1. 1. 3.
හාලිද්දිකානි සූත්‍රය
3. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක ආයුෂ්මත්වූ මහාකච්චායන ස්ථවිරයන් වහන්සේ අවන්ති ජනපදයෙහි කුරරඝර නම් නගරයෙහි පවත්ත නම් පර්වතයෙහි වාසය කරන සේක. ඉක්බිති හාලිද්දකානි නම් ගෘහපතිතෙමේ ආයුෂ්මත් මහාකච්චායන ස්ථවිරයන් වහන්සේ යම්තැනෙක්හිද එතැන්හි පැමිණියේය. පැමිණ ආයුෂ්මත් මහාකාච්චායන ස්ථවිරයන් වහන්සේට වැඳ, එකත්පසෙක උන්නේය. එකත්පසෙක උන්නාවූ හාලිද්දකානි ගෘහපතිතෙම ආයුෂ්මත් මහාකච්චායන ස්ථවිරයන් වහන්සේට මේ කාරණය සැලකළේය. එනම්: “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් අෂ්ටක වර්ගයෙහි මාගන්දිය ප්‍රශ්නයෙහි මෙසේ වදාරන ලදි –
“ගෙය අත්හැර ගෙයි වාසය නොකරන්නාවූ ගම හා එක්ව නොවසන්නාවූ, කාමයන් කෙරෙන් මිදුණාවූ, සසර පෙරටුකොට නැත්තාවූ මහණතෙමේ කෙසේනම් ජනයා සමග විරුද්ධව කථා නොකරන්නේද?”යි.
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්ෂෙපයෙන් වදාරණ ලද මේ දේශනාවේ අර්ථය විස්තර වශයෙන් කෙසේ දත යුතුද?” යනුයි.
“ගෘහපතිය, රූපධාතුව වනාහි විඥානයාගේ ‘ඔක’ (ගෙය) නමි. රූපධාතුරාගයෙන් බැඳුණ විඥානය ‘ඔකසාරී’ යයි කියනු ලැබේ. ගෘහපතිය, වේදනාධාතුව විඥානයාගේ ‘ඔක’ (ගෙය) නමි. වේදනාධාතුරාගයෙන් බැඳුණු විඥානය ‘ඔකසාරී’ යයි කියනු ලැබේ. ගෘහපතිය, සංඥාධාතුව විඥානයාගේ ‘ඔක’ (ගෙය) නමි. සංඥාධාතුරාගයෙන් බැඳුණු විඥානය ‘ඔකසාරී’ යයි කියනු ලැබේ. ගෘහපතිය, සංස්කාරධාතුව විඥානයාගේ ‘ඔක’ (ගෙය) නමි. සංස්කාරධාතුරාගයෙන් බැඳුණු විඥානය ‘ඔකසාරී’ යයි කියනු ලැබේ. ගෘහපතිය, මෙසේ වනාහි ඔකසාරී නම් වෙයි.
“ගෘහපතිය, කෙසේනම් අනොකසාරී නම් වේද: ගෘහපතිය, රූපධාතුවෙහි යම් ඡන්දයක් වේද, යම් රාගයක් වේද, යම් නන්දියක් වේද, යම් තෘෂ්ණාවක් වේද, යම් උපාය උපාදානයෝ වෙත්ද, චිත්තයාගේ අධිෂ්ඨාන අභිනිවේශ අනුසය ධර්මයෝ වෙත්ද ඔවුහු තථාගතයන් වහන්සේ විසින් පහකරන ලදහ. උදුරා දමන ලද මුල් ඇත්තාහුය. සිඳින ලද තල් ගසක් මෙන් කරන ලද්දාහු. නැවත හට නොගන්නා ස්වභාවයක් කරන ලද්දාහුය. එහෙයින් තථාගතයන් වහන්සේ ‘අනොකසාරීයයි’ කියනු ලැබේ. ගෘහපතිය වේදනා ධාතුවෙහි -පෙ- ගෘහපතිය, සංඥා ධාතුවෙහි -පෙ- ගෘහපතිය, සංස්කාර ධාතුවෙහි යම් ඡන්දයක් වේද, යම් රාගයක් වේද, යම් නන්දියක් වේද, යම් තෘෂ්ණාවක් වේද, යම් උපාය උපාදානයෝ වෙත්ද, චිත්තයාගේ අධිෂ්ඨාන අභිනිවේශ අනුසයයෝ වෙත්ද, ඔවුහු තථාගතයන් වහන්සේ විසින් පහකරන ලද උදුරා දමන ලද මුල් ඇත්තාහුය. සිඳින ලද තල් ගසක් මෙන් කරන ලද්දාහුය. විනාශ කරන ලද්දාහ. මත්තෙහි නූපදනා බවට පමුණුවන ලද්දාහ. එහෙයින් තථාගතයන් වහන්සේ අනොකසාරී යයි කියනු ලැබේ. ගෘහපතිය, විඥාන ධාතුවෙහි යම් ඡන්දයක් වේද, යම් රාගයක් වේද, යම් නන්දියක් වේද, යම් තෘෂ්ණාවක් වේද, යම් උපාය උපාදානයෝ වෙත්ද, චිත්තයාගේ අධිෂ්ඨාන අභිනිවේශ අනුසයයෝ වෙත්ද, ඔවුහු තථාගතයන් වහන්සේ විසින් පහකරන ලදහ. උදුරා දමන ලද මුල් ඇත්තාහුය. සිඳින ලද තල් ගසක් මෙන් කරන ලද්දාහුය. විනාශ කරන ලද්දාහුය. මත්තෙහි නූපදින බවට පමුණුවන ලද්දාහුය. එහෙයින් තථාගතයන් වහන්සේ අනොකසාරීයයි කියනු ලැබේ. ගෘහපතිය, මෙසේ වනාහි අනොකසාරී නම් වෙයි.
“ගෘහපතිය, කෙසේනම් නිකෙතසාරී නම් වේද: රූප නිමිත්ත නිකේතනයෙහි බැසගැනීම් වශයෙන් වන බැඳීම් ගෘහපතිය, නිකෙතසාරීයයි කියනු ලැබේ. ශබ්ද නිමිත්ත -පෙ- ගන්ධ නිමිත්ත -පෙ- රස නිමිත්ත -පෙ- ස්පර්ශ නිමිත්ත -පෙ- ධර්ම නිමිත්ත නිකේතනයෙහි බැසගැනීම් වශයෙන් වන බැඳීම් ගෘහපතිය, නිකෙතසාරීයයි කියනු ලැබේ. ගෘහපතිය මෙසේ වනාහි නිකෙතසාරී නම් වෙයි.
“ගෘහපතිය, කෙසේ නම් අනිකෙතසාරී නම් වේද: ගෘහපතිය, රූප නිමිත්ත නිකේතනයෙහි බැසගැනීම් වශයෙන් වන බැඳීම් තථාගතයන් වහන්සේ විසින් පහකරන ලද්දාහුය. උදුරා දමන ලද මුල් ඇත්තාහුය. සිඳින ලද තල් ගසක් මෙන් කරන ලද්දාහුය. විනාශ කරන ලද්දාහුය. මත්තෙහි නූපදින බවට පමුණුවන ලද්දාහුය. එහෙයින් තථාගතයන් වහන්සේ අනිකෙතසාරීයයි කියනු ලැබේ. ශබ්ද නිමිත්ත -පෙ- ගන්ධ නිමිත්ත -පෙ- රස නිමිත්ත -පෙ- ස්පර්ශ නිමිත්ත -පෙ- ධර්ම නිමිත්ත නිකේතනයෙහි බැසගැනීම් වශයෙන් වන බැඳීම් ගෘහපතිය, තථාගතයන් වහන්සේ විසින් පහකරන ලද්දාහුය. උදුරා දමන ලද මුල් ඇත්තාහුය. සිඳින ලද තල් ගසක් මෙන් කරන ලද්දාහුය. විනාශ කරන ලද්දාහුය. මත්තෙහි නූපදින බවට පමුණුවන ලද්දාහුය. එහෙයින් තථාගතයන් වහන්සේ අනිකෙතසාරීයයි කියනු ලැබේ. ගෘහපතිය, මෙසේ වනාහි අනිකෙතසාරී නම් වෙයි.