1. 1. 1. 4.
හාලිද්දකානි සූත්රය
4. මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි ආයුෂ්මත් මහාකච්චායන ස්ථවිරයන් වහන්සේ අවන්ති ජනපදයෙහි කුරරඝර නගරයෙහි පවත්ත නම් පර්වතයෙහි වාසය කරති. එකල්හි හාලිද්දකානි නම් ගෘහපතිතෙම ආයුෂ්මත් මහාකච්චායන ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, ආයුෂ්මත් මහා කච්චායන ස්ථවිරයන් වහන්සේට වැඳ, එක්පසෙක උන්නේය. එක්පසෙක උන්නාවූ හාලිද්දකානි ගෘහපතිතෙම ආයුෂ්මත් මහාකච්චායන ස්ථවිරයන් වහන්සේට මේ කාරණය සැලකෙළේය:
“ස්වාමීනි, භාග්යවතුන් වහන්සේ විසින් ශක්ර ප්රශ්නයේදී ‘යම් ඒ ශ්රමණ බ්රාහ්මණ කෙනෙක් තෘෂ්ණාව ක්ෂය කිරීමෙන් මිදුණාහුද, ඔව්හු ඒකාන්ත නිෂ්ටාවට පැමිණියාහු ඒකාන්තයෙන් යොගයන් ක්ෂය කළාහු, ඒකාන්ත බ්රහ්මචර්ය්යා ඇත්තාහු, ඒකාන්ත කෙළවරට පැමිණියාහු, දිව්ය මනුෂ්යයන්ට ශ්රේෂ්ඨයෝ වෙත්’ යන මෙය වදාරනලදී. ස්වාමීනි, භාග්යවත්හු විසින් සැකෙවින් වදාරණලද මේ දේශනාවෙහි අර්ථය විස්තර වශයෙන් කෙසේ දතයුතුදැයි” ඇසීය.
“ගෘහපතිය, රූප ධාතුවෙහි වනාහි යම් ඡන්දයක් වේද, යම් රාගයක් වේද, යම් නන්දියක් වේද, යම් තණ්හාවක් වේද, යම් උපාය සහ උපාදානයෝ වෙද්ද, අකුසල් සිතට ස්ථානවූ අනුසයයෝ වෙත්ද, ඔවුන්ගේ ක්ෂයවීමෙන්ද, විරාගයෙන්ද, නිරෝධයෙන්ද, අත්හැරීමෙන්ද, දුරු කිරීමෙන්ද, සිත මනාකොට මිදුනේයයි කියනු ලැබේ. ගෘහපතිය, වේදනා ධාතුවෙහි -පෙ- ගෘහපතිය, සංඥා ධාතුවෙහි -පෙ- ගෘහපතිය, සංස්කාර ධාතුවෙහි -පෙ- ගෘහපතිය, විඥාන ධාතුවෙහි යම් ඡන්දයක් වේද, යම් රාගයක් වේද, යම් නන්දියක් වේද, යම් තණ්හාවක් වේද, යම් උපාය සහ උපාදානයෝ වෙත්ද, අකුසල් සිතට ස්ථානවූ අනුසයයෝ වෙත්ද, ඔවුන්ගේ ක්ෂයවීමෙන්, විරාගයෙන්, නිරෝධයෙන්, අත්හැරීමෙන්, දුරු කිරීමෙන්, සිත මනාකොට මිදුනේයයි කියනු ලැබේ.
ඉති ගෘහපතිය, ‘යම් ඒ ශ්රමණ බ්රාහ්මණයෝ තණ්හාව නැතිකිරීමෙන් මිදුණාහු වෙත්ද, ඔවුහු ඒකාන්ත නිෂ්ටාවට පැමිණියාහු, ඒකාන්තයෙන් යොගයන් ක්ෂය කළාහු, ඒකාන්ත බ්රහ්මචර්ය්යාව ඇත්තාහු, දෙවි මිනිසුන්ට ශ්රේෂ්ඨයෝ වෙත්’ යන යම් වචනයක් භාග්යවතුන් වහන්සේ විසින් ශක්ර ප්රශ්නයේදී වදාළේද, ගෘහපතිය, භාග්යවතුන් වහන්සේ විසින් සංක්ෂෙපයෙන් වදාළ මේ දේශනාවෙහි අර්ථ විස්තර වශයෙන් මෙසේ දතයුතු.”
1. 1. 1. 5.
සමාධි භාවනා සූත්රය
5. මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී, භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූ සේක. ඒ භික්ෂූහු ‘ස්වාමීනි’යි කියා භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක:
“මහණෙනි, සමාධිය වඩව්. මහණෙනි, සමාහිතවූ භික්ෂුතෙමේ තත්වූ පරිද්දෙන් දැනගනියි. තත්වූ පරිද්දෙන් කුමක් දනීද? රූපයාගේ හටගැනීමද, අභාවයද, වේදනාවගේ හටගැනීමද, අභාවයද, සංඥාවගේ හටගැනීමද, අභාවයද, සංස්කාරයන්ගේ හටගැනීමද, අභාවයද, විඥානයාගේ හටගැනීමද, අභාවයද දනියි.
මහණෙනි, රූපයාගේ හටගැනීම කුමක්ද, වේදනාවගේ හටගැනීම කුමක්ද, සංඥාවගේ හටගැනීම කුමක්ද, සංස්කාරයන්ගේ හටගැනීම කුමක්ද, විඥානයාගේ හටගැනීම කුමක්ද:
මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ඇලෙයි, ප්රියයයි, මනාපයයි ප්රකාශ කරයි, ගැලී සිටියි. කුමක ඇලෙයිද? කුමක් ප්රියයයි, මනාපයයි කියයිද? කුමක ගැලී සිටියිද: රූපයෙහි ඇලෙයි. රූපය ප්රිය මනාපයයි කියයි. රූපයෙහි ගැලී සිටියි. රූපයෙහි ඇලෙන්නාවූ, රූපය ප්රියයයි මනාපයයි කියමින් රූපයෙහි ගැලීසිටින්නාවූ ඔහුට බලවත් තෘෂ්ණාව (නන්දි) උපදියි. රූපයෙහි යම් බලවත් තෘෂ්ණාවක් වේද, එය උපාදානය වෙයි. ඔහුගේ උපාදානය හේතුකොටගෙන භවය වේ, භවය හේතුකොටගෙන ජාතිය ඇතිවේ, ජාතිය හේතුකොට ඇති ජරාමරණද, ශොක පරිදෙව දුක් දොම්නස් සහ උපායාසයෝ හටගනිත්. මෙසේ මේ කෙවල දුක්ඛස්කන්ධයාගේ හටගැනීම වේ.
වේදනාවෙහි ඇලෙයි, වේදනාව ප්රියයයි මනාපයයි කියයි. වේදනාවෙහි ගැලී සිටියි. වේදනාවෙහි ඇලෙන්නාවූ, වේදනාව ප්රියයයි මනාපයයි කියන්නාවූ, වේදනාවෙහි ගැලී සිටින්නාවූ, ඔහුට බලවත් තෘෂ්ණාව (නන්දි) උපදියි. වේදනාවෙහි යම් බලවත් ඇලීමක් වේද, එය උපාදානයයි. ඒ උපාදානය හේතුකොටගෙන භවය ඇතිවේ, භවය හේතුකොටගෙන ජාතිය ඇතිවේ, ජාතිය හේතුකොටගෙන ජරා මරණ ශොක පරිදෙව දුක් දොම්නස් යන උපායාසයෝද හටගනිත්. මෙසේ මේ කෙවල දුක්ඛස්කන්ධයාගේ හටගැනීම වේ.
සංඥාවෙහි ඇලෙයි -පෙ- සංස්කාරයන්හි ඇලෙයි. සංස්කාරයන් ප්රියයයි මනාපයයි කියයි. සංස්කාරයන්හි ගැලී සිටියි. සංස්කාරයන්හි ඇලෙන, සංස්කාරයන් ප්රියයයි මනාපයයි කියන්නාවූ, සංස්කාරයන්හි ගැලී සිටින්නාවූ, ඔහුට බලවත් තෘෂ්ණාව (නන්දි) උපදියි. සංස්කාරයන්හි යම් බලවත් තෘෂ්ණාවක් වේද? එය උපාදානයයි. උපාදානය හේතුකොටගෙන භවය වේ, භවය හේතුකොටගෙන ජාතිය වේ, ජාතිය හේතුකොටගෙන ජරා මරණ ශෝක පරිදෙව දුක් දොම්නස් සහ උපායාසයෝ හටගනිත්. මෙසේ මේ කෙවල දුක්ඛස්කන්ධයාගේ පහළවීම වේ.