඥානයාගේ හටගැනීමද, විනාශයද දනියි.
මහණෙනි, රූපයාගේ හටගැනීම කුමක්ද? වේදනාවගේ හටගැනීම කුමක්ද? සංඥාවගේ හටගැනීම කුමක්ද? සංස්කාරයන්ගේ හටගැනීම කුමක්ද? විඥානයාගේ හටගැනීම කුමක්ද:
මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ඇලෙයි ප්‍රියයයි, මනාපයයි ප්‍රකාශ කරයි, ගැලී සිටියි. කුමක ඇලෙයිද? කුමක් ප්‍රියයයි, මනාපයයි කියයිද? කුමක ගැලී සිටියිද? රූපයෙහි ඇලෙයි. රූපය ප්‍රිය මනාපයයි කියයි. රූපයෙහි ගැලී සිටියි. රූපයෙහි ඇලෙන්නාවූ, රූපය ප්‍රියයයි, මනාප යයි රූපයෙහි ගැලීසිටින්නාවූ ඔහුට බලවත් තෘෂ්ණාව උපදියි. රූපයෙහි යම් බලවත් තෘෂ්ණාවක් වේද, එය උපාදානය (තෘෂ්ණාවෙන් දැඩිකොට අල්වාගැනීම) වෙයි. ඔහුගේ උපාදානය හේතුකොටගෙන භවය ඇතිවේ. භවය හේතුකොටගෙන ජාතිය ඇතිවේ. ජාතිය හේතුකොට ජරාව හා මරණයද, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ හටගනිත්. මෙසේ මේ සැපයෙන් අමිශ්‍ර දුක් සමූහයා ගේ හටගැනීමවේ.
වේදනාවෙහි ඇලෙයි, වේදනාව ප්‍රියයයි, මනාපයයි කියයි. වේදනාවෙහි ගැලී සිටියි. වේදනාවෙහි ඇලෙන්නාවූ, වේදනාව ප්‍රියයයි. මනාපයයි කියන්නාවූ, වේදනාවෙහි ගැලී සිටින්නාවූ, ඔහුට බලවත් තෘෂ්ණාව උපදියි. වේදනාවෙහි යම් බලවත් ඇලීමක් වේද, එය උපාදානයයි. ඒ උපාදානය හේතුකොටගෙන භවය ඇතිවේ භවය හේතුකොට ගෙන ජාතිය ඇතිවේ. ජාතිය හේතුකොට ගෙන ජරා, මරණ, දෙකද, ශොක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝද හටගනිත්. සංඥාවෙහි ඇලෙයි. සංඥාව ප්‍රියයයි, මනාපයයි කියයි. සංඥාවෙහි ගැලී සිටියි. සංඥාවෙහි ඇලෙන්නාවූ, සංඥාව ප්‍රියයයි, මනාපයයි කියන්නාවූ, සංඥාවෙහි ගැලී සිටින්නාවූ ඔහුට බලවත් තණ්හාව උපදියි. සංඥාවෙහි යම් බලවත් ඇලීමක් වේද, එය උපාදානයයි. ඒ උපාදානය හේතුකොටගෙන භවය ඇතිවේ. භවය හේතුකොටගෙන ජාතිය ඇතිවේ. මේ ජාතිය හේතුකොට ගෙන ජරා මරණ දෙකද සෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ හටගනිත්. සංස්කාරයන්හි ඇලෙයි. සංස්කාරයන් ප්‍රියයයි, මනාපයයි කියයි. සංස්කාරයන්හි ගැලී සිටියි. සංස්කාරයන්හි ඇලෙන, සංස්කාරයන් ප්‍රියයයි මනාපයයි කියන්නාවූ, සංස්කාරයන්හි ගැලී සිටින්නාවූ, ඔහුට බලවත් තෘෂ්ණාව උපදියි. සංස්කාරයන්හි යම් බලවත් තෘෂ්ණාවක් වේද? එය උපාදානයයි. උපාදානය හේතුකොටගෙන භවය ඇතිවේ. භවය හේතුකොටගෙන ජාතිය ඇතිවේ. ජාතිය හේතුකොට ගෙන ජරා මරණ දෙකද, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ හටගනිත්. විඤ්ඤාණයෙහි ඇලෙයි. විඤ්ඤාණය ප්‍රියයයි මනාපයයි කියයි. විඤ්ඤාණයෙහි ගැලීසිටියි. විඤ්ඤාණයෙහි ඇලෙන්නාවූ, විඤ්ඤාණය ප්‍රියයයි මනාපයයි කියන්නාවූ, විඤ්ඤාණයෙහි ගැලී සිටින්නාවූ, ඔහුට බලවත් තෘෂ්ණාව උපදියි. විඤ්ඤාණයෙහි යම් බලවත් තෘෂ්ණාවක් වේද? එය උපාදානයයි. ඔහුට උපාදානය හේතුකොටගෙන භවය ඇතිවේ. භවය හේතුකොටගෙන ජාතිය ඇතිවේ. ජාතිය හේතුකොටගෙන ජරා මරණ දෙකද, ශෝක, පරිදෙව, දුක් දොම්නස් සහ උපායාසයෝද හටගනිත්. මෙසේ මේ සැපයෙන් අමිශ්‍ර දුඃඛ රාශියාගේ හටගැනීම වෙයි.
මහණෙනි, මේ වනාහි රූපයාගේ හටගැනීම වෙයි. මේ වේදනාවගේ හටගැනීම වෙයි. මේ සංඥාවගේ හටගැනීම වෙයි. මේ සංස්කාරයන්ගේ හටගැනීම වෙයි. මේ විඥානයාගේ හටගැනීම වෙයි.
මහණෙනි, රූපයාගේ නැතිවීම කවරේද? වේදනාවගේ නැතිවීම කවරේද? සංඥාවගේ නැතිවීම කවරේද? සංස්කාරයන්ගේ නැතිවීම කවරේද? විඤ්ඤාණයාගේ නැතිවීම කවරේද:
මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම නොඇලෙයි. ප්‍රියයයි මනාපයයි නොකියයි. ගැලී නොසිටියි. කුමක නොඇලෙයිද, කුමක් ප්‍රියයයි මනාපයයි නොකියයිද, කුමක ගැලී නොසිටීද? රූපයෙහි නොඇලෙයි. රූපය ප්‍රියයයි මනාපයයි නොකියයි. රූපයෙහි ගැලී නොසිටියි. රූපයෙහි නොඇලෙන්නාවූ රූපය ප්‍රියයයි මනාපයයි නොකියන්නාවූ, රූපයෙහි ගැලී නොසිටින්නාවූ, ඔහුට රූපයෙහි යම් බලවත් තෘෂ්ණාවක් වේද, එය නැති වෙයි. ඔහුගේ බලවත් තණ්හාව නැතිවීම හේතුකොටගෙන උපාදානය නැතිවෙයි. උපාදානය නැතිවීම හේතුකොටගෙන භවය නැතිවේ. භවය නැතිවීම හේතුකොටගෙන ජාතිය නැතිවේ. ජාතිය නැතිවීම හේතුකොටගෙන ජරාමරණ දෙකද, ශෝක, පරිදෙව, දුක්, දොම්නස් සහ උපායාසයෝද නිරුද්ධ වෙති. මෙසේ මේ සැපයෙන් අමිශ්‍ර දුක්ඛ සමූහයාගේ නිරෝධය වේ.
වේදනාවෙහි නොඇලෙයි. වේදනාව ප්‍රියයයි මනාපයයි නොකියයි. වේදනාවෙහි ගැලී නොසිටියි. වේදනාවෙහි නොඇලෙන්නාවූ, වේදනාව ප්‍රියයයි මනාපයයි නොකියන්නාවූ, වේදනාවෙහි ගැලී නොසිටින්නාවූ, ඔහුගේ වේදනාව කෙරෙහි යම් බලවත් තණ්හාවක් වේද, එය නැති වෙයි. ඔහුගේ ඒ බලවත් තණ්හාව නැතිවීමෙන් උපාදානය නැතිවෙයි. උපාදානය නැතිවීමෙන් භවය නැතිවේ. භවය නැතිවීමෙන් ජාතිය නැතිවේ. ඉපදීම නැතිවීමෙන් ජරා මරණ දෙකද, සෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නැතිවෙත්. සංඥාවෙහි නොඇලෙයි. සංඥාව ප්‍රියයයි මනාපයයි නොකියයි. සංඥාවෙහි ගැලී නොසිටියි. සංඥාවෙහි නොඇලෙන්නාවූ, සංඥාව ප්‍රියයයි මනාපයයි නොකියන්නාවූ, සංඥාවෙහි ගැලී නොසිටින්නාවූ, ඔහුගේ සංඥාව කෙරෙහි යම් බලවත් තණ්හාවක් වේද, එය නැතිවෙයි. ඔහුගේ ඒ බලවත් තණ්හාව නැතිවීමෙන් උපාදානය නැති වෙයි. උපාදානය නැතිවීමෙන් භවය නැතිවේ. භවය නැති වීමෙන් ජාතිය නැතිවේ. ඉපදීම නැතිවීමෙන් ජරා මරණ දෙකද, සෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නැතිවෙත්. සංස්කාරයන්හි නොඇලෙයි. සංස්කාර ප්‍රියයයි මනාපයයි නොකියයි. සංස්කාරයන්හි ගැලී නොසිටියි. සංස්කාරයෙහි නොඇලෙන්නාවූ, සංස්කාර ප්‍රියයයි මනාපයයි නොකියන්නාවූ, සංස්කාරයෙහි ගැලී නොසිටින්නාවූ, ඔහුගේ සංස්කාර කෙරෙහි යම් බලවත් තණ්හාවක් වේද, එය නැති වෙයි. ඔහුගේ ඒ බලවත් තණ්හාව නැතිවීමෙන් උපාදානය නැතිවෙයි. උපාදානය නැතිවීමෙන් භවය නැතිවේ. භවය නැතිවීමෙන් ජාතිය නැතිවේ. ඉපදීම නැතිවීමෙන් ජරා මරණ දෙකද, සෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නැතිවෙත්. විඤ්ඤාණයෙහි නොඇලෙයි. විඤ්ඤාණය ප්‍රියයයි මනාපයයි නොකියයි. විඤ්ඤාණයෙහි ගැලී නොසිටියි. විඤ්ඤාණයෙහි නොඇලෙන්නාවූ, විඤ්ඤාණය ප්‍රියයයි මනාප යයි නොකියන්නාවූ, විඤ්ඤාණයෙහි ගැලී නොසිටින්නාවූ, ඔහුගේ විඤ්ඤාණය කෙරෙහි යම් බලවත් තෘෂ්ණාවක් වේද, එය නිරුද්ධවෙයි. ඔහුගේ ඒ බලවත් තෘෂ්ණාව නිරුද්ධවීමෙන් උපාදානය නිරුද්ධ වේ. උපාදානය නිරුද්ධවීමෙන් භවය නිරුද්ධ වේ. භවය නිරුද්ධ වීමෙන් ජාතිය නිරුද්ධ වේ. ජාතිය නිරුද්ධ වීමෙන් ජරා මරණ දෙකද, සොක, පරිදෙව, දුක්, දොම්නස් සහ උපායාසයෝද නිරුද්ධ වෙත්. මෙසේ මේ සැපයෙන් අමිශ්‍ර දුඃඛ සමූහයාගේ නිරෝධය වෙයි.
මහණෙනි, මේ රූපයාගේ විනාශය වෙයි, මේ වේදනාවගේ විනාශය වෙයි, මේ සංඥාවගේ විනාශය වෙයි, මේ සංස්කාරයන්ගේ විනාශය වෙයි, මේ විඤ්ඤාණයාගේ විනාශය වෙයි.
1. 1. 1. 7.
පඨම උපාදාපරිතස්සනා සූත්‍රය
7. සැවැත්නුවර–
මහණෙනි, උපාදාපරිතස්සනාව ද (උපාදානය නිසා තැතිගැනීම ද) අනුපාදාඅපරිතස්සනාව ද (උපාදානය නිසා තැති නොගැනීම ද) දේශනා කරන්නෙමි. එය මනාකොට අසව්, මෙනෙහි කරව්, කියන්නෙමි. එසේය ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක:
මහණෙනි, කෙසේ නම් උපාදාපරිතස්සනාව හොති (උපාදානය නිසා තැතිගැනීම ඇතිවේද):
මහණෙනි, මේ ලෝකයෙහි ආර්‍ය්‍යයන් නොදක්නාවූ, ආර්‍ය්‍යධර්මයෙහි අදක්ෂවූ ආර්‍ය්‍යධර්මයෙහි නොහික්මුනාවූ, සත්පුරුෂයන් නොදක්නාවූ සත්පුරුෂ ධර්මයෙහි අදක්ෂවූ සත්පුරුෂ ධර්මයෙහි නොහික්මුනාවූ අශ්‍රැතවත් පෘථග්ජනතෙම රූපස්කන්ධය මමයයි දකී. රූපසහිතවූවක් හෝ මම යයි දකී. මා කෙරෙහි හෝ රූපස්කන්ධය ඇතැයි දකී. රූපස්කන්ධය කෙරෙහි හෝ මා ඇතැයි දකී. ඔහුගේ ඒ රූපස්කන්ධය වෙනස්වෙයි. අන් අයුරකට පෙරළෙයි. ඔහුගේ රූපය වෙනස්වීම අන් ආකාරයකට පෙරළීම හේතුකොට ගෙන රූපය පෙරළීමට අනුව පෙරලුණු විඤ්ඤාණයක් වෙයි. ඔහුගේ රූපස්කන්ධය වෙනස්වීම නිසා වෙනස්වූ විඤ්ඤාණයයෙන් උපන් තෘෂ්ණා භය වන අකුශල ධර්මයෝ කුසල් සිත මැඩගෙන සිටිත්. කුසල් සිත මැඩපැවැත්වීම හේතුකොට ගෙන භය සහිත වූයේද වෙයි. ආලය සහිත වූයේද වෙයි. තෘෂ්ණාවෙන් ගැනීම නිසා භයට පැමිණෙයි. අල්ලාගෙන සිටිති.
වේදනාව මමයයි දකියි. වේදනා සහිතවූවක් හෝ මමයයි දකියි. මා කෙරෙහි හෝ වේදනාව ඇතැයි දකියි. වේදනාවෙහි හෝ මම ඇතැයි දකියි. ඔහුගේ ඒ වේදනාව වෙනස්වෙයි. අන් අයුරකට පැමිණෙයි. වේදනාව වෙනස්වීම අන්අයුරකට පැමිණීම හේතුකොටගෙන ඔහුගේ සිතද වේදනා පරිවර්තනයට අනුව පරිවර්තනයවෙයි. වේදනාවට අනුව පරිවර්තනයවූ සිතින් හට ගත් තෘෂ්ණා භයවන අකුශල ධර්මයෝ ඔහුගේ කුසල් සිත මැඩගෙන සිටිත්. කුශල චිත්තයාගේ මැඩපැවැත්වීම හේතු කොටගෙන භය සහිත වූයේද වෙයි. දුක්සහිත වූයේද වෙයි. ආලය සහිත වූයේද වෙයි. තාෂ්ණාවෙන් ගැනීම නිසා භය වන්නේය.